Home කාලීන පුවත් රැහෙන් ගිලිහුණු වරිග පොජ්ජේ අම්මිලැත්තෝ

රැහෙන් ගිලිහුණු වරිග පොජ්ජේ අම්මිලැත්තෝ

by Hela news

නිර්මාංසාහාරික ජීවිතයක් ගත කළ හීන් මැණිකා අවසන් සුසුම් හෙළුවේ, දඩයමට හුරු වූ තම රැහේ බොහෝ දෙනකු මස් මාංසවලින් තොර ජීවිතයකට හුරු කරවීමෙන් පසුය. අසනීප තත්ත්වයෙන් පසු වුව ද ඇය කිසි විටෙක වන්නියලෑ ඇත්තන්ට අඩුපාඩුවක් නොකරන්න තරම් සෙනෙහෙවන්ත බිරියක් වූවාය. බුදු දහම හා ප්‍රායෝගිකව බැඳුණු ජීවිතයක් ගත කළ ඇය, ආදරයේ වටිනාකමත්, බැඳීම් නිසා හට ගන්නා වෙන්වීම්වලින් ඇති වන වේදනාවත් දරුවන්ට පමණක් නොව, මුනුපුරු මිනිපිරියන්ට ද කියා දුන් උදාර මාතාවකි.

වනස්පතිය නිහඬය. අතු රිකිලි අග හිඳ නිතොරව ගී ගැයූ කුරුලු කෙවිල්ලෝ බලා හුන් අත බලාගෙනය. දඹාන වනපෙත සැරිසැරූ අම්මිලැත්තන්ගේ සෙනෙහස විඳින්නට මඟ බලා සිටි මුනුපුරු මිනිපිරියෝ අද උණු කඳුළු බිඳු සලමිනි.

කොවිඩ් වයිරසය, අප ආදරය කරන, අපට ආදරය කරන අය අපෙන් උදුරා ගෙන යන්නේ හරියට සඳ අඳුරු වලාවකින් වැසී ගොස්, හාත්පස ඝන අන්ධකාරයෙන් පිරී යන්නාක් මෙනි. හීන් මැණිකාගේ වියෝව ද එසේමය. ඇගේ වියෝව වන්නියලෑ ඇත්තන්ට පමණක් නොව, මුළු දඹානටම අන්ධකාරයක් ගෙනැවිත් තිබේ.

ආදිවාසි නායක වනස්පති ඌරුවරිගේ වන්නියලෑ ඇත්තන් පසුපස සිටි යෝධ ශක්තිය ඇයය. පිරිමි දරුවන් අට දෙනකු සහ ගැහැනු දරුවකු මෙලොවට බිහි කළත්, ඔවුන්ට පමණක් නොව, වැදි රැහේ සියල්ලන්ට ඇය මවක වූවාය. බෙහෙවින්ම නිහඬ චරිතයක් වූ ඇය, වන්නියලෑ ඇත්තන්ගේ සාර්ථක ගමන් ම‍ඟේ සෙවණැල්ල විය.

සතා-සීපාවට, ගහට-කොළට බෙහෙවින් ආදරය කළ ඇය, පසුගියදා මෙලොව හැර ගියේ ආදිවාසි ජනතාවගේ පමණක් නොව, මෙරට බොහෝ දෙනකුගේ දෑසට කඳුළක් එක් කරමිනි. කොවිඩ් මාරයාට බිලි වී අවසන් සුසුම් හෙළන තුරුම ඇය පිළිබඳ බොහෝ දෙනකු දැන සිටියේ නැත. නමින් ‘ඌරිවරිගේ හීන් මැණිකා’ වූ ඇය, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දිවි ගමනට සමු දුන්නේ 64 වැනි වියේ සිටියදීය. නිර්මාංසාහාරික ජීවිතයක් ගත කළ හීන් මැණිකා අවසන් සුසුම් හෙළුවේ, දඩයමට හුරු වූ තම රැහේ බොහෝ දෙනකු මස් මාංසවලින් තොර ජීවිතයකට හුරු කරවීමෙන් පසුය. අසනීප තත්ත්වයෙන් පසු වුව ද ඇය කිසි විටෙක වන්නියලෑ ඇත්තන්ට අඩුපාඩුවක් නොකරන්න තරම් සෙනෙහෙවන්ත බිරියක් වූවාය. බුදු දහම හා ප්‍රායෝගිකව බැඳුණු ජීවිතයක් ගත කළ ඇය, ආදරයේ වටිනාකමත්, බැඳීම් නිසා හට ගන්නා වෙන්වීම්වලින් ඇති වන වේදනාවත් දරුවන්ට පමණක් නොව, මුනුපුරු මිනිපිරියන්ට ද කියා දුන් උදාර මාතාවකි. ඇයගේ වෙන් වීම අන් සැමට වඩා දැනෙන්නේ, වන්නියලෑ ඇත්තන්ටය. තමන් හා සෙවණැල්ල මෙන් සිටිමින් ආදිවාසි ප්‍රජාවට නායකත්වය දීමට ඇය දුන් ශක්තිය කොතරම් ද යන්න දන්නේ ඔහු ම පමණි. වකුගඩු ආබාධ තත්ත්වයකින් පෙළුණු හීන් මැණිකා, කොවිඩ් ආසාදිතව මහියංගණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරු කර එවනු ලැබුවේ පසු ගිය 01 දාය. දින හතරක් එහි ප්‍රතිකාර ලැබූ ඇය, කොවිඩ් මාරයා සමඟ කළ සටනින් පරාජය වී මෙලොව හැර ගියේ පසුගිය 04 දා රාත්‍රියේය. ඇයගේ වියෝව කන වැකුණු වැදි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ, පසු දින පෙරවරුවේ පේරාදෙණිය රෝහලට පැමිණ තමන් සමඟ දශක පහකට ආසන්න කාලයක් දිවි ගෙවූ හීන් මැණිකාගේ නිසල දේහය දැක බලා ගැනීමට ගියේ, ආරක්ෂිත ඇඳුම් කට්ටලයකින් සැරසීය. ඒ, කොවිඩ් වයිරසය අප මෙතෙක් පවත්වා ගෙන පැමිණි බැඳීම් බහුතරයකට සීමා පනවා තිබෙන බැවිනි.

“මගේ තාත්තා ඌරිවරිගේ මුතුබණ්ඩා. එය තමයි අපේ සියා වන්නියලෑ ඇත්තන්ගේ හතර වැනි පුතා. ලොකු තාත්තලා දෙන්නයි, ලොකු නැන්දයි ඉන්නවා. තාත්තට බාල තවත් බාප්පලා පස් දෙනෙක් ඉන්නවා. ඒ අය හැමෝටම දරුවෝ ඉන්නවා. අපි ඔක්කොම දරුවෝ දහසය දෙනයි. සීයා වන්නියලෑ ඇත්තෝ අපේ වීරයා. ඒ වීරකම් අපට කියලා දුන්නේ ආචිචි: හීන් මැණිකා. අපි හැමෝම ගොඩක් කිට්ටු ආචිචිට. අපේ පවුලේ හැමෝම සතියකට වතාවක් මහ ගෙදරට එකතු වෙනවා. එදාට ආච්චි බත්, හැලප, මඤ්ඤොක්කා, බතල වගේ කෑම රසට උයලා අපට කන්න දෙනවා. බුද්ධ පූජාව අයින් කරලා දෙවියන්ගේ කොටස වෙන් කරන කල්, පුංචි දරුවකුටවත් කිසිම ව්‍යඤ්ජනයක් ඉඳුල් කරන්න ආච්චි ඉඩ දුන්නේ නැහැ. ආච්චි පුදුම විදිහට සතුන්ට ආදරය කළා. විෂඝෝර සර්පයෙක් වුණත් තුවාල වෙලා හිටියොත්, ආචිචි සත්කාර කරනවා. දවසක් සීයා ගැබ්බර ඊරියකට හීයකින් විදලා තියෙනවා. ඒක ආච්චි ඉඳහිට මතක් කරන්නේ හරිම වේදනාවකින්.” ඌරුවරිගේ හිරුණි බණ්ඩාර, තම ආදරණීය ආච්චිගේ වගතුග කියාපෑවේ ඒ ආකාරයටය. නොසිතූ මොහොතක තම මිත්තණිය මෙලොව හැර යෑම නිසා කම්පිතව සිටි ඇය, තව දුරටත් අතීත මතක ආවර්ජනය කළාය:.

“මම, මස්, මාළු කන්නෙ නැහැ. මගේ ආච්චි මුනුපුරු මිනිපිරියන් ළඟට අරන් කතාන්දර කියලා දෙනවා. සතුන් මරණවටත්, මස් මාංස කනවටත් ආචිචි කැමැති නැහැ. ආච්චි සතුන්ට ආදරෙයි. ඒ නිසා බොහෝ දෙනා මස් මාළු කන එක අත්හැරියා. ආච්චි අම්මා කියන්නේ අපි, ‘සොබාදහමේ දරුවෝ’ කියලයි. අප සොබාදහම ආරක්ෂා කළොත් තමයි සොබාදහම අප ආරක්ෂා කරන්නේ කියලා ආච්චි අපට කියලා දුන්නා. අපේ අම්මා, තාත්තා හැමෝම උපන් දිනයට පැළයක් හිටවනවා. මුනුපුරු මිනිපිරියෝ හැම කෙනාටම උපන් දිනයට පැළයක් හිටවන්න කියලා ආච්චි අම්මා අපට කියලා දුන්නා. අපි වයසට යනකොට ඒ ගහත් අපත් එක්ක ම වැඩෙන හැටි අප බලා ගෙන ඉන්නවා.

