ලක්ෂ විස්සකින් මිලියන විස්සක් වසඟ කළ දුස්රාව ෂුක්රා

0
200

ක්ෂතාවට කොයින් ද ජාතියක්, ජන්මයක්? ආගමකට භාෂාවකට පුළුවන් ද දක්ෂතාවය යටපත් කරන්න? කොටින්ම කිව්වොත් මම අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන දුප්පතෙක් වුණත් ඒ දුප්පත්කමට පුළුවන් ද මගේ දක්ෂකම සඟවාගෙන ඉන්න? හිතන්න පුළුවන් වුණු දවසෙ ඉඳලා අපේ හිත් ඇතුළෙ කැකෑරුණු ප්‍රශ්න ගොන්නකට එක පුංචි කෙල්ලක් හරි සැහැල්ලුවෙන්, හරිම තාර්කිකව සෘජුව උත්තර දෙනවා. මේ නිසාම එක රැයින් ජනප්‍රිය වන තරුවලට නොදෙවැනිව මේ පුංචි කෙල්ලත් සමාජ මාධ්‍යවල තාරකාවක් බවට පත් වෙනවා. හැබැයි අනෙක් තරු අතරේ ඇය සුවිශේෂයි.

ඇය තරු කිරුළ දරන්නේ කවුරුවත් දීපු විනිශ්චයකින්වත්, කාගෙවත් එස්එම්එස් මනාපයකින්වත් නෙවෙයි. ඇගේම වචනයෙන් කියනවා නම් ඇය කළේ අවුරුදු 17ක් පුරා ගොනු කර ගත් දැනුම මුදලට හුවමාරු කිරීමක් පමණයි. ඇය ඒ කාර්යය ඉතා විශිෂ්ටව සිදු කළ තැන ඇය තාරකාවක් වෙනවා. හරිම ළෙංගතු, හරිම ආදරණීය සිනහවක් මුහුණේ රඳවාගෙන අපේ ඉස්සරහට ආපු මේ පුංචි කෙල්ල තමයි ෂුක්රා මුනව්වර්. ෆර්දාවෙන් සැඟවෙන්නේ නැතිව තමන්ගේ ඉලක්කය ජය ගන්න දැනුම අවියක් කර ගත් ඇය එක් අතකින් සටන්කාරියක්. හසුරුවන තීව්‍ර, චතුර වචන එක්ක ඇය තවත් මලාලා යූසුෆ්සායි කෙනෙක්. තවත් විදියකට කිව්වොත් තාක්ෂණය හා ඔන්ලයින් අධ්‍යාපනය හමුවේ පීඩා විඳ, බැටකමින් දැනුම හොයන්න දඟලන උසස් පෙළ ශිෂ්‍යාවක්. අවසානයේ ඇය සමස්ත දරු පරපුරටම ආදර්ශයක්. ඇය හා මේ කතාබහ ඇරඹෙන්නෙ ඒ චරිත සහතික ඇයට ලෝබ නැතිව පිරිනමමිනුයි.

බොහෝ දෙනෙක් දන්න ඔබ ඔබ හඳුන්වන්නෙ කොහොම ද? ද

මම ෂුක්රා මුනව්වර්. මගේ පවුලෙ විස්තර කිව්වොත් මමයි අක්කල දෙන්නයි මල්ලියි, අම්මයි තාත්තයි. තාත්තා ලිපිකරුවෙක් විදියට කටයුතු කරලා මේ වෙන කොට දියවැඩියා රෝගයෙන් රෝගාතුරව එක්තැන් වී ගෙදරට වෙලා ඉන්නවා. මට මගේ තාත්තාව මගේ සාර්ථකත්වය දකින වේදිකාවට ගේන්න විදියක් නෑ අසනීප තත්ත්වය නිසා. අම්මා තමයි පවුලේ හැම දේම කරන්නේ. එක අක්කා කෙනෙක් ඡායාරූප ශිල්පිනියක්. අනෙක් අක්කා මැහුම් ශිල්පිනියක්. මල්ලිට තවම අවුරුදු 14යි.

