ලස්සන මතු කරන්න කෘත්‍රිම ප්‍රතිකාරවලට බෑ…

0
263

සුන්දර රුවක් හිමිකර ගන්න සිහින මවන අය බොහොමයි. ඒ නිසාම සිය රූ සපුව වඩවා ගන්න නොකරන දෙයක් නැති තරම්. ඒ අතර බොහෝ තරුණ තරුණියන් නැඹූරු වන්නේ වෙළෙඳපළට එන නොයෙක් කෘත්‍රිම රූපලාවණ්‍යය නිෂ්පාදන වෙත හෝ කෘත්‍රිම රූපලාවණ්‍යය සත්කාර වෙතයි. ඒ ඉක්මන් ප්‍රතිඵල අපේක්ෂාවෙන්. ඒ ඉල්ලුම නිසාම දිනෙන් දින වෙළෙඳපළට හඳුන්වා දෙන රූපලාවණ්‍ය ක්‍රමවේද සහ නිෂ්පාදන ඕනෑ තරම්.

 

එලෙස රූ වඩන විවිධාකාර ක්‍රමවේද පිළිබඳ නිසි දැනුම්වත් වීමකින් තොරව භාවිත කොට අතරමං වෙන තරුණ තරුණියන් එමටයි. නමුත් ස්වාභාවික රූපලාවණ්‍යය සත්කාර, නිවැරැදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා නම් සම පැහැපත් වීමේ බාහිර ක්‍රමවලට, විවිධ රූපලාවණ්‍යය ප්‍රතිකාර හෝ එන්නත්කරණ පසුපස හඹා යන්න අවශ්‍ය වන්නෙත් නෑ. එදිනෙදා අප ඇස ගැටෙන අපේ පරිසරයෙන්ම සොයාගත හැකි දේ වගේම අපේ දින චර්යාවෙන් රූ සපුව වඩාත් සුන්දර කරගත හැකියි. අද ඔබට කියා දෙන්නේ ස්වභාවිකව තම රු සපුව රැක ගන්න වගේම වඩවා ගන්න පුංචි උපදෙස් කිහිපයක්. මේ සතියේද ඒ වෙනුවෙන් රසඳුන රූ රහස් සමඟ එකතු වන්නෙ රංගන ශිල්පිනියක් මෙන්ම දේශීය වෛද්‍යවරියක්වන අයෝමී ශානිකායි.

කෘත්‍රිම ආලේපන

වර්තමානයේ බොහෝ පිරිසක් ආයුර්වේද සහතික ඇතැයි පවසා කෘත්‍රිම අාලේපන සම්බන්ධ ව්‍යාපාර කරනවා. ඔබත් එවැනි ආලේපන භාවිත කිරීමට හුරු වී ඇත්නම් ඒ ගැන නිසි දැනුම්වත් වීමක් අවශ්‍යයයි. තමන් භාවිත කරන අාලේපනය ගැල්වීමෙන් පසු කැසීම, පලු දැමීම දහඩිය දැමීම සිදු වෙනවා නම් එම ආලේපනය භාවිතය නුසුදුසු බව ඔබ අවබෝධ කර ගත යුතුයි. සමහර විට ඔබ භාවිත කරන්නේ ලොව පිළිගත් වෙළෙඳ නාමයක් යටතේ එන ආලේපනයක් විය හැකියි. නමුත් තමන් ගේ සමට ආසාත්මිකතා ඇති කරනවා නම් එය භාවිත නොකළ යුතුයි.

ස්වභාවික ආලේපනවලට හැකි තරම් යොමු වෙනවා නම් මෙවැනි ගැටලු ඔබට අවම කර ගන්න පුළුවන්. රංගන ශිල්පිනියක් හා වෛද්‍යවරියක් විදියට මම මගේ මුහුණට භාවිත කරන්නේ නිවසේදී සදා ගත් ඖෂධ වට්ටෝරුවක සත්කාරයක්. එයට සුදු හඳුන්, වෙනිවැල්, කහ ආදි ඖෂධ වර්ග එක් කරගන්නවා. මා වෙත පැමිණෙන රෝගීන්ටත් මම ලබා දෙන්නේ ඒ ප්‍රතිකාරමයි. සුදු හඳුන්, වෙනිවැල්, වද කහ යන ත්‍රිත්වය ඇල් වතුරෙන් අඹරා එම මිශ්‍රණය මුහුණේ ගල්වා විනාඩි විස්සක් හෝ තිහකට පසුව මුහුණේ ආලේප කළ මිශ්‍රණය ඉවත් කර සෝදා හැරිය යුතුයි. මෙය ඔබේ රුව වඩන්න ඉතා සුදුසු ස්වභාවික සත්කාරයක්.

