Home කාලීන පුවත් වගකීම් විරහිත හැසිරීම රෝගය පැතිර යෑමට හේතුවක්

වගකීම් විරහිත හැසිරීම රෝගය පැතිර යෑමට හේතුවක්

by Hela news

අවදානම වෙනුවෙන් වූ සූදානම දැන් කෙමෙන් අපගෙන් ගිලිහී යමින් පවතී. එබැවින් කොවිඩ්-19 වයිරසය යළි සක්‍රීය වීමට පටන් ගෙන තිබේ. අඛණ්ඩව දින කිහිපයක් මුළුල්ලේ ආසාදිතයන් 700 ඉක්මවා වාර්තා වී තිබීම, රට යළි කොවිඩ් මාරයාට අත වනන බවට ඉඟියකි. මේ සමඟ කොවිඩ් -19 නිවෙස්ගත ප්‍රතිකාර සේවාව සඳහා ලියාපදිංචි වන රෝගීන්ගේ ද පැහැදිලි වැඩි වීමක් පෙනෙන්න තිබේ. රට යන්නේ කොයිබට ද? නිදහසේ හුස්මක් ගැනීම වෙනුවට නැවත කොවිඩ් භීතියෙන් පීඩා විඳින්න අපට සිදු වේද? ඒ පිළිබඳ මේ දිගහැරෙන සංවාදය කොවිඩ් -19 නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයේ රෝගී සත්කාරක සේවයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන සමඟිනි.

– නිවෙස්ගත සත්කාරක සේවාවට අපට තිබෙන සම්පත් සීමිතයි 
– සියලු දෙනා වගකීමෙන් වැඩ කරන්න
– රෝගයේ භයානකකම තේරුම් ගත යුතුයි

කොවිඩ් -19 නිවෙස්ගත සත්කාරක සේවාව මේ වන විටත් සක්‍රීයව ක්‍රියාත්මක වන්නේ ද?

කොවිඩ්-19 නිවෙස්ගත මේ සත්කාරක සේවාව, සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ විශේෂ ව්‍යාපෘතියක්. මේ ඔස්සේ සිදු වන්නේ කොවිඩ් – 19 සුළු රෝග ලක්ෂණ තිබෙන රෝගීන් හෝ ඇතැම්විට රෝග ලක්ෂණ නොමැති වුවත් පී. සී. ආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් පොසිටිව් වූ රෝගීන් මුල් අවස්ථාවේදීම හඳුනාගෙන නිවෙස්වල රඳවා තබමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි. මෙහිදී සුවිශේෂී කාරණය වන්නේ අපේ පද්ධතියේ ලියාපදිංචිව සිටි රෝගීන්ගෙන් අවම රෝගීන් ප්‍රමාණයක් පමණක් රෝහල්ගතකොට, රෝහල් රෝගීන්ගෙන් පිරීයෑම වැළකීමට උපරිම දායකත්වයක් ලබාදීමට අපට හැකියාව ලැබුණා. මේ සත්කාරක සේවාව ආරම්භ කළේ ඉකුත් ජුනි මස 07 වැනිදායි. 2021 නොවැම්බර් 20 වැනිදා සංඛ්‍යා ලේඛනවලට අනුව මේ දක්වා මාස පහකට අධික කාලයක් තුළ මේ අපේ පද්ධතිය තුළ ලියාපදිංචි වී ප්‍රතිකාර ලබාගත් මුළු රෝගීන් සංඛ්‍යාව 1,12732ක්. එයින් රෝහල්ගත කර තිබෙන්නේ 1.5%කට අඩු ප්‍රතිශතයක් පමණයි. එනම් රෝගීන් 1797ක් පමණයි. මේ දක්වා ප්‍රතිකාර අවසන්කොට පූර්ණ සුවය ලැබීමෙන් අනතුරුව පද්ධතියෙන් පුද්ගලයින් 10, 5881ක් මුදාහැර තිබෙනවා. ඊට අමතරව මේ වන විට අපත් සමඟ සක්‍රීයව රැඳී සිටින රෝගීන් සංඛ්‍යාව 4554ක් පමණ වෙනවා. කෙසේ වෙතත්, පසුගිය සතිය තුළ අපේ පද්ධතියට අලුතින් එක් වූ රෝගීන් සංඛ්‍යාවේ කැපී පෙනන වර්ධනයක් දකින්නට ලැබුණා.