ඔබේ සොයුරියන් දෙදෙනා අධ්‍යාපනය හදාරලා අවසන් වෙලා ද රැකියාවලට යොමු වුණේ?

අක්කලා හරි ආසයි මම වගේම දිගටම ඉගෙන ගන්න. ඒත් අපේ පවුලෙ ඇති වුණු ප්‍රශ්න, ආර්ථික අපහසුතා මැද ඔවුන්ට ඒ දේ කර ගන්න බැරි වුණා. මම දිගටම උත්සාහ කළේ ඒ නැති බැරිකම් පරාජය කරමින් අම්මලට ලොකු බරක් නොවී මගේ අධ්‍යාපන කටයුතු කර ගන්න. අද මම මේ ඉන්න තැනට එන්නෙත් ඒ අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් විදියට.

ලක්ෂපති වේදිකාවට ගොඩ වෙන්න හිතුවෙ ඇයි?

ඇත්තටම අඟහිඟකම් නිසාමයි මම ඒ තීරණය අරගෙන 7788 කියන අංකයට ඇමතුවෙ. මම කවදාවත් හිතුවෙ නෑ ඒ අංක දෙක මගේ ජීවිතයේ මෙතරම් වෙනසක් සිදු කරයි කියලා. මට ඕනෑ වුණේ ඔන්ලයින් අධ්‍යාපනය කර ගන්න ලැප් ටොප් එකක් ගන්න. මගෙ අම්මට, තාත්තට මට ලැප් ටොප් අරන් දෙන්න සල්ලි නෑ. ගෙවන්න ලැප් එකක් ගත්තත් ඒ මාසික වාරිකයවත් දිගටම ගෙවන්න පුළුවන් වෙයි ද කියන බයටම මම අම්මටවත් මගේ අවශ්‍යතාවය කිව්වෙ නෑ. හැබැයි මම මේ තරගයට යන්න අදහස් කළාට පස්සෙ අම්මගෙන් ඇහුවා යන්න ද කියලා. අම්මා එක පයින්ම කිව්වේ, “ඇයි පුතේ ඕක මගෙන් අහන්නත් දෙයක් ද, ඔයා ඒ දේ කරන්න.” කියලා. ඒ දිරිය වගේම මගේ පවුලේ ශක්තියත්, දුප්පත්කමේ පීඩාවත් මැදින් මම මෙතැනට ආවා. දෙවරක් ඉල්ලුම් කරලා, දෙවැනි වටයේ තමයි මට සීට් එකට එන්න හැකියාව ලැබෙන්නෙ. මම දැඩි ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක්. නමුත් මගේ දුප්පත්කම නිසාම මට ගාල්ලෙ ඉඳන් කොළඹ එන්න ප්‍රවාහන පහසුකම් සලසා ගන්න විදියක් නැතිව මම අඬපු වාර තිබුණා. වාහනයට දෙන්න සල්ලිවත් තිබුණෙ නෑ. නමුත් ආයතනය ප්‍රවාහන පහසුකම් සපයමින් මට දුන් ශක්තිය හා ගෙදර අයගෙ ධෛර්යයයෙන් මගේ ඉලක්කය වෙත මම ආවා.

ඔබ මේ තරගය පුරාවට ප්‍රශ්නවලට දෙන උත්තර අතරෙත් කාන්තා අයිතීන්, කාන්තා ශක්තිය හා එකමුතුකම ගැන කතා කරනවා. ඒකට හේතුව මොකක් ද?

