Home කාලීන පුවත් රට කැලඹූ 56 පෙර­ළි­යට පසු­ව­ද­නක්

රට කැලඹූ 56 පෙර­ළි­යට පසු­ව­ද­නක්

by Hela news

අද සැප්තැම්බර් 26 වැනිදාය. අදින් වසර 62කට පෙර උදා වූ සැප්තැම්බර් 26 වැනිදා දවස, ඉතිහාසයේ සටහන් වී තිබෙන්නේ රටම හැඬවූ ජාතියේ මළගම සිදු වූ දවසක් ලෙසිනි. ඊට හේතුව මීට වසර 62කට පෙර, එනම් 1959 සැප්තැම්බර් 26 වැනිදා උදෑසන එවකට අගමැතිව හුන් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකයන් අභාවප්‍රාප්ත වීමයි.

අග්‍රාමාත්‍ය බණ්ඩාරනායකයන් හදිසියේ අභාවයට පත් වන්නේ 1959 සැප්තැම්බර් 25 වැනි දින භික්ෂුවක විසින් වෙඩි තැබීමෙනි. කොළඹ රොස්මිඩ් වලව්වේ අගමැති හමුවීමට පැමිණි පිරිස අතර සිටි මෙම භික්ෂුව සිදු කළ වෙඩි තැබීමෙන් දැඩි ලෙස තුවාල ලැබූ අගමැති බණ්ඩාරනායකයන් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගිය අතර එහිදී සැත්කමකට භාජනය කෙරිණි. සිවුරු පොරවාගත් අඥාන මිනිසකු තමාට වෙඩි තැබූ බවට අගමැතිතුමා මිය යෑමට පෙර ප්‍රකාශ කර තිබිණි. එකී අඥාන මිනිසා වූයේ තල්දූවේ සෝමාරාම හිමියන් ය. තල්දූවේ සෝමාරාම හිමියන් බණ්ඩාරනායක අගමැතිතුමාට වෙඩි තබා ඝාතනය කිරීමට පෙලඹුණේ විශාල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙනි. මෙම ඝාතනය සම්බන්ධයෙන් හත්දෙනෙක් චෝදනා ලැබූහ. එකී හත්දෙනා වන්නේ,

කැලණිය රජමහා විහාරාධිපති – මාපිටිගම බුද්ධරක්ඛිත හිමි, වැල්ලම්පිටිය අවිස්සාවේල්ල පාරේ හේමචන්ද්‍ර පියසේන ජයවර්ධන, කැලණිය බියගම පාරේ පලිහක්කාරගේ අනුර ද සිල්වා, රාජගිරිය ඔබේසේකරපුර අමර විහාරයේ – තල්දූවේ සෝමාරාම හිමි, මරදාන පොලිස් නිවාසයේ වීරසිංහ ආරච්චිගේ නිව්ටන් සිල්වා, කොළඹ බුලර්ස් පාරේ විමලා විජේවර්ධන,

කොළඹ බේස්ලයින් පාරේ අමරසිංහ ආරච්චිගේ කරෝලිස් අමරසිංහ ය.

1959 නොවැම්බර් 26 වැනි දින මොවුන්ට එරෙහිව නඩු පැවරුණු අතර මූලික සාක්ෂි විභාගයේදී පැමිණිල්ලට සාක්ෂි 193ක්ද විත්තියට 12ක්ද ඉදිරිපත් විය.

මූලික සාක්ෂි විභාගයේදී විමලා විජේවර්ධන නිදහස් කරනු ලැබීය. 1961 පෙබරවාරි 22 වැනි දින ජූරි සභාවක් ඉදිරියේ බණ්ඩාරනායක ඝාතන නඩුව මහාධිකරණයේ ආරම්භ වූ අතර දින 52 ක් විභාග වූ නඩුව අවසානයේදී මිනීමැරීම සහ කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවලට වරදකරුවන් කරමින් කැලණිය රජමහා විහාරාධිපතිව සිටි මාපිටිගම බුද්ධරක්ඛිත හිමි 1962 ජුනි 20 වැනිදාත් එච්.පී. ජයවර්ධන ජුනි 21 වැනිදාත් තල්දූවේ සෝමාරාම හිමි ජුනි 22 වැනිදාත් එල්ලා මැරීමට නියම විය. මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් වූ අතර ඇපෑලේදී තල්දූවේ සෝමාරාම හිමියන් එල්ලා මැරීමටත් අනෙක් දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවමත් නියම කෙරිණි. ඒ අනුව 1962 ජූලි 06 වැනි දින තල්දූවේ සෝමාරාම හිමි වැලිකඩ බන්ධනාගාරයේදී එල්ලා මරා දැමිණි. බුද්ධරක්ඛිත හිමි සිරදඬුවම් ලබමින් සිටියදීම බන්ධනාගාරයේදී රෝගාතුර වී මරණයට පත් විය. එච්.පී. ජයවර්ධන දඬුවම් ගෙවා දමා නිදහස ලැබීය.