මේ පෙන්වන්නේ කොවිඩ්-19 ශීඝ්‍ර ලෙස පැතිර යෑමේ අවදානම යළි හිස ඔසවන ලකුණු ද?

එලෙස සිතන්නට පුළුවන්. පසුගිය සතිය තුළ මේ රෝගී සත්කාරක සේවාවට ඇතුළත් වන රෝගීන්ගෙත් පැහැදිලි වැඩිවීමක් පෙනෙන්නට තිබෙනවා. වගකීම් විරහිත හැසිරීම තුළ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ගෙන් බැහැර වීම තුළ නැවත රෝගය ශීඝ්‍රයෙන් පැතිර යෑමේ අවදානමක අප සියලු දෙනාම සිටින බව හොඳින් පෙනී යන කරුණක්.

මේ සත්කාරක සේවාවට ලියාපදිංචි විය හැක්කේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා මඟින් පමණ ද?

මුලදී නම්, මේ වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා හරහාම පමණයි පද්ධතියට ඇතුළත් වීමට රෝගීන්ට අවස්ථාව සලසා තිබුණේ. එහෙත් පසුව ඇතැම් රෝගීන්ට මේ කොවිඩ්-19 නිවෙස්ගත සත්කාරක සේවාවට ඇතුළත් වීමේ අවශ්‍යතාව තිබුණත් තදබදය සහ අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිතුමා හමුවීමට තිබුණු ප්‍රායෝගික අපහසුතා වැනි කාරණා හේතුවෙන් එම අවස්ථාව මඟහැරෙන බව අපට පැහැදිලි වුණා. මේ පිළිබඳ සැළකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් මෙම පද්ධතියට ඇතුළත් වීම තවදුරටත් පහසු කරනු ලැබුවා. ඒ අනුව 1390 දුරකථන අංකයට සෘජු දුරකථන ඇමතුමක් ලබාදීමෙන් ද රෝගියාට මේ පද්ධතියට සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා. එනම් මේ වන විට පවතින ක්‍රමය යටතේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා මඟිනුත්, ඊට අමතරව 1390 දුරකථන අංකය ඔස්සේත් රෝගීන්ට මේ පද්ධතියට ඇතුළත් වීමේ හැකියාව පුළුල් කර තිබෙනවා.

රට පුරා ආසාදිතයන් වාර්තා වීම වැඩිවෙලා. මේ වන විට නිවෙස්ගත සත්කාරක සේවාවට ලියාපදිංචි වන පිරිසේ ද දකින්න ඇත්තේ පැහැදිලි වැඩි වීමක්. එසේ නම්, කොවිඩ්-19 අවදානම මෙයාකාරයෙන් නැවත වැඩි වීමට හේතුව කුමක් ද?

