Home ක්‍රීඩා පුවත් ලබන වසරේ මහියංගණයට ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ගම්මානයක්.

ලබන වසරේ මහියංගණයට ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ගම්මානයක්.

by Hela news

ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ගම්මානයක් ආරම්භ කිරීමට සැලසුම් කරයි. මේ ක්‍රීඩා භාණ්ඩ නිපදවීමේ ගම්මානය මහියංගණය ප්‍රදේශයේදී ආරම්භ කිරීම උදෙසා මේ දිනවල ඉඩම් හඳුනා ගැනීමේ හා ඉඩම් අත්පත් කර ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩවලින් සියයට 80ක් මේ ගම්මානයේ නිෂ්පාදනය කරන ක්‍රීඩා භාණ්ඩවලින් ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹෙන බවත්, මෙරටට අත්‍යාවශ්‍යම ක්‍රීඩා භාණ්ඩවලින් සියයට 20ක් පමණක් විදේශයෙන් ආනයනය කරන බවත් ක්‍රීඩා ඇමැතිවරයා පැවසීය. මෙතෙක් සෑම වසරකම මිලියන ගණන් වැය කොට ක්‍රීඩා භාණ්ඩ මෙරටට ගෙන්වීම මේ හරහා නවතින බව ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ සියලු පාසල්වලට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ ද මේ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ගම්මානයෙන් මිල දී ගැනීමේ හැකියාව පවතී. වාර්ෂිකව ක්‍රීඩා අමාත්‍යාංශය හා ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන අමාත්‍යාංශය රුපියල් කෝටි ගණනක ක්‍රීඩා භාණ්ඩ මිල දී ගන්නා හෙයින් එම මුදල් රට තුළම ඉතිරි කර ගැනීමේ හැකියාව මේ ගම්මානය ඉදිකිරීමෙන් හැකි වේ. මේ වසරේ පමණක් ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන අමාත්‍යාංශය පාසල්වල ක්‍රියාත්මක සියලු ක්‍රීඩාවලට අවශ්‍ය උපකරණ ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 38ක මුදලක් වෙන් කර තිබිණි. ක්‍රීඩා අමාත්‍යාංශය ද එයට වැඩි මුදලක් ක්‍රීඩා සංගම්වල ක්‍රීඩා දියුණුව වෙනුවෙන් වාර්ෂිකව වැය කිරීමට මුල්‍ය ප්‍රතිපාදන වෙන් කරනු ලබයි.

“අපේ රටට කැරම් බෝඩ් එක, දාම් බෝඩ් එක පවා පිටරටින් ගේනවා. මේ සඳහා මිලියන ගණන් ශ්‍රී ලංකාවෙන් පිටරටට මුදල් යවනවා. මේ භාණ්ඩ අපේම රටේ හදා ගන්න පුළුවන්. ඒ සඳහා තාක්ෂණයත් දැනුමත් අපේ ජනතාව තුළ තිබෙනවා. පසුගිය ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ භාවිතා කළ බේස්බෝලය අපේ රටේ නිපදවා ඔලිම්පික් තරගවලට දුන්නා. එවැනි අන්තර්ජාතික මට්ටමේ උසස් ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනය කොට අපට පළපුරුද්දක් තිබෙනවා. මහියංගණයේ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ගම්මානයෙන් ජාතික හා අන්තර්ජාතික මට්ටමේ ක්‍රීඩා භාණ්ඩ වෙළෙඳපොළට දීමට හැකියි” රාජපක්ෂ මහතා පැවසීය.

මේ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ගම්මානයේ විදෙස් රටවල ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ආයතන කිහිපයක් හා දැනට ශ්‍රී ලංකාව තුළ විවිධ ප්‍රදේශවල පිහිටුවා ඇති ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ආයතන කිහිපයක් කර්මාන්ත ආරම්භ කිරීමට සූදානම් බව ද ඇමැතිවරයා පැවසීය. මේ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ආයතන සමඟ ලබන වසරේ මාර්තු මාසය වන විට ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කරන අතර, ලබන වසරේ ක්‍රීඩා නිෂ්පාදන ගම්මානය ආරම්භ කිරීම සැලසුම වී තිබේ. දැනට ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදනයේ යෙදී සිටින හා නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීමට කැමති දේශීය ව්‍යවසායකයන් මුහුණපාන ගැටලු හඳුනාගෙන ඒ සඳහා රජයේ මැදිහත් වීමෙන් සහයෝගය දී දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළ ජය ගැනීමට අවශ්‍ය උපරිම සහාය දීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානමින් සිටී. ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ගම්මානය තුළ ඉතා පහසුවෙන් ආරම්භ කළ හැකි ක්ෂේත්‍ර ලෙස ළමා ක්‍රීඩාංගණ උපකරණ හා විනෝදාත්මක උපකරණ, සියලු කණ්ඩායම් ක්‍රීඩා උපකරණ, ජිම්නාස්ටික් උපකරණ, කායවර්ධන සහ බර ඉසිලීමේ පුහුණු උපකරණ, කායවර්ධන අභ්‍යාස යන්ත්‍ර, ක්‍රීඩා මෙට්ට, ක්‍රීඩා උත්සව උපකරණ, ක්‍රීඩාංගණ පුටු, ක්‍රීඩා පුහුණු උපකරණ, ක්‍රීඩා පිටියේ අපද්‍රව්‍ය කළමනාකරණ උපකරණ, ක්‍රීඩා සංගම් කාර්යාල සඳහා වානේ ගෘහ භාණ්ඩ, ෆයිබර් භාණ්ඩ, ක්‍රීඩා පිටි නිර්මාණය සඳහා අවශ්‍ය කොහු මැටි සැකසීම, ක්‍රිකට් පිති, කඩුලු හා අනෙකුත් උපකරණ මෙන්ම සියලු ක්‍රීඩා ඇඳුම් යන අංශ දැනටමත් හඳුනාගෙන ඇත.

මෙමඟින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා රාශියක් නිර්මාණය වන අතර, ශ්‍රී ලංකාව තුළ ක්‍රීඩා ආර්ථිකයක් බිහි කිරීමට යන ගමන සාර්ථක කර ගැනීමට ද ඍජු දායකත්වයක් ලැබේ.

0 comment
0

Related Posts

Leave a Comment