Home ගොසිප් පුවත් රැල්ලට යන්න අපේ බලාපොරොත්තුවක් නෑ

රැල්ලට යන්න අපේ බලාපොරොත්තුවක් නෑ

by Hela news

මැණිකේ මගේ හිතේ

මුදුවේ නුරා හැඟුම් යාවී

ඇවිළේ වී

නෙරියේ නුඹේ න‍ෙඟ්

මගෙ නෙත් එහා මෙහා යාවී

සිහිවේ වී

මා හිත ළඟම දැවටෙනා

හුරු පෙමක පැටලෙනා

රුව නාරී, මනහාරී, සුකුමාලි නුඹ තමා

අද වෙද්දී ලංකාවේ සේම ඉන්දියාවෙත් නිරන්තරයෙන් ගැයෙන වැයෙන මිමිණෙන ගීතයක් වී අවසන්. ඒ වගේම යූටියුබ් හි කෝටි 6 කට අධික සංඛ්‍යාවක් මේ වන විට මෙය නරඹා තිබෙනවා. යොහානිගේ හඬින් ඉන්දියාව පුරා රැව් දෙන මේ සුන්දර නැවුම් ගීතය සංගීතවත් කරන්නේ තරුණ සංගීත අධ්‍යක්ෂවරයෙක් වන චමත් සංගීත්. චමත් මේ ගීතය මුලින් ම නිර්මාණය කරන්නේ සතිෂාන් රත්නායකට. ඒ නිසා අද මේ කතා බහ චමත් සහ සතිෂාන් සමඟ

මුලින්ම මේ ගීතය නිර්මාණය වුණු හැටි ඇහුවේ චමත්ගෙන්

“මැණිකේ මගේ හිතේ’ ගීතය මුලින්ම නිර්මාණය වෙන්නේ සතිෂාන්ට. සතිෂාන් මාව හම්බෙන්න ඇවිත් කිව්වේ එයාට පට්ට සින්දුවක් හදලා දෙන්න කියලා. ඒ වෙද්දීත් සතිෂාන් සින්දු කිහිපයක් කරලා තිබුණත් ඒවා එතරම්ම හිට් වෙලා තිබුණේ නැති නිසා මමත් හිතුවා හොඳ දෙයක් කරන්න. ඊට පස්සේ ඔය මෙලඩි එක හදලා සතිෂාන් එක්කත් කතා කරලා දුලාන් ARX ට දුන්නා පද පෙළ ලියලා දෙන්න. ඔන්න ඔහොම තමා “මැණිකේ මගේ හිතේ’ ගීතය නිර්මාණය වුණේ. හිතුවා වගේම ඉතා කෙටි කාලයක් තුළ ලංකාවේ ජනප්‍රිය වුණා. ඩාන්ස් කවර්ස් ගොඩක් නිර්මාණය වුණා. ලංකාවේ රූපවාහිනී සහ ගුවන් විදුලි ගීත දර්ශක වල අංක එකට ආවා. ලංකාවේ විතරක් සෝෂල් මිඩියා වල මිලියන 10කට එහා බලලා තිබ්බා.

ඇයි Official Cover Song එකක්

කරන්න හිතුවේ

ඔය අතරේ තමයි යොහානිත් මේකට ටික්ටොක් එකක් කරලා තිබ්බේ. යොහානි කියන්නේ මගේ ළඟම මිතුරියක් නිසා මම කතා කරලා කිව්වා මේක නම් මරු. අපි මේකට කවර් එකක් කරමු කියලා. ඒ විදියට තමා යොහානි සහ සතිෂාන් එක්ක Official Cover Song එක නිර්මාණය වුණේ.

ඉන්දියාවම මේ වෙද්දී මේ ගීතයට උන්මාදනීය වෙලා. ඒ ගැන අද මොකද හිතෙන්නේ

අපිටත් අන්තර්ජාතිකත්වය ජයගන්න පුළුවන් කියන එක මම දැන ගත්තේ ඉරාජ් අයියගෙන්. ඉරාජ් අයියා නිර්මාණය කරපු ගීත තුනක් එක්ක මම වැඩ කළා. ඒ කාලේ මගේ හිතේ ඇතිවුණු හීනයක් තමා කවදා හරි ඉන්දියාවට දැනෙන ගීතයක් නිර්මාණය කරන්න. මම හැමදාම ගීත නිර්මාණය කළේ පවතින රැල්ලට හෝ තරගකාරිත්වයට නෙවෙයි. මට ඕනේ සංගීතයෙන් යම් සමාජ කතාබහක් ඇති කරන්න. අද මට ඒ දේ කරගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ වෙද්දී ඉන්දියාවෙනුත් ආරාධනා කිහිපයක් ම ලැබිලා තියෙනවා. ඒ දේවල් සාර්ථක කරගනිමින් ජාත්‍යන්තර සංගීත තලවලට අපේ සංගීතය මුසු කරන්න තමා මගේ ඉදිරි බලාපොරොත්තුව.

“මැණිකේ මගේ හිතේ” ගීතයේ මුල් ගැයුම නව පරපුරේ ගායක සතිෂාන් රත්නායකගේ. හැබැයි අද වෙද්දී ගොඩක් අය කතා වෙන්නේ යොහානි ගැන. ඒ නිසාම තමන්ගේ ගීතයට කරපු Official Cover Song එක අද වෙද්දී ලබලා තියෙන ජනප්‍රියත්වය ගැන අපි ඇහුවේ සතිෂාන්ගෙන්.