නිවෙස්ගත රෝගී සත්කාරක සේවාව හරහා අපට රෝගීන්ගෙන් ලැබෙන අත්දැකීම් අනුව පෙනී යන්නේ පසුගිය කාලය තුළ පනවා තිබූ සංචරණ සීමා ලිහිල් වීමත් සමඟ බොහෝ දෙනකු මේ රෝගය සුළුකොට තකන්නට පටන්ගෙන ඇති බවයි. මේ සමාජය තුළ කොවිඩ් -19 වසංගතය උත්සන්න වී තිබුණු කාලයේ දී දැනුණු සමාජීය වගකීම දැන් දැන් බොහෝ දෙනකුට නොදැනෙන තරම්. එනිසාම බොහෝ පිරිසක් එකී වගකීමෙන් මිදී සිටියා. මේ වසංගතය නැවත කොයි මොහොතේ හෝ හිස එසවිය හැකි බව නොසිතා, සංචරණ සීමා ලිහිල් වීමත් සමඟ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම නිසි ලෙස අනුගමනය කිරීමකින් තොරව හිතුමතේ සමාජය තුළ සැරිසැරීම මේ රෝගයේ අවදානම නැවත වැඩි කරගැනීමට හේතුවක් බවයි පෙනීයන්නේ. ඊට අමතරව කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ එන්නත පිළිබඳව ද සිහිපත් කළ යුතුයි. විශේෂයෙන්ම රජය විසින් විශාල උත්සාහයක් දරා රටට ගෙන්වා ගත් මේ එන්නත් ගැනීමට පුරවැසියන්ට අවස්ථාව සලසා තිබියදීත් සමාජයේ විවිධ තරාතිරම්වල ඇතැම් පිරිස් මිථ්‍යා මත දරමින් එන්නත ලබාගැනීම මඟහැරීමේ ප්‍රවණතාවක් ද දකින්නට තිබෙනවා. රෝගය යළි හිස එසවීමට මේ කාරණා දෙකම බොහෝ විට හේතුවී තිබෙන බවයි අපට පෙනීයන්නේ. කෙසේ වෙතත් රටේ අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ලිහිල් කිරීම් කිරීමට රජය තීරණය කළ ද අප හැමවිටම බැඳී සිටිනවා මේ රෝගයට ගොදුරු නොවී සිටීමට සහ තවත් කෙනෙකුට බෝ නොකර සිටීමට. ආර්ථික, සමාජීය වශයෙන් යම් දියුණුවක් අත්කර ගනිමින් මේ මොහොතේ රටක් ලෙස ඉදිරියට යෑමට නම් අප සියලු දෙනා මෙම සාමුහික වගකීම කෙරෙහි එකා මෙන් බැඳී සිටිය යුතුයි.

විශේෂයෙන් පසුගිය කාලයේ රට තුළ මේ වසංගතය ශීඝ්‍රයෙන් පැතිරෙමින් පැවැති අවස්ථාවේ රෝහල්වල ද ඉඩපහසුකම් නොමැති වී යන තත්ත්වයක් උදා වුණා. රෝහල්වලට වගේම මේ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයටත් යා හැකි යම් කිසි සීමාවක් තිබෙනවා. රෝගීන්ට දිය යුතු පණිවිඩය වන්නේ හැම විටම වගකීමෙන් කටයුතු නොකළ හොත් මේ රෝගය සමාජය තුළ නැවතත් ඉතාම ඉක්මනින් පැතිර යා හැකියි. ඒ මඟින් නව ප්‍රභේද ඇති වීමේ අවදානමක් ද තිබෙනවා. තව දුරටත් ජනතාව වගකීම් විරහිතව කටයුතු කළහොත් රෝගය ශීඝ්‍රයෙන් පැතිර ගොස් රෝහල් පද්ධතිය පිරී ඉතිරී යා හැකියි. ධාරිතාව ඉක්මවා යා හැකියි. නිවෙස්ගත සත්කාරක සේවාව ක්‍රියාත්මක කිරීමටත් අපට ඇත්තේ සීමිත සම්පත්. විශේෂයෙන්ම අපට සිටින්නේ වෛද්‍යවරුන් සීමිත කණ්ඩායමක්. ඒ සීමිත කණ්ඩායමත් සම්බන්ධ කරගන්නේ මේ නිවෙස්ගත සත්කාරක සේවාව වෙනුවෙන් හොඳින් පුරුදු පුහුණු කිරීමෙන් අනතුරුවයි. යම් හෙයකින් නැවත රෝගය බරපතළ ලෙස පැතිරෙන්නට වුවහොත් රෝහල් ධාරිතාවය ඉක්මවා යෑමේ හැකියාවක් පවතිනවා සේම නිවෙස්ගත සත්කාරක සේවාවේ ද ධාරිතාව ඉක්මවා යා හැකියි. මේ වනවිට නැවතත් ලොව විවිධ රටවල මේ වසංගතය නැවත හිස එසවීමේ ප්‍රවණතාවක් තිබෙන නිසා ඉදිරියේදී එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් අසරණ භාවයට පත්වන්නේ රෝගීන් සහ ඔවුන්ගේ සමීපතමයන්. එවැනි තත්ත්වයක් තුළදී දැනට ක්‍රියාත්මක වන නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය මඟිනුත් ඇතැම්විට අපට බාර ගත හැකි රෝගීන් ප්‍රමාණය සීමා කිරීමට සිදු වන තත්ත්වයක් උදගත විය හැකියි. මේ සියල්ල වළකා ගනිමින් තමන්ගේ නිවැසියන් සහ හිතවතුන් සමඟ ජීවිතය විඳ ගැනීමට නම්, හැමවිටම කළ යුත්තේ වගකීම් සහගත හැසිරීමට මුල්තැනක් දීමයි.

