Home ක්‍රීඩා පුවත් ලෝක කුසලානෙට සුදුස්සන් වන්නට පෙරහුරුව ලැබුමට ශ්‍රී ලංකාව සටනට

ලෝක කුසලානෙට සුදුස්සන් වන්නට පෙරහුරුව ලැබුමට ශ්‍රී ලංකාව සටනට

by Hela news

මේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් පුවත් සම්පිණ්ඩනයකි. එම තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග වටයට ක්‍රීඩා කරන්නට ශ්‍රී ලංකාවට සිදුව ඇති අතර පසුගිය දා අයි.සී.සී. ය විසින් තරගාවලිය වෙනුවෙන් නිල ගීයක් ද හඳුන්වා දෙනු ලැබී ය. මේ ඒ සම්බන්ධ පුවත් සම්පිණ්ඩනයකි.’

එළඹෙන විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන අද අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළා. 2021 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානයේ පැවැත්වෙන අයි.සී.සී. විස්සයි20 ලෝක කුසලානය ඔක්තෝබර් 17 දා ආරම්භ වන අතර අවසන් මහා තරගය නොවැම්බර් 14 දා ඩුබායි හි දී පැවැත්වේ.

මේ අනුව ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරග ඔක-්තෝබර් 17 වැනි දා ආරම්භ වෙයි. එහි පළමු තරගය පැවැත්වෙන්නේ ඕමානය හා පැපුවා නිව්ගිනියා කණ්ඩායම් අතරයි.

මෙවර තරගාවලියේ තෝරා ගැනීමේ තරග සඳහා ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකාවේ පළමු තරගය ඔක්තෝබර් 18 වැනි දා නැමීබියාවට එරෙහිව පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය අයර්ලන්තයට එරෙහිව දියත්-වන්නේ 20 වැනිදා ය. තෙවැනි තරගය නෙදර්ලන්තයට එරෙහිව 22 වැනිදා පැවැත්වේ. ශ්‍රී ලංකාවට ලෝකය කුස-ලානයේ සුපිරි 12 කණ්ඩායම් අතරට තේරීමට නම් මෙම තරග ජය ගැනීම අනිවාර්ය ‌වෙයි.

පළමු අවසන් පූර්ව තරගය නොවැම්බර් 10 වැනි දා අබුඩාබි හි දී පැවැත්වේ. දෙවැනි අවසන් පූර්ව තරගය නොවැම්බර් 11 දා ඩුබායි හි දී පැවැත් වෙන අතර අවසන් තරගය නොවැම්බර් 14 වැනි ඉරිදා පැවැත්වෙන්නේ ඩුබායි හි දී ය.

මෙම තරගාවලිය මුලින් පැවැත්වීමට නියමිතව තිබුණේ ඉන්දියාවේ වන නමුත් වර්තමාන කොවිඩ් වසංගතය හේතුවෙන් එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ඕමානය යන රටවලට රැගෙන යනු ලැබිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට තරග සඳහා කොපමණ ප්‍රමාණයක් ගමන් කළ හැකි ද යන්න සීමා කිරීමට ද කටයුතු කර ඇත.

ඒ අනුව අයි.සී.සී. ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ කණ්ඩායම්වලට ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සහ නිලධාරීන් අට දෙනෙකුගෙන් යුත් අවසන් ලැයිස්තුව ඉදිරිපත් කිරීමට සැප්තැම්බර් 10 දක්වා කාලය ලබා දෙන බවයි. කෙසේ වෙතත්, කණ්ඩායම සමඟ ගමන් කරන අතිරේක ක්‍රීඩකයන්ගේ වියදම අදාළ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ආවරණය කළ යුතු බව නිවේදනයේ සඳහන් ය.

වර්තමාන වසංගත අර්බුදය හමුවේ වැඩි වැඩියෙන් කණ්ඩායම සමඟ ගමන් කරන අතිරේක ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව සහ කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාවද දක්වා ඇත.

පස්දෙනකුගේ වෙනම සංචිතයක් සම්පූර්ණ සංචිතය 24 යි

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට අතිරේක ක්‍රීඩකයන් පහක් සහ අතිරේක පුහුණුකරුවකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් සහභාගි කරවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පැවසී ය.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන නිල සංචිතයේ ක්‍රීඩකයන් 19 දෙනාට අමතරව තවත් ක්‍රීඩකයන් පස්දෙනකු ඒ වෙනුවෙන් සූදානම් කර තබන ලෙස තේරීම් කමිටුව ඉල්ලා සිටි බවත් ඒ අනුව මෙම ක්‍රීඩකයන් පස්දෙනා සහ පුහුණුකරු වෙනම කණ්ඩායමක් ලෙස සහභාගි කරන බවත් සභාපතිවරයා සඳහන් කළේ ය.

