Home කාලීන පුවත් ලෝක බඩගිනි මිණුම් දණ්ඩේ ලංකාව ඉන්න තැන

ලෝක බඩගිනි මිණුම් දණ්ඩේ ලංකාව ඉන්න තැන

by Hela news

ශ්‍රී ලංකාව 2021 ගෝලීය සාගිනි දර්ශකයේ 65 වැනි ස්ථානයට පත්ව තිබේ. 2020 ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 64 වැනි ස්ථානයයි. ඒ අනුව පෙර වසරට වඩා එක් අගයකින් ශ්‍රී ලංකාව පහත වැටුණද 2000, 2006 සහ 2012 වසරවල පැවැති බරපතළ තත්ත්වයෙන් මිදී මධ්‍යස්ථ තත්ත්වයට පත්වීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. 2000 වසරේ ශ්‍රී ලංකාවට ලකුණු 21.9ක් ද, 2006දී  20.0ද, 2012දී 20.6ක් ද ලැබී තිබිණි. මෙවර හිමිවූ ලකුණු ප්‍රමාණය 16කි.

ගෝලීය සාගිනි දර්ශකය යනු ගෝලීය, කලාපීය සහ ජාතික මට්ටමින් පුළුල් ලෙස සාගින්න මැන බැලීමට හා තොරතුරු ගණනය කිරීම සඳහා ඇති ක්‍රමවේදයකි. එය අංශ හතරක අගයන් මත පදනම්ව සැකසෙන්නකි. මන්දපෝෂණය, ළමුන්ගේ වර්ධනය, ළමා මරණ, ළමුන්ගේ උසට සරිලන බර යනාදී කරැණු මෙහිදී සැලකිල්ලට ගැනේ. ඒ අනුව බිංදුවේ අගයක් ලබාගන්නා රටවල් සාගින්න නොමැති රටවල් සේ සැලකෙන අතර 100 අගයක් ලබා ගන්නා රටවල් උග්‍ර ලෙස සාගින්න පවතින රටවල් ලෙස හඳුනා ගැනේ.

ගෝලීය සාගිනි දර්ශකය ප්‍රකාශයට පත් කිරීමේ වැඩසටහන ආරම්භ වූයේ 2006දී වසරේ සිටය. එක්සත් ජනපදයේ ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය සහ ජර්මනියේ වෙල්තුංගර්හිල්ෆ් ආයතනය ඊට මූලික විය. 2007 දී කොන්සර්න් වර්ල්ඩ්වයිඩ් නමැති අයර්ලන්ත රාජ්‍ය නොවන සංවිධානයද එයට සම්බන්ධ විය. එතැන් සිට සෑම වසරකම මෙම දර්ශකය ප්‍රකාශයට පත් කෙරේ.

2021 ගෝලීය සාගිනි දර්ශකය සකස් කිරීම සඳහා රටවල් 135 ක දත්ත සලකා බලන ලද අතර ඉන් රටවල් 116 ක ගණනය කිරීමට ප්‍රමාණවත් දත්ත ලැබී තිබිණි. රටවල් 19ක නිවැරදි දත්ත නොතිබි අතර එම රටවල් තාවකාලික ලෙස වර්ගීකරණයට ලක්කිරීමට සමීක්ෂකයෝ පියවර ගත්හ. ඒ අනුව එක් රටක් අවම ලකුණු මට්ටමේද, එකක් මධ්‍යස්ථ ලකුණු මට්ටමේද, 6ක් බරපතල මට්ටමේද, 4ක් අනතුරුදායක මට්ටමේද, පවතින බවට නිගමනය කෙරුණු අතර රටවල් 7ක් සඳහා තාවකාලික හෝ නිගමනයකට එළඹිය නොහැකි වී තිබේ. දත්ත නොමැති රටවල් බොහෝ විට දැඩි ලෙස සාගින්නෙන් පීඩාවට පත්වන රටවල් විය හැකි බවද, බුරුන්ඩි, කොමරෝස්, දකුණු සුඩානය සහ සිරියානු අරාබි ජනරජය යන තාවකාලිකව අනතුරු අඟවා ඇති රටවල් 4න් සම්පූර්ණ දත්ත ලබාගත හැකිවූයේ නම්  ඉන් එක් රටක් හෝ කිහිපයක් හෝ අතිශයින්ම අනතුරුදායක ගණයට වැටීමට ඉඩ ඇති බවද තහවුරු කිරීමට ප්‍රමාණවත් තොරතුරක් නොමැති හෙයින් එම රටවල පවතින තත්ත්වය සලකා බලා ඒවා දැඩි අනතුරැදායක රටවල් ලෙස වර්ගීකරණය කිරීමට පියවර ගත් බවද වාර්තාවේ සඳහන්ය.