මට අවශ්‍යයි ලංකාවේ ලොකු තැන්වල මීට වඩා කාන්තා නියෝජනයක් වෙනවා දකින්න. මට ඕනෑ වුණේ ලංකාවේ ලොකු ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනිය වෙන්න. හැම තැනම ඉන්නෙ පිරිමි වුණත් මම උත්සාහ කරනවා කාන්තාවක් විදියට එතැනට යන්න. ඒ වගේම මට කාන්තා අයිතීන් සුරැකීමේ සංවිධානයක් පිහිටුවීමටත් අවශ්‍යයි. නමුත් එහි සියලු සාමාජිකයන් කාන්තාවන් විය යුතු නෑ. පිරිමි අයත් ඉන්න ඕනෑ. සමාජයේ කාන්තා හා පිරිමි අතර තිබෙන උස් පහත් භේදය සුනුවිසුනු කර දමන්නයි මට අවශ්‍ය. අනෙක් කෙනාව තේරුම් ගන්නවා නම්, අනෙක් කෙනාට ඇහුම්කන් දෙනවා නම් අපේ රටේ තිබෙන ගොඩක් ප්‍රශ්න නැති වෙනවා. ශ්‍රී ලංකාවේ ජාතීන් අතර වෙනසක් නැතිව, ඇති නැති භේදයක් නැතිව, අන්තවාදී, ජාතිවාදී අදහස් නැතිව අපි ශ්‍රී ලාංකිකයො කියන දේ ඔළුවෙ තියාගෙන වැඩ කළොත් අපට රටක් වශයෙන් මීට වඩා ඉදිරියට යන්න හැකියාව ලැබෙනවා. අපි අපේ ලෝකය රැක ගත්තොත් දේශය රැක ගන්න පුළුවන්. දේශය රැකුණොත් ජාතිය රැකෙනවා. දැන් තිබෙන භේද මෙතැනින්ම නවත්තලා දැම්මොත් අපේ අනාගත පරපුර අද වගේ ජාති අගම් භේද නිසා කුළල් කා ගන්න එක නවතා දමාවි.

මේ තරම් හොඳට සිංහල හසුරුවන්න ඔබ ඉගෙන ගත්තෙ කොහොම ද?

මගේ පාසල ගාල්ල සුදර්මා මහා විද්‍යාලය. ඒක බෞද්ධ පාසලක්. මම එක ශ්‍රේණියේ ඉඳන් මේ වෙකල්ම ඉගෙන ගන්නෙ ඒ පාසලේ සිංහල මාධ්‍යයෙන්. මගේ මවුපියො මාව මුස්ලිම් පාසලකට දාන්න ඕනෑ කියලා කවදාවත් නොහිතපු නිසාත්, ඔවුන්ට මාව දාගන්න හැකි වුණු පාසල මේක නිසාත් මට සිංහල හැසිරවීම පුංචි කාලයේ සිටම ගැටලුවක් වුණේ නෑ. ඒ වගේම පාසල බෞද්ධ පාසලක් වීම තුළ මගේ ඉස්ලාම් ධර්මයට, මුස්ලිම් ආගමට අමතරව බුද්ධ ධර්මය, සිංහල සාහිත්‍ය වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණා. හැම ආගමකම ළමයි අපේ ඉස්කෝලෙ ඉන්නවා. ඒ අය ඔවුන්ගේ ආගම ගැන කියන දේවල් මම හොඳින් අහගෙන ඒවා ඉගෙන ගත්තා. අපි සහජීවනයෙන් පාසලේ ඉගෙන ගත්තා. ඒක තමයි මට මේ විදියෙ පන්නරයක් ලබා දුන්නෙ.

කුරානය කියවපු ඔබ සිංහල සාහිත්‍යය, නාට්‍ය, ගැන වගේම සිංහල දරුවකුවත් නොදන්න ඇතැම් ටීකා පවා ඉතා දක්ෂ ලෙස කියනවා. ඒ ආභාසය ලැබුවෙ කොහෙන්ද?