 

කෙස් කලඹ

ඔබේ කෙස් කලඹට කලින් කලට විවිධ විලාසිතා සිදු කළාට වරදක් නැහැ. නමුත් ඒ විලාසිතාවලින් කෙස් කලඹට සිදුවන හානිය පිළිබඳත් ඔබ අවබෝධයකින් තමයි ඒ විලාසිතා කළ යුතු වන්නේ. විලාසිතා කරනවා වගේම වැඩි පරිශ්‍රමක් දරා කෙස් කලඹ ද සාත්තු කළ යුතුයි. නීරෝගි කෙස් කලඹක් පවත්වා ගැනීමට තෙල් සත්කාරය ඉතා වැදගත්. නමුත් කෙස් කලඹේ තෙල් ගැල්වීමට නම් වර්තමානයේ බොහෝ දෙනා අකමැතියි. කොතරම් අකමැති වූවත් කෙස් කලඹටත් හිස් කබලටත් පෝෂණයක් ලබා ගැනීමට නම් සතියකට වරක්, දෙවරක් තෙල් සාත්තු කළ යුතුමයි. ආයුර්වේද සත්කාරයේ දී ද ඒ ඒ පුද්ගලයාට ගැළපෙන පරිදි ඔහුගේ කායික තත්ත්වයට හා හිසට ගැළපෙන තෙල් වර්ගය ලබා දෙනවා. (උදාහරණ ලෙස පීනස ඇති පුද්ගලයාට වෙනම තෙල් වර්ගයක් , කොණ්ඩය පැසෙන අයට වෙනම තෙලක් ආදි ලෙස විවිධ තෙල් වර්ග). සුදුසුකම් ඇති වෛද්‍යවරයකුගේ උපදෙස් අනුව ඔබට ගැළපෙන තෙල් වර්ගය ලබා ගන්නටද නැති නම් නිවෙසේදීමද ඔබ ඖෂධීය තෙල් වර්ග හදා ගන්නත් පුළුවන්. බොහෝ දෙනා හිසට තෙල් ගල්වන්නේ නෑමට පෙරයි. නමුත් නිවැරැදි ක්‍රමය නම් ඔබේ හිස් කබලට තෙල් ගැල්විය යුත්තේ නෑමෙන් අනතුරු කෙස් කලඹ වියළුණු පසුවයි.

බීම වර්ග

කෘත්‍රිම බීම වර්ග අද හරිම ජනප්‍රියයි වගේම ඒවට දක්වන ප්‍රියතාවත් ඉහළයි. නමුත් කෘත්‍රිම බීම වර්ගවලින් ඔබේ ශරීරයට රූපයට හානියක් මිස කිසිදු යහපතක් නොවන බව මතක තබා ගන්න. කෘත්‍රිම බීම වෙනුවට ඖෂධීය පාන වර්ග පානයට හුරු වෙන්න. ඖෂධීය පානයක් ලෙස ඉර මුසු භාවිත කළ හැකියි. එයින් ශරීරයේ ලේ පිරිසුදු වේවි. රණවරා, නීරමුල්ලිය ආදිය හවස් වරුවේ පානය කිරීම සුදුසුයි. කොළකැඳ නිතරම පානය කරන්න. එකම පලා වර්ගයම නැතිව විවිධ පලා වර්ග ඒ සඳහා එකතු කරන්න. නමුත් එක දිගට එකම පලා වර්ගයක් අනුභවය නුසුදුයි.

මේ කොරෝනා වසංගත සමයේ අප කළ යුත්තේ හැකි තරම් අපේ ප්‍රතිශක්තිකරණ වඩවා ගැනීමයි. ඒ සඳහා කොත්තමල්ලි කොටස් හතරයි, වියළි ඉඟුරු කොටස් එකයි, වෙනිවැල් කොටස් දෙකයි, හීන්අරත්ත කොටස් එකයි යන අනුපාතයට යොදා මිශ්‍රණය සකසා උදේ හවස පානය කරන්න. එක වේලකට තේ හැඳි කාලක් ගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here