ලකුණු 0-9.9 දක්වා හිමිකරගත් රටවල් කුසගින්න අවම රටවල් ලෙසද, 10–19.9  මධ්‍යස්ථ රටවල් ලෙසද, 20-34.9 දක්වා ලකුණු හිමිකරගත් රටවල් බරපතල තත්වයක පවතින රටවල් ලෙසද, 35-49.9 දක්වා අනතුරුදායක රටවල් ලෙස සහ  50ට වැඩි රටවල්  දැඩි අනතුරුදායක තත්ත්වයක පවතින රටවල් ලෙසද නම් කර තිබේ. ඒ අනුව ලකුණු 5ක් ලබාගත් බෙලාරුස්, බොස්නියා හෙර්සගොවිනා, බ්‍රසීලය, චිලි, චීනය, ක්‍රොඒෂියා, කියුබාව, එස්තෝනියාව, කුවේට්ය, ලැට්වියාව, ලිතුවේනියාව මොන්ටෙනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, රුමේනියාව, සර්බියාව, ස්ලොවේකියාව, තුර්කිය සහ උරුගුවේ යන රටවල් 18 කුසගින්න අවම රටවල් අතරට අයත්ය. ආර්ජන්ටිනාව, ටියුනීසියාව, බල්ගේරියාව, කසකස්තාන්, ජෝර්ජියා, යුක්රේනය, වැනි රටවල් 32ක් 5 සිට 9.9 දක්වා ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන තිබේ. ඒ අනුව ඔවුන්ද කුසගින්න අවම රටවල් අතරට අයත් වේ.

ශ්‍රී ලංකාව, සුරිනාම්, ගයනා, තායිලන්තය, මුරැසිය, ඕමානය, ඊජිප්තුව, බොලිවියා, හොන්ඩියුරාස්, මැලේසියා, දකුණු අප්‍රිකාව, වියට්නාමය, ඉක්වදෝරය, නිකරගුවාව, පිලිපීනය බුරැමය, ගැමිබියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, නේපාලය වැනි රටවල් 31ක් මධ්‍යස්ථ රටවල් අතරට පත්ව තිබේ. එම රටවල් වැඩි ප්‍රමාණයක් පසුගිය කාලයේ දැඩි අවදානම් තත්වයක පැවැති රටවල් වන අතර මේ වනවිට ඔවුන් යම් මට්ටමකින් කුසගින්න ජයගැනීමට සමත්ව තිබේ.

නැමීබියාව, මලාවි, බෙනින්, ඉරාකය, බොට්ස්වානා, මුරිතේනියා, පාකිස්තානය, උතුරු කොරියාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, හයිටි, ලයිබීරියා, සිම්බාබ්වේ, උගන්ඩාව වැනි රටවල් 26ක් සිටින්නේ බරපතළ මට්ටමේය.

අපේ අසල්වැසි රටවල් අතර පසුගිය වසරේ 75 වැනි ස්ථානයේ සිටි බංග්ලාදේශය මෙවර ලකුණු 19.1ක් ලබා 76 වැනි ස්ථානය දක්වා පසු බැස සිටියද ඔවුන්ද මධ්‍යස්ථ මට්ටමේ පවතී. එහෙත් පසුගිය වසරේ 94 වැනි ස්ථානයේ පසු වූ ඉන්දියාව මෙවර ලකුණු 27.5ක් ලබා 101 වැනි ස්ථානයටද, 88 වැනි ස්ථානයේ පසු වූ පාකිස්තානය මෙවර ලකුණු 24.7ක් හිමිකරගනිමින් 92 වැනි දක්වාද පසුබැස තිබේ.  එහෙත් මේ සියලු රටවල් 2000, 2006 සහ 2012 වසර හා සසඳන විට යම් ප්‍රගතියක් ලබා ඇති බව පෙනී යයි. 