සතිෂාන් කොයි කාලෙද මේ ක්ෂේත්‍රයට එන්නේ, මේ කීවෙනි ගීතයද?

2016 දී තමා මම ම ලියපු ගීතයක් මුලින්ම කරන්නේ. ඒක එතරම් සාර්ථක වුණේ නැහැ. ඊට පසුවත් කරපු නිර්මාණ මම හිතපු තරම් ප්‍රතිචාර ලැබුවේ නැහැ. “මැණිකේ මගේ හිතේ” ගීතය මගේ දහවෙනි ගීතය. ඒ වගේම මියුසික් වීඩියෝ එකක් කරපු පළවෙනි ගීතය. මේ ගීතය අපි හිතුව විදියටම ජනප්‍රිය වුණු ගීතයක් වුණා වගේම මගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යයත් වුණා.

චමත්ව මුණගැහෙන්නේ කොහොමද?

අපි සංගීත කණ්ඩායමක් විදියට කලක් පොඩි වැඩක් කරා. එතැනදී තමා එක දවසක් මට චමත් අයියව මුණගැහෙන්නේ. එදා මට එයා දුන්න උපදෙස තමා කණ්ඩායමක් විදියට නෙවෙයි ඔයා ඔයාගේ තනි නිර්මාණයක් කරන්න; එතන තමා ඔයාට ගමනක් තියෙන්නේ කියලා. කිව්ව දවසේ එතරම් ඒ ගැන නොහිතුණත් පසුව ඒ ගැනත් මට යම් අවබෝධයක් ආවා. ඊට පස්සේ තමා මමත් හිතුවේ මගේ ම නිර්මාණ කිහිපයක් කරන්න ඕනේ කියලා.

මොකද හිතුණේ “මැණිකේ මගේ හිතේ” ගීතය නිර්මණය කරලා දුන්නම

චමත් කියන්නේ ම ඔහු බාර ගත්ත වැඩක් ඔහු පෙන්නපු ඉලක්කය වෙත අරන් ආව තරුණ සංගීත අධ්‍යක්ෂවරයෙක් කියන එක ඒ වෙද්දී ඔප්පු කරලා තිබ්බ කෙනෙක්. ඉතින් මම ඔහුව විශ්වාස කළා. ඔහුත් එක්ක මම කරපු පළමු නිර්මාණය ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන් නිර්මාණය වුණු ගීතයක්. එදා ඒ ගීතය මට ම කියලා අනන්‍යතාවක් ගේන නිර්මාණයක් වුණා. ඊට පස්සේ මට නිර්මාණය කරපු ගීතය තමා “මැණිකේ මගේ හිතේ” ගීතය. ඒක මගේ ජිවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණා.

Official Cover Song එක නිර්මාණය වීම ගැන මොකද හිතෙන්නේ

ඇත්තටම සතුටුයි. යොහානි කරපු ටික් ටොක් එකක් දැකලා චමත් අයියා කිව්වේ මෙහෙම වැඩක් කරමු කියලා. කණ්ඩායමක් විදියට එකතු වෙලා කරපු ලස්සන නිර්මාණයක්.

යොහානි එක්ක මතගැටුමක් නිර්මාණය වෙලා කියන්නේ ඇත්තද?

කොහෙත්ම නැහැ. අපි අතරේ කිසිම මතගැටුමක් නැහැ. අපි හැමෝම එදා වගේම අදත් එකට ඉන්නවා. සමාජ මාධ්‍ය වල විව්ස් වැඩි කර ගන්න දාන හෙඩින් තමා ඔය.

යොහානි එක්ක කරපු “Official Cover Song” එකට සතිෂාන් ට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ගොඩක් අය හොඳයි කියනවා. තව සමහරු ඇයි එයාට දුන්නේ කියලා අහන අයත් හිටියා. කොහොම වුණත් ඒකෙන් මටවත් ගීතයට කිසිම හානියක් වුණේ නැහැ.

ඉදිරියේදීත් යොහානි එක්ක නිර්මාණ කරන්න ද ඉන්නේ

ඒක දැන්ම හරියට ම කියන්න බැහැ. අපි කරන නිර්මාණය සාර්ථක කර ගැනීම තමා අංක එක වෙන්නේ. ඒ නිර්මාණවලටත් ඇය අවශ්‍ය ම නම් ඉදිරි නිර්මාණ එක්ක යොහානි ඉන්නත් පුළුවන්.

ඔබ ගායකයෙක් වෙන්නේ වෙනත් වෘත්තියක නියැළෙන ගමන්

ඔව්. මම ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවය කරන්නේ. පොඩි කාලේ ඉඳන් ම ගායනයට තිබ්බ ආසාව තමා මාව මේ තාක් දුර අරන් ආවේ. මම වැඩ කරන තැන හැමෝම මට උපරිම සහයෝගය ලබා දෙනවා. ඒ නිසා ඉදිරියටත් හොඳ ගීත කිහිපයක් ගායන ලොවට තිළිණ කරන්න මම සුදානමින් ඉන්නවා.

යොහානිට සහ චමත්ට නම් මේ වෙද්දීත් ඉන්දියාවෙන් ආරාධනා ලැබිලා තියෙනවා, සතිෂාන් ට කොහොමද?

මටත් ආරාධනා ලැබිලා තියෙනවා සහ ලැබෙමින් පවතිනවා. ඒ දේවල් ඉදිරියේදී දැක බලා ගන්න පුළුවන් වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment