Home ක්‍රීඩා පුවත් ලෝක කුසලානයේදී පෙරැළි කළ අපේ කොල්ලෝ

ලෝක කුසලානයේදී පෙරැළි කළ අපේ කොල්ලෝ

by Hela news

ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නිමා කළේ සුපිරි කණ්ඩායම් 12 වටයේ පළමු කාණ්ඩයේ 4 වැනි ස්ථානය හිමි කර ගනිමිනි.

සුපිරි 12 වටයට ඍජුව එක් වීමට නොහැකි වීමෙන් පසු පළමු වටයෙන් තරග කරමින් මෙතරම් දුරක් පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගතයට යහපත් තත්ත්වයකි. මෙවර ලෝක කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම් තෝරා ගැනීම සිදු කළ 2018 දෙසැම්බර් 31 වැනිදා වන විට අයිසීසී ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 8 අතර නොසිටීමෙන් ශ්‍රී ලංකා පිලට සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කිරීමට සිදු විය.

මේ තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එක් වූ ද්වීපාර්ශ්වික තරගාවලි කිහිපයේදී ඇතැම් රටවල හිටපු අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩකයන් සහ ක්‍රිකට් විචාරකයන් ශ්‍රී ලංකා කණ්ඩායම දුර්වල කණ්ඩායමක් බවට ප්‍රකාශ කර තිබිණි. එබැවින් මේ තරගාවලියේදී වැඩිම තරුණ ක්‍රීඩකයන් පිරිසක් නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්වූ දස්කම් එම අදහස් වෙනස් කිරීමට සමත්ව තිබේ. මෙවර තරගාවලියේදී පළමු වටයෙන් තරග කරමින් එහි අපරාජිතයන් ලෙස සුපිරි 12 වටයට එක් වූ ශ්‍රී ලංකා පිල එහිදී පළමු කොටසින් තරග කළේය. 

ඉහළම ලකුණු

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිල සහභාගි වූ අවසන් තරගය බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ පැවැති 35 වැනි තරගය ලෙසිනි.

ඒ වන විට වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට චරිත් අසලංක සමත්ව තිබූ අතර, දෙවැනි ස්ථානය පැතුම් නිශ්ශංකට හිමිව තිබිණි.

මේ ක්‍රීඩකයන් දෙදෙනාම අන්තර්ජාතික විස්සයි20 තරග බිමට පිවිසියේ මේ වසරේ වීම ද කැපී පෙනේ. අසලංක තවමත් ක්‍රීඩා කර ඇත්තේ විස්සයි20 අන්තර්ජාතික තරග 9ක් පමණක් වන අතර, නිශ්ශංක තරග 12කට ක්‍රීඩා කර ඇත.

මේ තරගාවලියේදී අසලංක ලකුණු 6, 80, 35, 21, 21, 68ක් ලෙස රැස් කළ අතර, නිශ්ශංකගේ ඉනිම් වාර්තා වූයේ ලකුණු 5, 61, 0, 24, 7, 72, 1 සහ 51ක් ලෙසිනි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවන් 50 දෙනා අතරට ශ්‍රී ලාංකික පිතිකරුවන් 6 දෙනකු ඇතුළත් වන අතර, ජගත් ක්‍රිකට් පිටියේ ප්‍රබලම ක්‍රීඩකයකු වන ඉන්දීය නායක විරාට් කෝලි ද එම පිතිකරුවන් අතර නොවීම විශේෂත්වයකි.

වැඩිම කඩුලු

ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලිය නිමා කරන විට කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට වනිඳු හසරංග සමත්ව සිටියේය. ඔහු තරග 8කදී කඩුලු 16ක් දවාගත් අතර, දෙවැනි තැන පසුවන ශකීබ් අල් හසන් කඩුලු 11ක් සහ ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා කඩුලු 10ක් (තෙවැනියා) දවා ගෙන තිබිණි. සම්පාට මූලික වටයේ තවත් තරගයක් ඉතිරිව ඇත. මේ සමඟ වනිඳු හසරංග විස්සයි ලෝක කුසලාන තරගාවලියක වැඩිම කඩුලු සංඛ්‍යාවක් (16) දවාගත් ක්‍රීඩකයා බවට ද පත් විය. මින් පෙර ශ්‍රී ලංකාවේම අජන්ත මෙන්ඩිස් 2012 වසරේදී එම වාර්තාව හිමි කර ගෙන සිටියේ කඩුලු 15ක් දවා ගනිමිනි. මෙවර තරගාවලියේදී කඩුලු ත්‍රිත්වයක් ද බිඳ දමමින් පන්දුවෙන් මෙන්ම පිතිකරණයෙන් ද දැක්වූ දස්කම් හේතුවෙන් විස්සයි20 අයිසීසී පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය මෙන්ම තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර සිව්වැනි ස්ථානය ද හිමි කර ගැනීමට ද වනිඳුට හැකි විය.

මෙවර තරගාවලියේ ශ්‍රී ලංකා පිල දැක්වූ දස්කම් දෙස බැලූ කල තරුණයන් පිරිසකගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ලබන වසරේ ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී මීට වඩා දිගු ගමනක් යෑමට හැකි වනු නිසැකය.

ධනංජයලා දෙන්නම බංකුවේ

මේ අතර, ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත සංචිතයේදී අකිල ධනංජයට සහ ධනංජය ද සිල්වාට තරග කිරීමට අවස්ථාවක් හිමි නොවූ අතර, දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කළේ තරග 2ක් පමණි. මේ වසර සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩක කොන්ත්‍රාත් පිරිනමන විට ඉහළම මිලක් හිමි වූ ක්‍රීඩකයන් දෙදෙනා අතරට ධනංජය ද සිල්වා ඇතුළත්ව තිබීම විශේෂත්වයකි. ඔහු කණ්ඩායමේ උප නායකයා ලෙස ද නම් කර තිබිණි.

0 comment
0

Related Posts

Leave a Comment