අනතුරුදායක තත්ත්වයක පවතින රටවල් 9කි. ඒ මැඩගස්කරය, කොංගෝ, චැඩ්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, යේමනය, බුරැන්ඩි, කොමරොස්, දකුණු සුඩානය සහ සිරියානු අරාබි ජනරජයයි. ඔවුන් ලකුණු 36.3 සිට 49.9 දක්වා වන පරාසයක රැඳී සිටී. දැඩි අනතුරුදායක තත්ත්වයක පසුවන්නේ එක් රටක් පමණි. ඒ සෝමාලියාවය. එය 2000 වසරේ සිටම දැඩි අනතුරුදායක පවතින රටකි. ඔවුනට මෙවර හිමිව ඇති ලකුණු ප්‍රමාණය 50.8කි. 2012 වසරේ ඔවුන් දැඩි අනතුරුදායක තත්ත්වයේ උපරිමයේ සිටි රටකි. එවර ඔවුනට හිමිව තිබූ ලකුණු ප්‍රමාණය 65.1කි. මෙවර ඔවුන් යම් මට්ටමකට සාගින්න අවම කරගෙන ඇති නමුදු තවමත් පසුවන්නේ දැඩි අනතුරුදායක කලාපයේය. ඔවුන් 116 වැනි ස්ථානයේ පසුවන අතර යේමනය 115 වැනි ස්ථානයේ පසුවෙයි.

ආහාර අර්බුදයට ප්‍රධාන හේතුව ගැටුම් හා ප්‍රචණ්ඩ ක්‍රියා යැයි එම වාර්තාවේ සඳහන්ය.. නිෂ්පාදනය, අස්වනු නෙලීම, සැකසීම සහ ප්‍රවාහනය, මූල්‍යකරණය, අලෙවිකරණය සහ පරිභෝජනය දක්වා ආහාර පද්ධතිවල සෑම අංශයකටම එය බලපා තිබේ. එමෙන්ම දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් ප්‍රජාවන්ගේ අවදානම උග්‍ර කිරීමට සමත්ව සිටී. ආහාර සුරක්ෂිතතාව සඳහා සාමය ගොඩනැගීමේ අවශ්‍යතාවද මෙම වාර්තාවේ සම්පාදකයෝ පෙන්වා දෙති. ගැටුම්, දේශගුණික විපර්යාස සහ කොවිඩ් 19 මගින් ඇතිකළ ආර්ථික විනාශය යන සියල්ලටම මුහුණ දීමට ඉදිරියේදී සිදුවනු ඇත. කොවිඩ් 19 හේතුවෙන් වසර 20 කට පසු පළමු වතාවට අන්ත දරිද්‍රතාවය ඉහළ ගොස් ඇති අතර සාගතයෙන් පීඩාවට පත් ජනතාවගේ සංඛ්‍යාව යළිත් වරක් ඉහළ ගොස් තිබේ.

වසර 2030 වනවිට, සාගින්න අවම කර ගැනීම සඳහා ලෝකයේ අවධානය යොමුවී තිබේ. එහෙත් ගෝලීය සාගිනි දර්ශකය මත පදනම් වූ වර්තමාන අනාවැකි වලින් පෙන්නුම් කරන්නේ 2030 වනවිට ලෝකයේ – විශේෂයෙන් රටවල් 47 කට – සාගින්න අවම කරගත නොහැකි තත්ත්වයක් ඇතිවන බවටය. නව වාර්තාව මගින් මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කර තිබේ. කොවිඩ් 19 වසංගතයට පෙර සිටම බොහෝ රටවල මන්දපෝෂණය ඉහළ යමින් පැවති බවද 2020 වඩා 2021 දී ආහාර අර්බුදය ඉහළ ගොස් ඇති බවද අවධාරණය කරන එම වාර්තාව  අනතුරැ අඟවන්නේ. ලෝක ජනගහණයෙන් මිලියන 41 ක පමණ ජනතාව “සාගතයේ අද්දරට පැමිණ සිටින බවට”ය. 

0 comment
0

Related Posts

Leave a Comment