මට අවුරුදු 15ක් වෙනකොට මම දැන් ගස් 10ක් හදලා තියෙනවා. ඒ ගස් දැන් මටත් වඩා උසයි. අනෙක් අයත් තමන්ට තේරෙන වයසේ ඉඳලා පැළ හිටෙව්වා. ආච්චි අපට කියලා දීලා තියෙන්නේ, ඒ ගස් එක්ක කතා කරන්න කියලයි. ආච්චි අම්මා කිවුවේ, තනි කෝටුවකට වැඩිය කෝටු ගොඩාක් එකට තියපු දර මිටිය හයිය වැඩියි කියලයි. ඒක කඩන්න කාටවත් බැහැ කියලා එයා අපට කියලා දුන්නා. ඒ කතාව ආච්චි අම්මා අපට කිවුවේ, පවුලේ හැමෝ ම සමඟියෙන් හිටියොත් පිටස්තර කාටවත් බලපෑම් කරන්න බැහැ කියලා පෙන්නලා දෙන්නයි.” හිරුණි එසේ පවසන්නේ හීන් මැණිකා ආත්තම්මා ඔවුන්ගේ ජීවිත අලෝකවත් කරන්න කළ මෙහෙවර සිහිපත් කරමිනි.

“සීයා වරිගේ නායකයා වුණත්, ආච්චි තමයි පවුලේ මුදුන් මුල වුණේ. ඇය වටා හැමෝම එකතු වෙලා හිටියා. මාස ගණනක ඉඳන් එයා තරමක් අසනීප ගතියෙන් පසු වුණා. ඒත් ආච්චි අම්මා තමන්ගේ අමාරුකම් අපට පෙන්නුවේ නැහැ. මොන තරම් තෙහෙට්ටුවකින් හිටියත්, සීයාගේ (ඌරුවරිගේ වන්නියලෑ ඇත්තන්ගේ) ආවතේව කටයුතු එයා අතපසු කළේ නැහැ. ආච්චිට බැරි නම් ඒක කෑගහලා කා ලව්වා හරි කරවනවා. සීයා වෙනුවෙන් ආච්චි තුළ පුදුම ගෞරවයක් තිබුණා. ‘තමන්ගේ ස්වාමියාට භක්තියෙන් ඉන්න ඕනෑ. උන්දෑ තමයි අපේ කුසගිනි නිවන්නේ. රෑ දහවල අප ආරක්ෂා කරන්නේ. උන්දැලාට සාත්තු සප්පායම් කරන්න අපි බැඳිලා ඉන්නවා. ඒ පින තමයි අපි යනකොට අරං යන්නේ.’ කියලා ආචිචි අපට නිතරම කියනවා”.

වැදි නායක වන්නියලෑ ඇත්තන්ට දයාබර බිරියකව සිටිමින්, දූදරුවන්ට හා මුනුපුරු මිනිපිරියන්ට ආදර්ශයක් වෙමින්, ඔවුන්ට යහමඟ කියා දුන් හීන් මැණිකා, මහියංගණ ප්‍රාදේශීය සභා අදාහනාගාරයේදී තම දිවියට සමු දුන්නේ, කාගේත් නෙතට කඳුළක් එක් කරමිනි. තම රැහේ පුද්ගලයකු මිය ගිය විට වැදි ප්‍රජාව විසින් සිදු කරන චාරිත්‍ර ගණනාවක් තිබේ.

කොවිඩ් වසංගත තත්ත්වය මත සෞඛ්‍ය අංශ මඟින් දී තිබෙන නිර්දේශවලට අනුගතව පැවති අවමඟුල් උත්සවයේදී, වැදි රැහේ ඒ චාරිත්‍ර වැඩිහරියක් හීන් මැණිකා වෙනුවෙන් ඉටු කිරීමේ අවස්ථාව වැදි ජනතාවට මඟහැරී ගියේය. මළ සිරුරු භූමදානය කිරීම වැදි ජනතාවගේ සිරිතය. එහෙත්, කොවිඩ් නීතිරීතිවලට අනුව හීන් මැණිකාගේ දේහය අදාහනය කිරීමට ඔවුන්ට සිදු විය. ආදිවාසි නායකයා තම බිරියගේ අවමඟුල් කටයුතු සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ඒ ආකාරයෙන් සිදු කිරීම අප අගය කළ යුත්තේ පොදු යහපත පිණිස සෞඛ්‍ය අංශ කරන ප්‍රකාශ මායිම් නොකර කටයුතු කරන පුද්ගලයන් තාමත් දකින්නට ලැබෙන බැවිනි. ජීවිත කාලය පුරා එකට සිටි අයකු නොසිතූ ලෙස වෙන්ව ගිය පසු, ඒ අඩුව කිසිදු අයුරකින් පිරවිය නොහැකිය.

“මේ කොරෝනා වයිරසය අපේ ළඟින් ඉඳන් අපට ආදරය කරන අය අරන් යනවා. ඒ නිසා අපි හැමෝම මේ බැරෑරුම් තත්ත්වය තේරුම් ගෙන, කොරෝනා වසංගතය පාලනය කිරීමට මූලිකත්වය ගත යුතුයි,” හීන් මැණිකාගේ දේහය භාර ගැනීම සඳහා පේරාදෙණිය රෝහලට පැමිණි අවස්ථාවේ වැදි නායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ පැවසූහ.

0 comment
0

Related Posts

Leave a Comment