Home ක්‍රීඩා පුවත් ලෝක ටෙස්ට් ශූරතා සටන අරඹමින් ශ්‍රී ලංකා පිල හෙට ගාලු පිටියට.

ලෝක ටෙස්ට් ශූරතා සටන අරඹමින් ශ්‍රී ලංකා පිල හෙට ගාලු පිටියට.

by Hela news

වසර 2023දී නිමා වීමට නියමිත අයිසීසී ලෝක ටෙස්ට් ශූරතා සටන අරඹමින් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (21) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා එක් වෙයි.

ශ්‍රී ලංකා පිල ටෙස්ට් තරගයකට එක් වන්නේ මාස 6කට පමණ පසුව වන අවසන් වරට පල්ලේකැලේදී බංග්ලාදේශයට එරෙහිව තරග කළ ශ්‍රී ලංකාව ඉන් පෙර මේ වසරේ මාර්තු මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත්හී සංචාරයක නිරත විය. තරග 2කින් සමන්විත එම තරගාවලිය නිමා වූයේ ජය පරාජයෙන් තොරවය.

දෙපිල අතර, මේ වන විට ටෙස්ට් තරග 22ක් පවත්වා ඇති අතර, ඉන් තරග 9ක් ජය ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්ව තිබේ. කොදෙව්වන් තරග 4ක් ජය ගනිද්දී ජය පරාජයෙන් තොරව නිමා වී ඇති තරග සංඛ්‍යාව 9කි.

ඊට තරගාවලි 9ක් ඇතුළත් වන අතර, ශ්‍රී ලංකාව අවසන් වරට 2015/16 වසරේදී සත්කාරකයන් ලෙස කටයුතු කරමින් 2-0කින් ටෙස්ට් තරගාවලියක් ජය ගෙන තිබේ. කොදෙව් පිලේ ශ්‍රී ලංකාවට එරෙහි අවසන් ටෙස්ට් තරගාවලිය ජය වාර්තා වන්නේ 2003 වසරේ (1-0) කොදෙව්හිදීය.

මෙතෙක් පවත්වා ඇති තරගාවලි 9න් 3ක් ශ්‍රී ලංකාවත්, 2ක් කොදෙව් පිලයත් ජය ගෙන ඇති අතර, තරගාවලි 4ක් ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ.

ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය සහිතව මේ තරගාවලියට එක් වන ශ්‍රී ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය ඊයේ පස්වරුව නිල වශයෙන් නිවේදනය ක‍ළේය.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් 22කගෙන් යුත් මූලික සංචිතයක් නම් කර ඇති අතර, ඊට තවමත් ටෙස්ට් වරම් හිමි කර ගෙන නැති චරිත් අසලංක, චාමික ගුණසේකර, සුමින්ද ලක්ෂාන් සහ කමිල් මිෂාර ඇතුළත්ව ඇති අතර, මාස කිහිපයක් පිටියෙන් ඉවත්ව සිටි හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් එක් කර තිබීම ද විශේෂත්වයකි.

මේ තරගාවලිය සඳහා ආරම්භ පිතිකරු ළහිරු තිරිමාන්න එක් නොවන අතර, ඔහු පෞද්ගලික හේතුවක් මත තරගාවලිය සඳහා වන තේරීම්වලින් ඉවත් වන බව පවසා තිබිණි.

ක්‍රේග් බ්‍රැත්වයිට්ගේ නායකත්වයෙන් තරග වදින කොදෙව් පිල ලෝක ශූරතාවලිය යටතේ එක් වන දෙවැනි තරගාවලිය මෙයයි. ඔවුන් මින් පෙර පාකිස්තානයට එරෙහිව තරගාවලියකට (2) එක් වූ අතර, එය 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා විය.

මේ සංචාරය සඳහා කෙදෙව් සංචිතයට නවක ක්‍රීඩකයකු ලෙස වමත් ආරම්භක පිතිකරුවකු වන ජෙරම් සොලොසනෝ කැඳවා ඇති අතර, වසර 6කට පසු දඟ පන්දු යවන වීරසාමි පෙරුමාල් එක් කර තිබීම ද විශේෂත්වයකි.

මේ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ෂේන් මැක්ඩර්මෝට් මහතාට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් ඔහු සෙසු සාමාජිකයන්ගෙන් හුදෙකලා කිරීමට කටයුතු කර තිබිණි. කෙසේ වෙතත් මේ හේතුවෙන් ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලියට බලපෑමක් එල්ල නොවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි.

මේ වන විට ඔහුගේ සමීප ආශ්‍රිතයන් ලෙස හඳුනා ගෙන ඇති ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්, පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ භෞත චිකිත්සක බ්‍රේට් හැරෝස් ද නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

එම සමීප ආශ්‍රිතයන් සඳහා ඊයේ ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට නියමිතව තිබූ අතර, පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර යළිත් වරක් සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතව ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

මැක්ඩර්මෝට්ගේ සමීප ආශ්‍රිතයන් ලෙස කිසිදු ක්‍රීඩකයකු හඳුනා ගෙන නැති අතර, සියලු ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් දෙවරක් එන්නත්කරණයට ලක් කර ඇති බැවින් තරගාවලියට බලපෑමක් එල්ල වීමේ අවධානම ඉතා අවම බව අර්ජුන ද සිල්වා මහතාගේ අදහස වී තිබේ.

රංජන් මඩුගල්ලේගෙන් වාර්තාවක්

මේ තරගාවලියේ තරග තීරකවරයා ලෙස පත් කර ඇත්තේ රංජන් මඩුගල්ලේ මහතායි.

පළමු තරගයට එක් වීමත් සමඟ මඩුගල්ලේ මහතා වාර්තා අතරට එක් වන්නේ අන්තර්ජාතික ටෙස්ට් තරග 200කදී තරග තීරකවරයා ලෙස කටයුතු කළ පළමුවැන්නා ලෙසනි.

ලෝක ක්‍රිකට් තරග තීරකවරුන් අතර, ජ්‍යෙෂ්ඨතමයා ලෙස සැලකෙන මඩුගල්ලේ මහතා මින් පෙර පළමු වරට ලොව ටෙස්ට් තරග 100 සහ 150 සීමාව පසු කළ පළමු තීරකවරයා ද විය. එම අවස්ථා ත්‍රිත්වයම සිය මවුබිමේදී සටහන් කර ගැනීමට ඒ මහතාට හැකි වීම ද විශේෂත්වයකි.

තරගාවලිය සඳහා පස්දෙනකුගෙන් සමන්විත විනිසුරු මණ්ඩලයක් ද පත් කර ඇති අතර, ඊට කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල මහත්වරු ඇතුළත් වෙති.

ශ්‍රී ලංක සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ඕෂධ ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, පැතුම් නිස්සංක, චරිත් අසලංක, මිනොද් භානුක, රොෂේන් සිල්වා, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුමින්ද ලක්ෂාන්, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, කමිල් මිෂාර, චාමික ගුණසේකර.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය – ක්‍රෙග් බ්‍රැත්වයිට් (නායක), ජෙරමින් බ්ලැක්වුඩ් (උප නායක), කෘමා බොනර්, රොස්ටන් චේස්, රකීම් කෝන්වෝල්, ජෂුවා ද සිල්වා, ශෙනන් ගේබ්‍රියල්, ජේසන් හෝල්ඩර්, ෂායි හෝප්, කයිල් මේයර්ස්, වීරසාමී පෙරුමා, කෙමාර් රෝච්, ජේඩ්න් සීල්ස්, ජෙරම් සොලොසානෝ, ජොමෙල් වොරිකන්.

0 comment
0

Related Posts

Leave a Comment