Home ගොසිප් පුවත් ලෝකය වෙනස් කරන ශ්‍රී ලාංකිකයින්

ලෝකය වෙනස් කරන ශ්‍රී ලාංකිකයින්

by Hela news

අපේ ශ්‍රී ලාංකිකයින් කෙතරම් නම් නිර්මාණශීලීද? පහත දැක්වෙන්නේ එසේ ඉතිහාසය වෙනස් කළ නවෝත්පාදන බිහි කරනු ලැබූ ලාංකිකයින් පිරිසකුයි. සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇති කරන්නට තරම් ඔවුන්ගේ නවෝත්පාදන බලවත්! නිර්මාණශීලීත්වය සහ දක්ෂතාවය සහිත මේ ලාංකික නවෝත්‍පාදකයින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජාත්‍යන්තරය තුළ තමන්ගේ නම තබන්නට සමත් වී තිබෙනවා.

සුරංග නානායක්කාර

2011 වසරේදී සුරංග “” ආයතනය පිහිටවනු ලැබූයේ, සංජානනීය හැකියාවන් හි සීමා පුළුල් කරන මානව පරිගණක පිළිබඳව ගවේෂණය කිරීම උදෙසායි. ඔහුගේ මෙම කාර්යය වඩාත්ම වැදගත් වන්නේ ඇසීමේ සහ පෙනීමේ ගැටලු නිසා විවිධ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වන පුද්ගලයන්ටයි.

සුරංගගේ තවත් පරීක්ෂණ ක්ෂේත්‍ර කිහිපයක්ම ලෝකයේ කතාබහට ලක්ව තිබෙනවා. Eye Ring යනු a finger-worn interface for seamless interactions such as gestures.
Haptic Chair ලෙස හඳුන්වන්නේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයින්ට වඩාත් තෘප්තිකර/තෘප්තිමත් සංගීත අත්දැකීමක් ලබා දෙන ශ්‍රව්‍ය-දෘශ්‍ය පද්ධතියකි. Stick Ears යනු එදිනෙදා කාර්යයන් පහසු කරන ශබ්ද මත පදනම් වූ ස්ටිකි නෝට් වැනි දෙයක්… සෑම Stick Ears පද්ධතියක්ම ශබ්ද ආදානයට සහ ප්‍රතිදානයට, කුඩා මයික්‍රොෆෝනයකින් සහ ස්පීකරයකින් සමන්විත වේ.

සුරංග මේ නවෝත්පාදන වෙනුවෙන් සම්මාන රාශියකුත් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අතර ආසියා පැසිෆික් කලාපය උදෙසා MIT Tech Review මඟින් සංවිධානය කෙරෙන TR35 සම්මානය (Young Inventor Under 35 award), Outstanding Young Persons of Sri Lanka (TOYP) ජයග්‍රහණය සහ INK Fellowship 2016ත් ඇතුළත්…

ආචාර්ය රංග ඩයස්

ආචාර්ය රංග ඩයස් යනු අධි-පීඩනය සහ උෂ්ණත්වය යටතේ වන ක්වොන්ටම් සංසිද්ධි පිළිබඳව පර්යේෂණ කරන ලොව පිළිගත් විද්‍යාඥයෙකි.

පෘථිවියේ දුර්ලභම ලෝහය වන Atomic Metallic Hydrogen H2 (solid) සොයාගැනීමට 2016-2017 වසරවල සිදු කළ පර්යේෂණවලදී සැලකිය යුතු කාර්යයභාරයක් ඉටු කිරීමට ඔහු සමත් වුණා.

ලොව ප්‍රථම කාමර-උෂ්ණත්ව අධි සන්නායකය සොයා ගත්තේද ආචාර්ය රංග ඩයස්ගේ කණ්ඩායමයි. භෞතික විද්‍යාවේ පෙරළිකාර සොයාගැනීමක් වූ එතුළින්, කාමර-උෂ්ණත්වයේ පවතින අධි සන්නායකයක් නිර්මාණය කිරීමට භෞතික විද්‍යාඥයින් තුළ වූ ගැටලුවට පිළිතුරු ද සැපයිණි.

රකිත මාලේවන

රකිත මාලේවනගේ පර්යේෂණ බොහෝමයක් සිදුවන්නේ වෛද්‍ය සහ අණුක විද්‍යාව මුල් කරගෙනයි. HIV/AIDS සහ ලියුකේමියාවට සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන ප්‍රතිකාර ක්‍රම ගොඩ නැංවීමට ඔහු කළ පර්යේෂණ ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර විය.
මනුෂ්‍ය ලියුකේමියා සෛල සඳහා නැනෝ තාක්ෂණය භාවිතයෙන් ඔහු කළ ප්‍රතිකාර පර්යේෂණය, 2014 වසරේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වූ International Science Projects Olympiad හි / ඔලිම්පියාඩ් ජාත්‍යන්තර විද්‍යා ව්‍යාපෘති තරඟාවලියේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමටත් සමත් වුණා.

රකිත විසින් වාරි ජල සංරක්ෂණය සඳහා සුවිශේෂී ක්‍රමයක් සොයා ගනු ලැබුවේ 2012 වසරේදීයි. එය Stockholm Junior Water Prize National Competition තරඟාවලියේදී කුසලතා සම්මානයක් දිනා ගත්තා.