සිංහල සාහිත්‍යය කියලා ඒක හැඳින්නුවට ඒවා අපේ රටේ සිටි ශ්‍රේෂ්ඨයන්ගෙ නිර්මාණ. සැළලිහිණිය, හංසය, ගිරාව, මයුරය ඔවුන් බිහි කළේ අනාගත පරපුරට දෙන්න. අද ඒවා අපේ අතට පත් වෙලා තිබෙනවා. මම හිතනවා ඒ නිසා ඔවුන්ගේ ඒ හැකියාවට දක්වන ගෞරවයක් වශයෙන් අප ඒවා අධ්‍යයනය කළ යුතුයි, රස විඳිය යුතුයි කියලා. මම ඒවා කියවන්නෙ ඒකයි. ඒවායේ අන්තර්ගතයට, ඒ භාෂා ශෛලියට මම හරිම ආදරෙයි. ඒවා ගැන විශ්ලේෂණය කරමින් ඉන්න අතරෙ තමයි මට ගුත්තිල කාව්‍ය වැනි විශිෂ්ට නිර්මාණ රස විඳින්න හැකි වුණේ. හැබැයි මම ඒවා රස විඳිනවා, මතකයේ තියා ගන්නවා විතරයි. කටපාඩම් කරන්නෙ නෑ. මම ඊට අමතරව කියවන්න කැමතිම ශර්ලොක් හෝම්ස්ගෙ පොත් සහ ප්‍රබන්ධ කතා. හැබැයි ඒ හැමදේම කියවන්න කැමති නම් සිංහල භාෂාවෙන්. මට දැනෙන්නෙ එතකොටයි.

කෙනෙක් කිව්වොත් ඔය කතා ශෛලිය නිසා ඔබ මලාලා යුසුෆ්සායි වගේ කියලා?

මමත් හිතනවා සමහර විට මම මලාලා වගේ ඇති. නමුත් මම ඇගේ පොතක්වත් කියවා නැහැ. ඒ වගේ අදහස් මට ඇති. නමුත් මම මලාලා නෙවෙයි. මම ෂුක්රා මුනව්වර් පමණයි. ඇය ඇගේම මතයක් ගොඩනැඟුවා වගේ මටත් අවශ්‍ය මගේ මතයක් හදන්න. මවුපියො අපට නිදහස දෙන්නෙ ඔයා ඔයාව හොයා ගෙන යන්න කියලා. අද දරුවො ඒ නිදහස අයුතු ලෙස භාවිත කරනවා. නමුත් මම මගේ මතය වෙනුවෙන්, මලාලා වගේම රටේ හොඳ දෙයක් වෙනුවෙන් ඒ නිදහස භාවිත කරනවා.

ඔබ කවරදා හෝ දේශපාලනයට යොමු වෙයි ද?

කොහෙත්ම නෑ.

ඔබේ මතය ගොඩනැඟීමට දේශපාලනීකරණය වෙන්නම වුණොත්?

කවදාවත් එහෙම වෙන්න දෙන්නෙ නෑ. ඒක කරන්නම සිදු වුණොත් මම එතැනින් ඉවත් වෙනවා.

කාන්තා අයිතීන්, සිංහල සාහිත්‍ය වැනි ඔබ ඔය කතා කරන මාතෘකා ඇතුළෙ ඔබට ඔබේ ආගමෙන් බාධා නොඑයි කියා හිතනව ද?

දැනටත් මට ඇතැම් අය විවිධ චෝදනා කරනවා. මාව විවේචනය කරනවා. ඔබ ශ්‍රී ලාකිකයෙක් නොවෙයි වැනි කතාත් කියනවා. හැබැයි සියයට 99ක් දෙනා මට කියන්නේ ඔයාට යමක් මේ රටේ කරන්න පුළුවන්, වෙනසක් කළ හැකියි, ඔබේ අදහස් හා දක්ෂතාවයන් අගය කරනවා කියලා. ඉතින් මම මොකටද අර සියයට එකක් කියන දේවල් නිසා තැවෙන්නේ? මට ඔවුන්ගෙන් බාධා ආවත් මම හිතනවා අනෙක් සියයට 99ම මගේ පැත්තෙ ඉන්න නිසා මට ඒ අයට උත්තර දෙන්න වගේම ඔවුන්ගෙ බාධා මැඩගෙන මගේ චින්තනය ක්‍රියාවට නංවන්න හැකි වේවි කියලා. මාව විවේචනය කරන විහිළුවට ගන්න අය මට ප්‍රශ්නයක් නෙවෙයි. ආගමෙන් මට බලපෑමක් වෙන කිසිම දෙයක් හෝ මගේ ආගමට බලපෑමක් වෙන කිසිම දෙයක් මම කියලවත්, කරලවත් නෑ. මගේ ආගමට මම ගොඩක් ගරු කරනවා. මගේ පෞද්ගලික ජීවිතයේ මම සියල්ල කරන්නේ මගේ ආගමානුකූලව. නමුත් සමාජයේදී ඕනෑම ආගමක කියනවා සමාජයට යහපතක් වෙන දෙයක් කරන්න කියලා. ඒ දේ වෙනුවෙනුයි මම කතා කරන්නෙ. මම හිතන්නෙ නෑ මගේ ආගම මට ඒවාට බලපෑම් කරයි කියලා.