මේ වසංගතයත් සමඟ වසර දෙකක් තිස්සේ ජීවත් වන ජනතාවට දැන් එය සාමාන්‍යකරණය වී තිබෙනවා. රෝගයට තිබුණු බිය නැති වී යෑමත් සමඟ ඇතැම් පිරිස් ආසාදනය වූ විට ප්‍රතිකාරවලට යොමුවීමට දක්වන්නේ මැළිබවක්. රෝගය හඳුනාගත් මුල් අවස්ථාවේම ප්‍රතිකාරවලට යොමු වීමේ වැදගත්කම කුමක් ද ?

මේ රෝගය මුලදී ඉතාමත් අඩු රෝග ලක්ෂණවලිනුයි ඇරඹෙන්නේ. එහෙත් කොවිඩ් -19 ආසාදිතයකුට දෙවැනි සතිය තුළ සංකූලතා ඇතිවීමේ අවදානම ඉතාමත් වැඩියි. පළමු සතියේ අඩු රෝග ලක්ෂණ පෙන්වන නිසා රෝගියා මේ රෝගයේ භයානකකම හඳුනා නොගෙන, ප්‍රතිකාර සඳහා යොමු නොවී, එදිනෙදා කටයුතු කරගැනීම වෙනුවෙන් සාමාන්‍ය පරිදි කය, මනස වෙහෙසවමින් සාමාන්‍ය ලෙස කල් ගෙවන්නට පුළුවන්. එය එතරම් සුළුකොට තැකිය හැකි තත්ත්වයක් නොවෙයි. රෝග ලක්ෂණ පැවැතියත් නැතත් කොවිඩ් -19 රෝගය වැලඳී ඇති බව පරීක්ෂණයකින් සනාථ වූ පළමු අවස්ථාවේ සිටම, මෙම රෝගය සති දෙකක් තුළ ඉතාම බැරෑරුම් විය හැකි රෝග තත්ත්වයක් බව සළකා, සංකූලතා වළකාගැනීම වෙනුවෙන් මුලසිටම වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ක්‍රමවලට, රෝගී සත්කාරක සේවාවලට අනුගත විය යුතුමයි.

එහිදී රෝගියාට ඇතිවන විශේෂ වාසිය වන්නේ පළමු සතිය තුළ රෝගියා නියමිත වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාදෙමින් රැකබලා ගැනීම තුළ ඉදිරි සතියේදි ඇති විය හැකි සංකූලතාවලින් වැළකී සිටීමට සහ ජීවිත අවදානමෙන් ගැලවීමට හැකියාව ලැබීමයි. ඇත්තෙන්ම පළමු සතිය තුළ කිසිඳු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකළ රෝගියකු පවා ඇතැම් විට දෙවන සතිය තුළ දැඩි ජීවිත අවදානමකට ලක් විය හැකියි. එසේම බොහෝවිට සංකූලතා වැඩි වූ රෝගීන්ට මේ රෝගය සුව වූ පසුත් යළි සති 6කට, 8කට පමණ පසු, නැතහොත් මාස කිහිපයකට පසුව වුවත් විවිධ රෝගී තත්ත්වයන් ඇති විය හැකියි. එය අප හඳුන්වන්නේ පසු කොවිඩ් අවදානම ලෙසින්. එය වෙනත් රෝග තත්ත්වයකදී දැකිය නොහැකි අන්දමේ අසාමාන්‍ය තත්ත්වයක්. මේ සියලු කාරණා සලකා බලන විට රෝගියා රෝගය හඳුනාගත් මුල් අවස්ථාවේ සිටම වෛද්‍ය උපදෙස්වලට අනුගත වී නිසි ප්‍රතිකාර ක්‍රමවලට යොමුවීම ඉතාම අත්‍යවශ්‍ය කාරණයක්.