HIV සහ AIDS ආසාදිතයින් වෙනුවෙන් ඔහු කළ සමාජ මෙහෙවර අගයමින් 2016 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය Queen’s Young Leaders ගෞරව නාමයෙන් පිදුම් ලැබීමටත් ඔහු සමත් වුණා.

මංජු ගුණවර්ධන

මංජු ගුණවර්ධන මාතර ප්‍රදේශයේ උපත ලද ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකි; විද්‍යාඥයෙකි. ඉන්ෆ්ලුවන්සා ව්‍යාප්තිය සීමා කිරීමට නිපද වුණු නැනෝ බල්බය/බුබුළ ඔහුගේ විශිෂ්ඨ සොයාගැනීමකි. ජාත්‍යන්තර සම්මානලාභී මෙම ලාංකීය පර්යේෂකයා පවසන්නේ කොරෝනා වෛරසය ඇතුළු වාතයෙන් බෝවන අනෙකුත් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ විසඳුමක්ද තමන් සතුව ඇති බවයි.

ඔහුගේ නවෝත්පාදනයේ තිබෙන නැනෝ අංශු මඟින් වායුගෝලයේ පවතින විෂ රසායනික, බැක්ටීරියා සහ වෛරස විනාශ කරනවා. මෙම නවෝත්පාදනය උදෙසා එක්සත් රාජධානිය විසින් නිකුත් කළ පේටන්ට් බලපත්‍රයක්ද ගුණවර්ධන සතුයි.

වාතයේ විෂබීජ විනාශ කරන නැනෝ අංශුවලින් සමන්විත වන මෙම උපාංගය ඔබේ නාන කමරයේ හෝ මුළුතැන්ගෙයි සවි කරන්නට පුලුවන්.

දිනේෂ් කටුගම්පල

ලෝකයේ පළමු radius meterය සොයාගත්තේ ඔහුයි. එය ඕනෑම ගෝලයක හෝ චාපයක අරය මැන ගත හැකි උපකරණයකි. මෙම උපකරණය නිර්මාණය කිරීමට පෙර, ඕනෑම වෘත්ත කොටසක අරය මැනගත හැකි ගණිතමය සූත්‍රයක්ද ඔහු විසින් එළි දක්වන ලදී. ඔහුගේ ගණිතමය සූත්‍රය Square Dual Theorem ලෙසින් හැඳින්වෙන අතර radius meterයට මුල් වූයේද එයයි.

2009දී ඔහුගේ උපකරණය සහ ගණිතමය සූත්‍රය යන ද්විත්වයටම අදාළ පේටන්ට් බලපත්‍ර දිනේෂ් ලබා ගත්තා. ඔහුට අවශ්‍ය වන්නේ ඔහුගේ ගණිතමය සූත්‍රය ගණිත විෂය නිර්දේශයට ඇතුළත් කර පාසල්වල ඉගැන්වීමටයි.

2008 වසරේදී මොරටු විශ්ව විද්‍යාලයේ NDT තාක්ෂණ ඩිප්ලෝමාව හදාරන අතරතුරේදීයි ඔහු මෙම උපාංගය නිර්මාණය කළේ…

ආචාර්ය අනුප හේරත්

ආචාර්ය හේරත් විසින් වැඩි දියුණු කළ නව ස්වරාලේක්ෂ අනුරුවට 2017 වසරේ ජිනීවා හි පැවති ජාත්‍යන්තර නව නිපැයුම් තරඟාවලියේදී රන් පදක්කම හිමි වුණු අතර ජූරියේ විශේෂ අවධානයක් දිනා ගන්නත් ඔහු සමත් වුණා. ඔහු විසින් නිපදවූ මෙම වීඩියෝ-ස්වරාලේක්ෂය (Video-Laryngoscope with Extended Functions) ශරීර අභ්‍යන්තරය හොඳින් පරීක්ෂා කරමින් ජීවිත රැසක් බේරා ගැනීමට මහඟු උපකාරයක් වුණා.

මෙම ශ්‍රී ලාංකිකයින්, දැවැන්ත පරිශ්‍රමයක් දරා නිපදවූ තමන්ගේ නවෝත්පාදන සහ පර්යේෂණ හරහා ලෝකයට කරන ධනාත්මක බලපෑම සුලු පටු නොවේ. අප දකින්නේ අවසාන සාර්ථක ප්‍රතිඵලය පමණක් වුණත්, ඒ සාර්ථකත්වයට ළඟා වෙන්නට පෙර කෙතරම් අභියෝගයන්ට මුහුණ දෙන්නට ඔවුන්ට සිදු වූවා ද යන්න දන්නේ ඔවුන්ම පමණයි.

ඔවුන් විසින් පෙරදී සොයාගත් නවෝත්පාදන සහ සිදු කරමින් සිටින පර්යේෂණවල බලපෑමෙන් වෙනස් වන්නේ මේ ලෝකයේ අනාගතයයි. ඇත්තෙන්ම අපේ මේ නවෝත්පාදකයින් නොසිටින්නට ලෝකය කෙතරම් නීරස වෙන්නට තිබුණාද?

ඉතින්…
ඒකාකාරී ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් ලෝකය වඩාත් සුන්දර තැනක් බවට පත් කරන්නට වෙහෙස වෙන අපගේ නිර්මාණශීලී නවෝත්පාදකයින්ට අප ස්තූතිවන්ත විය යුතු නැත්ද??

0 comment
0

Related Posts

Leave a Comment