Home කාලීන පුවත් රට වසා තැබීමෙන් කොවිඩ් පාලනය කරන්න බෑ

රට වසා තැබීමෙන් කොවිඩ් පාලනය කරන්න බෑ

by Hela news

රට වසා තැබීමෙන් කොවිඩ් වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම අපහසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

කොවිඩ් වයිරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා ජනතාව අනුගත නොවන්නේ නම් රට වසා දැම්මාට ප්‍රතිඵලයක් ලබා නොදෙන බව ද ඒ මහතා කීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (1) ප්‍රකාශ කළේය. රට වසා දැමීමක් සිදු කර ඇති මේ වෙලාවේ මහා මාර්ගයේ කොතරම් වාහන ධාවනය වන්නේ ද යන්න එළියට බැසීමෙන් දැක බලා ගත හැකි බවත් අවශ්‍ය වනුයේ රට වසා දැමීම නොව මේ රෝගය බෝ නොවීමට බලපාන චර්යා රටාවන් වැඩිදියුණු කිරීම බවත් හෙතෙම පැවසීය. වයිරසයේ ව්‍යාප්තිය පාලනයට රට වසා දැමීමෙන් හෝ සංචරණ සීමා ඇති කිරීමෙන් කිසියම් පහසුවක් ඇති වනවා මිස ඒ ක්‍රියාවලිය සුදුසුම ක්‍රියාවලිය බවට තක්සේරු කළ නොහැකි යැයි ද ඒ මහතා කියා සිටියේය. දැනට සිදු කරන කොවිඩ් මර්දන කටයුතුවල නිසි ප්‍රතිඵල ලබා ගැනීමට බීජෞෂණ සති දෙකක් පමණ ගත විය යුතු යැයි ද, ඒ කාල සීමාව තුළදි තවදුරටත් ස්වයං විනයකින් යුතුව ජනතාව කටයුතු කරන්නේ නම් කොවිඩ් මර්දනයේ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි යැයි ද ඒ මහතා පැවසුවේය. සංචරණ සීමාවන් සහ අන්තර් පුද්ගල සම්බන්ධතාවන් පවත්වා ගැනීම දැඩි ලෙස ස්වයං වාරණයට ලක් කළ යුතු බවත් යම් විදියකින් සංචරණ සීමා ලිහිල් කළහොත් විශේෂයෙන්ම ප්‍රවාහනය සම්බන්ධයෙන් සිටින බලධාරීන්ට ද, වෙළඳ මධ්‍යස්ථාන සහ අනෙකුත් පොදු ප්‍රසිද්ධ ස්ථාන සම්බන්ධයෙන් කටයුතු කරන සියලු ආයතනවලට ද ජනතාව එක්රැස් නොකිරීමට ලොකු වගකීමක් පැවරෙන බවත් ඔහු කියා සිටියේය. සංචරණ සීමා ලිහිල් කිරීමක් වුවහොත් ජනතාව එක්රැස් නොවන ආකාරයට විධිවිධාන යොදා ගන්නා ලෙසත්, එසේ සිදු නොකර රෝගය ව්‍යාප්ත වුවහොත් සෞඛ්‍ය අංශ වෙත චෝදනා එල්ල නොකළ යුතු බවට ඉල්ලා සිටින බවත් ඔහු කීය.

0 comment
0

Related Posts

Leave a Comment