නිවෙස්ගත සත්කාරක සේවාව ආරම්භකොට මේ දක්වා යම්කිසි කාලසීමාවක් පසුකර පැමිණ තිබෙනවා. රට තුළ රෝගය පැතිරෙන විට සහ රෝගීන් බහුල වශයෙන් වාර්තා වන විට නිවෙස්ගත ප්‍රතිකාර සේවය තුළ කළ වෙනස්කම් සහ හඳුනාගත් අභියෝග මොනවා ද?

මෙහිදී රෝගියාව නිවසේ වෙනම කාමරයක තබා ප්‍රතිකාර කිරීමට අවස්ථාව තිබෙනවාද යන්න මූලික වශයෙන් සොයා බලන්නට සිදු වුණා. සියලු දෙනාට නිවසේ වෙනම කාමරයක්, වෙනම වැසිකිළියක් සූදානම් කරගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. එලෙස ඉඩකඩ පහසුකම් නොමැති වූ රෝගීන්ව අප යොමු කළා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට. නිවෙස්වල ඉඩ පහසුකම් නොමැති රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී රජය විසින් ඇති කර තිබෙන මේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රඳවා තබා ප්‍රතිකාර කිරීමට හැකි වීම විශාල පහසුවක් වුණා.

පසුගිය කාලය තුළ මේ රෝගය විශාල භීතිකාවක් බවට පත් වුණා. මුලදි රෝගීන්ව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගෙන ගිය විට ඔවුන් අතිශයින් බියට පත් වුණා. ඔවුන් සිතුවේ ඔවුන්ගේ නිවැසියන්ව නැවත දකින්නට නොලැබේවි කියා. එහෙත්, අපි ඒ තත්ත්වය වෙනස් කළා. නිවෙස්ගත සත්කාරක සේවාවට ලියාපදිංචි වීම තුළ නිවෙසටම වී, නිවැසියන්ගේ සත්කාර හා ඇසුර ද ලබමින් මානසික සහනයෙන් යුතුව ප්‍රතිකාර ලබා ඉක්මනින් රෝගය සුව කරගැනීමට රෝගීන්ට හැකියාව ලැබුණා. ඊට අමතර ව මෙම පද්ධතිය තුළ විවිධ භාෂා කතා කරන රෝගීන් ලියාපදිංචි වී සිටීම විටක අභියෝගයක් වුණා. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් තුමාගේ උප‍දෙස් පරිදි විවිධ භාෂා හැකියාවන් ඇති වෛද්‍යවරුන් මේ සඳහා යොදාගත් අතර, එම රෝගින්ට තමන්ගේ මව් බසින් ම කතා කරන වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබාදීමේ හැකියාව දුන්නා.

එසේම එකම පවුලක කොවිඩ් -19 ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම එකම වෛද්‍යවරයෙකු මඟින් සිදු කළා. මේ සත්කාරක සේවාව මඟින්, රෝහල් පිරී තිබුණු අවස්ථාවක, ඉතාම අඩු රෝගීන් සංඛ්‍යාවක් හැර පද්ධතිය හා සම්බන්ධ වූ සෙසු සියල්ලන් පාහේ රෝහල්ගත වීමේ අවශ්‍යතාවක් නොමැති වන තැනට රැකබලා ගනිමින් සුව කොට පද්ධතියෙන් මුදා හැරීම තුළ සෞඛ්‍ය අමාත්‍යංශයට ඇති වූයේ විශාල ආර්ථිකමය වාසියක්. එසේම අපේ පද්ධතියේ ලියාපදිංචි වී සිටි රෝගීන්ගේ සංකූලතා මතු වීමටත් පෙර හඳුනාගෙන හැකි ඉක්මනින් මේ සඳහාම වූ ගිලන්රථ සේවාවක් ඔස්සේ රෝහල්ගත කිරීමට අපට හැකියාවක් තිබුණා. සංකුලතා මතුවීමට පෙර හඳුනාගෙන ඉතාම ඉක්මනින් රෝගියාව වඩාත් ගැළපෙන රෝහලට රැගෙන යාමට හැකි වීම හේතුවෙන් බොහෝ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට ද අපට හැකියාව ලැබුණා. එසේම ඒ වෙනුවෙන් ඉදිරියටත් කැපවීමට අප කටයුතු කරනවා.

0 comment
0

Related Posts

Leave a Comment