Home කාලීන පුවත් රිය අනතුරින් මියගිය දෙදරු පියාගේ වකුගඩු ඇතුළු අවයව දන්දෙයි

රිය අනතුරින් මියගිය දෙදරු පියාගේ වකුගඩු ඇතුළු අවයව දන්දෙයි

by Hela news

ති‍්‍රරෝද අනතුරකින් හිසට බරපතළ තුවාල වී මොළය මියගිය පුද්ගලයකුගේ  වකුගඩු දෙකක හා අවයව කීපයක් පරිත්‍යාග කිරීම කර හෝමාගම මූලික රෝහලේදී සිදු කළ ශල්‍යකර්මයකදී ඉන්ද්‍රියන් ලබාගත් බව රෝහල් කාර්ය මණ්ඩලය පවසන අතර කොට්ටාව පොලිසිය මේ බව සනාථ කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය මාලපල්ල  අතුරුගිරිය පාරේ පදිංචිව සිටි වීරකෝන් මුදියන්සේලාගේ පි‍්‍රයන්ත දීපාල් වීරකෝන් නමැති 56 හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කියයි. වසර තිස්හතක කාලයක් ශී‍්‍ර ලංකා

ගමනාගමන මණ්ඩලයේ උඩහමුල්ල ඩිපෝවට අනුයුක්තව රියැදුරකු ලෙස සේවය කළ මියගිය අය ඉකුත් 12 වැනිදා සේවය නිමකොට නිවසට පැමිණෙමින් සිටියදී රාතී‍්‍ර 10.00 ට පමණ කොට්ටාව – අතුරුගිරිය පාරේ මාලපල්ල ප‍්‍රදේශයේදී පාර මාරු වෙමින් සිටියදී ති‍්‍රරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කර තිබිණි.

එහිදී රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරු රෝගියාගේ මොළය මියගොස් ඇති බව නිරීක්ෂණය කොට ජීවත් කිරීමට නොහැකි බව දන්වා නැවත හෝමාගම මූලික රෝහල වෙත රෝගියා යොමු කර තිබේ. ඒ අනුව හෝමාගම රෝහලේ වෛද්‍යවරු රෝගියාගේ තත්ත්වය ඥාතීන් වෙත පවසා ඇති අතර ඔහුගේ වකුගඩු හා අවයව තවත් කෙනෙකු ජීවත් කරවීම සඳහා පරිත්‍යාග කරන ලෙස දැනුවත් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් මියගිය අයගේ බිරිඳ හා ඥාතීන් කැමත්ත පළ කිරීමෙන් පසු ඉකුත් 14 වැනිදා ශල්‍යකර්මයක් මගින් එම ඉන්ද්‍රියන් ලබාගෙන තිබේ. පසුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදු කළ අතර අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය එස්. නවසිවාසම් මහතා විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව හා ඉදිරිපත් වූ සාක්ෂි පදනම් කරගෙන මෙම මරණය රිය අනතුරක් නිසා සිදු වූ හදිසි මරණයක් බවට මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදය කුමාර මහතා නිගමනය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වන්නිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment