Home කාලීන පුවත් රු. 17,735 එන්නත 55,000 ට අරන් රු 12 පෙත්ත 165 ට අරන් දත්ත මකපු ඖෂධ මාෆියාවේ ඇත්ත

රු. 17,735 එන්නත 55,000 ට අරන් රු 12 පෙත්ත 165 ට අරන් දත්ත මකපු ඖෂධ මාෆියාවේ ඇත්ත

by Hela news

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියෙන් මැකී ගොස් ඇත්තේ 2015 – 2019 කාලයේදී අසාමාන්‍ය මුදලක් වැය කොට මෙරටට ගෙන්වූ ඖෂධ 35 ක ලැයිස්තුවක් බව ඖෂධ නිෂ්පාදනය, සැලසුම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.

එම කාලයේදී හදිසි මිලදී ගැනීම් ලෙස දක්වමින් රුපියල් මිලියන 1140 කට ආසන්න වටිනාකමකින් යුතු ඖෂධ මිලදී ගෙන ඇතැයිද ඒවා පිළිබඳව පරීක්‍ෂණයක් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් විට එම දත්ත මැකී ගොස් ඇතැයිද ඇමැතිවරයා කීය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදන්වීම සම්බන්ධයෙන් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ 27/2 යටතේ විමසා තිබූ විශේෂ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැති චන්න ජයසුමන මහතා මේ බව පැවසීය.

ඇමැතිවරයා එම කරුණු හෙළි කරද්දී විපක්‍ෂය ඝෝෂා කළ අතර හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කරුණු දැක්වීමට නැ`ගී සිටියද මේ සම්බන්ධයෙන් විවාදයක් කළ නොහැකි බව පවසමින් කථා නායකවරයා ඊට අවසර ලබා දුන්නේ නැත.

පසුගිය රජය සමයේ වැඩි මිලට ඖෂධ ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

මේ මැකිලා ගිය දත්ත ඇතුළේ මොනවාද තිබුනේ කියන එක ගැන මම කෙටියෙන් පැහැදිළි කරන්නම්. 2015 – 2019 කාලයේ ඖෂධ මිලදී ගැනීමේ දී ඇතැම් ඖෂධ සඳහා අසාමාන්‍ය මිලක් රජය වියදම් කරලා තියෙනවා. ඒ ඖෂධ මොනවාද කියලා ලැයිස්තුගත කරලා ඒ පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකරන්න කියලා අපි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. අපි මේ වෙනකොට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා ඒ වෙනුවෙන් කටයුතු කරගෙන යනවා.

මේ ඒ වගේ ඖෂධ කිහිපයක් Captopril 5 mg Syrup
එක 2019 දී මිල දී අරගෙන තියෙන්නේ රුපියල් 55,185.00 කට අපි ආවට පස්සේ 2020 අවුරුද්දේ දී රුපියල් 395.00 කට. 138 වතාවක් මිල ඉහළයි. Lorazepoam ඉංජක්ෂන් එක රුපියල් 17,957.00 කට මිලදී අරගෙන තියෙන්නේ. අපි ආවට පස්සේ රුපියල් 373.00 කට මිලදී ගත්තේ. Metarmaminol ඉංජෙක්ෂන් එක රුපියල් 16,736.00 කට මිලදී ගත්තේ. ඒක රුපියල් 3,875.00 කට අඩු වුණා. මේ සියලූ ලැයිස්තු අපි විමර්ෂණය සඳහා භාර දීලා තියන මිල අධික ඖෂධ 35 ක ලැයිස්තුව මම සභාගත කරනවා. (annex.7) ඒ වගේම තමයි හදිසි මිලදී ගැනීම් ලෙස හුවා දක්වමින් රුපියල් මිලියන 1140 කට ආසන්න ප‍්‍රමාණයක වටිනාකමින් යුතු ඖෂධ මිලදී අරන් තියෙනවා. අසාමාන්‍ය වියදමක් වියදම් කරලා ඒ පිළිබඳ පරීක්‍ෂණයක් කරන්න කියලා අපි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. ඉල්ලීමක් කරා අමාත්‍යාංශ මට්ටමින් පරීක්‍ෂණයක් කෙරෙනවා. උදාහරණයක් කියනවා නම් Rituximab ඉංජෙක්ෂන් එක රුපියල් 55,000.00 කට අරන් තියෙන්නේ හැබැයි අපි ඒක රුපියල් 17,735.00 කට ගත්තා.

එමගින් ඉතිරි වුන මුදල පමණක් රුපියල් මිලියන 128 ක් වෙනවා. මේ ආකාරයේ ඖෂධ ලැයිස්තුව මම මේ සභාවට සභාගත කරන්න කැමැතියි. ඒ වගේම තමයි ඇතැම් ඖෂධ මම කියන්නම් කොයි වගේ දෙයක් ද කරලා තියෙන්නේ කියලා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් Paracetamol Suppository එක වේදනාවක් ඇති වුණාම අර පස්සෙන් දාන කරල, මේක රුපියල් 165.00 ට අරන් තියෙන්නේ. දැන් ගන්නේ රුපියල් 12.00 යි. Dexamethasone 4mg ටැබ්ලට් එක රුපියල් 153.00 ට අරන් තියෙන්නේ. දැන් ගන්නේ රුපියල් 6.49 ට. මේ සියලූ ලේඛන මම සභාගත කරන්න කැමතියි විපක්‍ෂ නායකතුමනි.

මෙම ඖෂධ සම්බන්ධයෙන් ලියැකියවිලි ටික තමයි මේ ඖෂධ සම්බන්ධ දත්ත ගොනුවේ තිබිලා මැකුණේ. මේව ගැන විමර්ශන පටන්ගත්තට පස්සේ තමයි ඒ කියන ලිපිගොනුව මේ දත්ත ක්ලවුඩයෙන් මැකිලා ගිහින් තියෙන්නේ. එය ප‍්‍රතිෂ්ථාපනය කිරීම සඳහා අපි මේ වන විට කටයුතු කරමින් යනවා. ඒ වගේම තමයි මේවා මැකුවේ කවුද කියන කාරණය හොයලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරු ලැබුණට පස්සේ අනිවාර්යෙන්ම ඒ සඳහා නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නවා.

0 comment
0

Related Posts

Leave a Comment