මුස්ලිම් කාන්තාවන්ගේ සාක්ෂරතාව හා සමාජයට විවර වීමේ අඩුව ගැන ඔබ මොක ද හිතන්නෙ?

හිතන්නකො මම බෞද්ධ කෙනෙක් කියලා. නමුත් මෙතැන ඇවිත් ශෝල් එකක් දාගෙන කතා කළා නම් මම මුස්ලිම් කියලා තමයි හැමෝම හඳුනා ගන්නෙ. සාමාන්‍ය ඇඳුමකින් ආවා නම් මමත් සාමාන්‍ය සිංහල බෞද්ධ කාන්තාවක් කියා හිතනවා. ඒක තමයි වරද. අපි දකින විදියයි වැරදි. ඒ විදිය මුලින්ම වෙනස් කළොත් අපේ ඉස්ලාම් ආගමික කාන්තාවන්ටත් ඉදිරියේ හොඳ අධ්‍යාපනයක් වගේම සමාජයේ හොඳ තැනක් ලැබේවි. මම ඒ සම්බන්ධයෙන් තැනක් හදන්න ලොකු උත්සාහයක් දරනවා.

ඔබේ පරමාදර්ශී චරිතය කවුද?

මගේ අම්මා. ඇය තමයි මට කිව්වෙ බය නැතිව කතා කරන්න කියලා. අවංකව, ශක්තිමත්ව වැඩ කරන්න කියලා.

බොහෝ දෙනා කරන්නෙ තමන්ට නැති දේ කාගෙන් හරි ඉල්ලා ගන්න එක. ඔබ ඇයි මෙවැනි මාවතක් ඒකට තෝරා ගත්තෙ?

ඒක මගේ ප්‍රතිපත්තියක්. මට දෙයක් ඕනෑ නම් මම කාගෙන්වත් ඉල්ල ඉල්ල ඉන්නෙ නෑ. මම මටම පාරක් හදා ගන්නවා. මේ මම හදාගත්තු පාර. කාටවත් කියන්න බෑ දැන් ඔයා ආවෙ අපි හදපු පාරෙ කියලා. අපි නැති බැරිකමින් පීඩිතව ඉන්නකොට අපට නොසිටපු ගොඩාක් අය දැන් අපට ළං වෙන්න උත්සාහ කරනවා. ඒ මම හොයා ගත්තු පාර නිවැරදි නිසානෙ.

ගිය සෙනසුරාදා හිටපු ෂුක්රා සහ මේ සෙනසුරාදා ඉන්න ෂුක්රා ගැන මොක ද හිතෙන්නෙ?

මම එදත් අදත් හෙටත් ෂුක්රා මුනව්වර්. සමාජයේ තමයි මාව විශේෂ චරිතයක් කළේ. නමුත් මට මම සාමාන්‍ය ෂුක්රා.

ඔබව විවේචනය කරන අයට දෙන උත්තරේ මොකක් ද?

මම කියන්නෙ ඕගොල්ලො තවත් මාව විවේවනය කරමින් ඉන්න. ඒ හැම දෙයින්ම මම එක් පඩියක් ගානේ උඩට නඟිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here