Home කාලීන පුවත් වගකීමෙන් වැඩ නොකළොත් අනතුරක් අත ළඟ

වගකීමෙන් වැඩ නොකළොත් අනතුරක් අත ළඟ

by Hela news

කොවිඩ් වසංගතය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් ලෙස සලකන තැනකට තල්ලු වෙමින් සිටින බව අද සමාජ හැසිරීම් අනුව තේරුම් ගත හැකිව තිබේ. එහෙත් ඇතැම් රටවල් රෝගීන් දෙතුන් දෙනකු හමු වූ විට රටම වසා දමයි. ඒ රෝගයේ ඇති භයානක තත්ත්වය නිසාය. අප අදත් සිටින්නේ රෝගීන් පන්සියය හයසියය ඉක්මවන තැනකය.

දැන් සංචරණ සීමා සම්පූර්ණයෙන්ම ඉවත්කොට තිබේ. ඒ සමඟම පළාත් මායිම් හරහා ගමන් කිරීමට පනවා තිබූ සීමා ද ඉවත් කර තිබේ. දුම්රිය සහ බස් සේවා ද සම්පූර්ණයෙන්ම වාගේ යථා තත්ත්වයට පත්ව ඇත. රටක් මාස ගණනක් සම්පූර්ණයෙන්ම වසා දමා හෝ ඇදිරි නීතිය පනවා පවත්වා ගෙන යෑම ප්‍රායෝගික දෙයක් නොවේ. දැන් සංචරණ සීමා පූර්ණ ලෙස ඉවත්කර සතියකට ආසන්න වෙමින් තිබේ. එම සංචරණ සීමා ඉවත් කිරීම හෙවත් සම්පූරණයෙන් නිදහස් කිරීම තුළ ජනතාව තමන් මාස ගණනක් අහිමිව තිබූ පූර්ණ නිදහස සහ ඇවිදීමේ ප්‍රීතිය භුක්ති විඳින්නට පටන් ගෙන තිබේ. එම පූර්ණ නිදහසේ ආදීනව කෙමෙන් කෙමෙන් අප වෙත ඇදී එන ආකාරයක් දැකිය හැකිය. පසුගිය සතිය වන විට කොරෝනා රෝගීන්ගේ ප්‍රමාණය ඉහළ යාම කෙමෙන් අඩු වෙමින් තිබුණි. ඒ නිසා ජනතාව තුළ සුවපත් හෙටක අපේක්ෂා දැල්විණි. එහෙත් එම සුන්දර සහ අහිංසක අපේක්ෂා යළිත් කෙමෙන් අප වෙතින් ඈත් වෙමින් තිබේ ද යන සැකය නැවත අප වෙත ඇති වෙමින් ඇත. එයට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ නැවත සංචරණය වැඩි වීමත් සමඟ වසංගත තත්ත්වය ඉහළ යෑම ඇරැඹී ඇති බවයි. එය අප පවසන දෙයක් නොව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා තහවුරු කර තිබේ. ඊයේ දිනමිණ පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලය බවට පත්ව ඇත්තේ ද රට තුළ උද්ගත වෙමින් ඇති නව සෞඛය තත්ත්වය ගැනය.

සෞඛ්‍ය පිළිවෙත්

වෛද්‍ය හේරත් මහතා සඳහන් කරන ආකාරයට එයට හේතුව වී ඇත්තේ නිසි සෞඛ්‍ය පිළිවෙත්වලින් ජනතාව වේගයෙන් ඉවත් වෙමින් සිටීමයි. එය කිසිසේත් යහපත් දෙයක් නොවේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරන පරිදි එයට හේතුව බවට පත්ව ඇත්තේ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වීමත් සමඟ ජනතාව පාලනයකින් තොරව ගමන් බිමන් යෑමට පෙලඹීමයි. රටේ ආර්ථිකය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය ආයතන සහ පුද්ගලික ආයතන ක්‍රියාත්මක කළ යුතුය. එහි වරදක් නැත. සේවා අවශ්‍යතා මත එම ආයතන වෙත සේවකයන් ගෙන්වීමේ වරදක් නැත. එහිදී සේවක පිරිස්ද ඉතා තදින් සුවසේවා අවවාද පිළිපැදිය යුතුය. එසේ නොවුණහොත් සිදු වන්නේ නැවත වසංගතයට ගමන් කිරීමට අධිවේගී මඟක් විවර කරදීමය.

එමෙන්ම වසංගත තත්ත්වය මෙල්ල වූවා යැයි සිතා සිතීම ද මුළාවකි. එනිසා එම තත්ත්වය හඳුනා ගැනීම සඳහා අහඹු ඇන්ටිජන් සහ පී. සී. ආර් පරික්ෂණ සිදු කළ යුතුය. එය එසේ සිදු කරන බවට විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර තිබේ. එසේ අහඹු පී. සී. ආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වීම හොඳ වුවද අප කළ යුතුව ඇත්තේ නැවත රෝගයට ගොදුරු නොවන සේ තම ජීවන පැවැත්ම පවත්වා ගෙන යෑමය. එසේ නොවී පරීක්ෂණ ගැන සතුටු වෙමින්, එන්නත් ගැන සතුටු වෙමින් සැහැල්ලු දිවියක් ගත කරයි නම් එහි අවසාන ප්‍රතිඵලය විය හැක්කේ රෝගය නැවත උග්‍ර අතට පත්වීමය. මෙසේ රෝගය උග්‍ර වීම නිසා නැවතත් අප රටට අහිමි වන්නේ අපේ රටේ මිනිස් ජීවිතය. මුදල්ය. දැනට මඳින් මඳ ඉහළ යමින් ඇති රෝගී ප්‍රමාණය නැවත රැල්ලක් බවට පත් වීම අනිවාර්යෙන්ම වැළැක්විය යුතු දෙයකි.

වගකීම හා යුතුකම

අප රට තුළ ඇත්තේ සෑම වරදකම වගකීම කාගේ හෝ පිට පටවා අත පිස දැමීමේ කලාවකි. අපේ රටේ බොහෝ අය තම වගකීම ගැන නොසිතති. අනුන්ගේ වගකීම් ගැන සිතති. අද වගකීම් විරහිතව අයාලේ ඇවිද යන මිනිසුන් නැවත වසංගත රැල්ලක් බවට පත් වුව හොත් එහි කිසිදු වගකීමක් නොගනිති. එවිට වරදකාරයා බවට පත් වන්නේ ආණ්ඩුවය නැති නම් සෞඛ්‍ය බලධාරීන්ය. එහෙත් සිදු විය යුත්තේ එය නොවේ. එහි පළමු කරුණ බවට පත් විය යුත්තේ තමන්ට දශමයක හෝ වගකීමක් රට වෙනුවෙන් පැවරී ඇත්නම් එම දශමයක හෝ වගකීම අකුරට ඉටු කිරීමය. එහෙත්, ඒ වගකීම හා යුතුකම අප කෙතෙක් දුරට ඉටු කරන්නේ ද යන්න අප අපගේ හදවත්වලින්ම ප්‍රශ්න කළ යුතුය.

A 30 නම් නව ප්‍රභේදය අතිශය භයානකය. ඒ ගැන සඳහන් කරන වෛද්‍ය විශේෂඥයන් සඳහන් කරන පරිදි එය ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් යන එන්නත් වර්ග දෙකටම මෙල්ල කළ නොහැකි තරමේ භයානක ප්‍රභේදයකි. එනිසා මෙම වෛරසය අප රටට ඇතුළුව පැතිර ගිය හොත් ඇතිවන්නේ අතිශය භායානක තත්ත්වයකි. එබැවින් අප ඉතා තදින් මේ ගැන අවධානය යොමු කළ යුතු වේ.

සමාජ හැසිරීම්

බොහෝ අයට කොවිඩ් ගැන ඇති අවදානම ගැන අවධානය දැන් ගිලිහි ගොස් ඇත. එයට ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ රට සාමාන්‍යකරණය වෙත පරිවර්තනය වීම විය හැකිය. එහෙත් රට අප සිතන අයුරින් සියයට සියයක් සාමාන්‍යකරණයට පත්ව නැත. ඊයේ දිනයේදීත් අප රට තුළින් පන්සියය ඉක්මවන ආසාදිත පිරිසක් හමු විය. එම අසාදිතයන් ප්‍රමාණය දැන් තව තවත් ඉහළ යමින් තිබේ. අලුත් අවුරුදු රැල්ල පහවගිය පසු රට තරමක් හොඳ තැනකට පත්විය. එවරද සිදු වූයේ ඩෙල්ටා නම් වේගයෙන් පැතිර යන වයිරස් ප්‍රභේදය සමාජ ගත වීම සහ මහජනයා නිසි ලෙස මෙම රෝගී තත්ත්ය වටහා නොගෙන කටයුතු කිරීමය.

දැන් කොවිඩ් වසංගතය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් ලෙස සලකන තැනකට තල්ලු වෙමින් සිටින බව අද සමාජ හැසිරීම් අනුව තේරුම් ගත හැකිව තිබේ. ඇතැම් රටවල් රෝගීන් දෙතුන් දෙනකු හමු වූ විට රටම වසා දමයි. ඒ රෝගයේ ඇති භයානක තත්ත්වය නිසාය. අප අදත් සිටින්නේ රෝගීන් පන්සියය හයසියය ඉක්මවන තැනකය. ඒ අනුව ගත් කළ අප තවමත් සිටින්නේ අධි අවදානම් කලාපයේය. ආසාදිතයන් පන්සියය, දහස, එක්දහස් පන්සියය දක්වා ඉක්මවා යාමට වැඩි කාලයක් ගත නොවේ. වයිරසය ඒ තරම් වේගවත්ය. භයානකය. එනිසා අප මෙරට රෝගී ප්‍රමාණය පනහෙන් පහළ අගයක් ගන්නා තුරු අවදානම අඩුවන්නේ නැත. එබැවින් අප මෙතෙක් දැරූ වගකීම දිගින් දිගටම දැරිය යුතුය. සුව සේවා අවවාද පිළිපැදිය යුතුය. එසේ නොවී ආණ්ඩුවට බනිමින්, දොස්තරලාට බනිමින් සිටීමෙන් වැඩක් නැත. අප අප වෙනුවෙන් වගකීමෙන් වැඩ කළ යුතුය. එසේ නොවුණ හොත් අප අභියස නැවත භයානක කොවිඩ් අනතුරක් මතු වීම නොවැළැක්විය හැකිය.

එනිසා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් හේමන්ත හේරත් මහතා හෙළි කරන ආකාරයට කොවිඩ් තත්ත්වයේ නැවත රැල්ලක් විය හැකිය යන අනතුරු හැඟවීම ගැන වඩාත් අවධානයෙන් සිටිය යුතුය. මන්ද යත් වෛද්‍ය හේරත් මහතා යනු වසංගතය පාලනය කිරීමට දැඩි වෙහෙසක් දරා වැඩ කළ වෛද්‍යවරයෙකි. එබැවින් ඔහු පවසා සිටින ප්‍රකාශය අපට කිසිසේත් බැහැර කළ නොහැකිය. අප කළ යුත්තේ මේ ගැන නිසි අවධානයෙන් සිට සිහිබුද්ධියෙන් වැඩ කිරීමය.

0 comment
0

Related Posts

Leave a Comment