Home ක්‍රීඩා පුවත් රමේෂ් ප්‍රමුඛ දඟයෝ ලකුණු 253කින් කොදෙව්වන් නතර කරති.

රමේෂ් ප්‍රමුඛ දඟයෝ ලකුණු 253කින් කොදෙව්වන් නතර කරති.

by Hela news

සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම සටහන් කළ රමේෂ් මෙන්ඩිස් ප්‍රමුඛ ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ දෙවැනි ටෙස්ට් තරගයේ කොදෙව් පළමු ඉනිම ලකුණු 253කට සීමා කිරීමට සමත් වූහ.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය ඊයේ තෙවැනි දිනයට නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් දැවී ලකුණු 46ක් රැස් කර තිබිණි.

ඒ අනුව ලකුණු 49ක් පසුපසින් දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ලංකා පිල කඩුලු 8ක් අතැතිව කොදෙව් පළමු ඉනිමට වඩා තවත් ලකුණු 3ක් පසුපසින් සිටී.

පැතුම් නිස්සංක ලකුණු 21ක් සහ චරිත් අසලංක ලකුණු 4ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ කඩුලු 2කම අහිමි වූයේ දුවද්දි දැවී යෑම් හේතුවෙනි. මුළු ලකුණු 7දී නොතිබු ලකුණක් කරා යෑමට ගත් උත්සාහයෙන් නායක දිමුත් කරුණාරත්න (6) පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර, ලකුණු 39දී ඕෂධ ප්‍රනාන්දු ද එලෙස දැවී යෑමට ලක් විය. මේ තරගාවලිය පුරා ලකුණු අතරට පිවිසීමට අසමත් වූ ඕෂධට ඊයේ රැස් කළ හැකි වූයේ ලකුණු 14ක් පමණි.

පෙරේදා තරගය නතර කරන විට කඩුල්ලක් දැවී ලකුනු 69ක් රැස් කර සිටි කොදෙව්වේ ඊයේ දිවා විවේකය වන විට තවත් ලකුණු 76ක් එක් කරගත් අතර, ශ්‍රී ලංකා පිලට බිඳ දැමිය හැකි වූයේ කඩුල්ලක් පමණි. දෙවැනි කඩුල්ලට ලකුණු 75ක සබඳතාවකින් පසු නක්රුමා බෝනර් රමේෂ් මෙන්ඩිස් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු විය.

ඊයේ 23 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ ක්‍රෙග් බ්‍රැත්වේට් තෙවැනි කඩුල්ල ලෙස ලකුණු 166දී පිටියෙන් ඉවත් කිරීමට ලසිත් ඇඹුල්දෙණියට හැකි විය. පන්දු 185කට මුහුණ දුන් බ්‍රැත්වේට් හතරේ පහර 9ක් සමගින් ලකුණු 72ක් රැස් කළේය.

ඉනිමේ 81 වැනි ඕවරයේදී ශ්‍රී ලංකා පිල නව පන්දුව ගැනීමට කටයුතු කළ අතර, ඒ සමඟ මෙන්ඩිස් සිය කඩුලු දඩයම ආරම්භ කළේය. දිවා විවේකය වන විට කඩුලු 2කට ලකුණු 145ක් රැස් කර සිටි කොදෙව් ලකුණු පුවරුව සවස තේ පානය වන විට ලකුණු 235කට කඩුලු 8ක් ලෙස වෙනස් කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකි විණි. තේ පානයට පෙර ලකුණු 28ක් තුළ කඩුලු 5ක් බිඳ දැමූ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තේ පානයෙන් පසු තවත් ලකුණු 18ක් තුළ කොදෙව් ඉනිම නිමා කිරීමට සමත් වූහ.

කයිල් මේයර්ස් එක් අන්තයක් රැක ගනිමින් නොදැවී ලකුණු 36ක් රැස් කළ අතර, හොඳම ටෙස්ට් පන්දු යැවීම සටහන් කිරීමට රමේෂ් මෙන්ඩිස් සමත් වූයේ ලකුණු 70කට කඩුලු 6ක් දවා ගනිමිනි. ඔහුට අනගි සහායක් දුන් ප්‍රවීන් ජයවික්‍රම සහ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2 බැගින් දවා ගත්හ.

0 comment
0

Related Posts

Leave a Comment