‘කොවිඩ්’ වසංගතය අනුව එම තීරණය වඩාත් හොඳ තීරණයක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගත් බවත් ඒ අනුව මෙම පිරිස සූදානම් කරන බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.

මෙම තීරණයත් සමඟ එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 24 ක් සහභාගි වීමට නියමිත අතර ප්‍රධාන සංචිතයේ සිටින අතිරේක ක්‍රීඩකයන් සිවුදෙනා සමඟ අතිරේක ක්‍රීඩකයන් නවදෙනා තරගවලට සහභාගි වීමට නම් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ තාක්‍ෂණික කමිටුවේ අවසර ලැබිය යුතු ය.

ශ්‍රී ලංකාව ලෝක කුසලාන සුදු-සුකම් ලැබීමේ තරගාවලියට පෙර ඕමානයට එරෙහිව ඔක්තෝබර් මස 7 සහ 9 දෙදින විස්සයි20 තරග දෙකකට සහභාගි වීමට නියමිත අතර ඉන් අනතුරුව ඔක්තෝබර් 12 සහ 14 දෙදින ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ පුහුණු තරග දෙකකටද සහභාගි වීමට නියමිත ය.

මයියාට ජය මාවත සොයන්න සුක්කානම

2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු හයකින් ඉන්දියාවට පරාජය වීම තරග පාවාදීමක් බවට හිටපු ක්‍රීඩා ඇමැතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ කළ ප්‍රකාශයට පදනමක් නැති බව රජයේ නීතිපතිවරයා තහවුරු කර තිබේ. ඒ අනුව හිටපු ක්‍රීඩා ඇමැතිවරයා කළ ප්‍රකාශය පදනම් කර ගනිමින් ක්‍රිඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය විසින් කරන ලද පරීක්ෂණ අවසන් කර ඇත.

එම තීන්දුව ප්‍රකාශයට පත්ව සතියක් ගෙ‍ෙවන්නටත් මත්තෙන් මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් සහ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම්වල උපදේශකයකු ලෙස පත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. ලබන මස ඩුබායි හි පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශක ලෙස සහ 2022 බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සූදානම් වන 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස ඔහු ක්‍රියා කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයකු ලෙස මෑත කාලයේ පත්වූ පළමු අවස්ථාව මෙය වන අතර, දැනටමත් ශ්‍රී ලංකා ක්‍රිකට්හි පුහුණුකරුවන් කිහිප දෙනකු කටයුතු කරමින් සිටිය ද උපදේශක මට්ටමේ තනතුරක් ඇති කළ පළමු අවස්ථාව ද මෙයයි.

මහේල මේ දිනවල අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් හි ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර, එම තරගාවලිය අවසන් වූ වහාම ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වනු ඇත. ඔක්තෝබර් 16 සිට 22 දක්වා දින 7 ක කාලය ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබීමේ වටයට තරග වදී. එහිදී මහේල ජයවර්ධන කණ්ඩායමට ඇවැසි දායකත්වය ලබා දිමට නියමිතය‍.

ලෝක කුසලාන තේමා ගීතය කරළියට

මෙවර පන්දුවාර විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල තේමා ගීතය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එළිදක්වා තිබේ.

ඉන්දියාවේ සුපිරි සංගීතවේ දී අමිත් ත්‍රිවේදී විසින් නිර්මාණය කළ එම ගීතය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය එළිදැක්වූයේ පසුගිය දා ය. 3D සහ 2D තාක්ෂණය යොදා ගනිමින් සජීවීකරණ සිදු කළ එම වීඩියෝවේ විරාට් කෝලි, කිරන් පොලාඩ්, ග්ලේන් මැක්ස්වෙල් සහ රශීඩ් ඛාන්ගේ රුව සජීවීකරණයට ලක් කර ඇත.

ඉන්දියාවේ මුම්බායි , නවසීලන්තයේ ඕක්ලන්ඩ්, බටහිර ඉන්දිය කොදෙව් හි ජැමෙයිකා සහ පාකිස්තානයේ කරච්චි කේන්ද්‍ර කර ගනිමින් සජීවීකරණය කර ඈති අතර ඊට අමතරව ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන රටවල් නගර සහ ජාතික කොඩි ඊට යොදාගෙන ඇත.

මෙහි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇතුළු තවත් කණ්ඩායම් කිහිපයක් පිළිබිඹු වන කිසිදු දර්ශනයක් එම වීඩියෝවේ නොමැති වීමයි.

0 comment
0

Related Posts

Leave a Comment