මේ ආකාරයට බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කරමින් පිඹුරුපත් සැකසීමට හේතු වූයේ අලුත් නැව් සමාගමක් බිහි කර මුදල් ඉපයීමට බලාපොරොත්තුවෙන් සිටි පිරිසකට, බණ්ඩාරනායක ආර්ථික ප්‍රතිපත්තිය හමුවේ ඊට අවකාශය නොලැබුණු නිසා බව කියවේ. එතෙක් පැවැති රාජ්‍ය නිර්බාධවාදී ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට රජය ආර්ථිකයේ නියමුවා බවට පත්වී රජය මැදිහත් වීමේ ආර්ථික ප්‍රතිපත්තියක් බණ්ඩාරනයක ප්‍රතිපත්තිය තුළ ගැබ් වී තිබිණි. එමෙන්ම රාජ්‍ය මැදිහත්වීම මත රාජ්‍ය සංස්ථා ආරම්භ විය. ජනසතු ව්‍යාපාර ඇරඹිණි.

“56 බණ්ඩාරනායක අගමැතිතුමාගේ රජය යටතේ ආර්ථික, විදේශ, දේශපාලනික, අධ්‍යාපනික, සංස්කෘතික වැනි සෑම ක්ෂේත්‍රයක්ම වෙනස් වුණා. ලොකු පෙරළියක් ඇති වුණා. 48 ලංකාව නිදහස් වුණත් තේ, පොල්, රබර් පිටරටට ගෙන ගියේ ඉංග්‍රීසින්ට අයත් පෞද්ගලික සමාගම්. ආනයනය අසීමිතව කළ හැකිව තිබුණා. කොටින්ම කිව්වොත් සහල් පවා ආනයනය කළා. ඒත් බණ්ඩාරනායක අගමැතිතුමා ආනයනය සීමා කළා. සහල් ආනයනය සීමා කරලා කුඹුරු පනත මඟින් ගොවියන් ශක්තිමත් කළා. කුඹුරු හිමියන්ට අස්වැන්නෙන් 1/4 කුත් අඳ ගොවියන්ට 3/4 කුත් ලැබෙන විදිහට පනත සකස් කළා. එයින් උද්යෝගිමත් වූ ගොවීන් කුඹුරු අස්වද්දන්න පටන් ගත්තා. රාජ්‍ය අනුග්‍රහයෙන් සංස්ථා ඇති කළා. පුද්ගලික සමාගම් ජනසතු කළා.

56 බණ්ඩාරනායක අගමැතිතුමා පත්වෙන තුරු ආණ්ඩුවට බැංකුවක් තිබුණේ නැහැ. ලංකා බැංකුව රජයට පවරා ගත්තේ බණ්ඩාරනායක අගමැතිතුමා. ආර්ථික ප්‍රතිපත්ති වගේම විදේශ ප්‍රතිපත්තිත් ඔහු වෙනස් කළා. 56 වන තුරු ලංකාව සමාජවාදි රටවල් සමඟ සම්බන්ධතා පැවැත්වූයේ නැහැ.

ඒත් බණ්ඩාරනායක මහත්තයා සතු පුළුල් දැක්ම නිසා සමාජවාදි රටවල් සමඟත් සම්බන්ධතා ඇති කර ගත්තා. නොබැඳි පිළිවෙත අනුගමනය කිරීමට පටන් ගත්තේ බණ්ඩාරනායක අගමැතිතුමා. එය දේශපාලන විද්‍යාවේ හඳුන්වන්නේ ගතික මධ්‍යස්ථභාව කියලා.“ යනුවෙන් විස්තර කළේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකරය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා සඳහන් කළේ අන්ත වාමාංශික හෝ අන්ත දක්ෂිණාංශික නොවන දේශපාලනයේ මැදුම් පිළිවෙත අනුගමනය කරන නව පක්ෂයක් බිහි කිරීම එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට අවශ්‍ය වූ බවය.

ඒ වෙනුවෙන් 1951 දී එතුමා දැරූ සභා නායක ධුරයත් සෞඛ්‍ය හා පළාත් පාලන ධුරයත් අත් හළ බව ෂාන් විජයලාල් ද සිල්වා සඳහන් කළේය. 1952 මහ මැතිවරණයේදී බණ්ඩාරනායකයන් බිහි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රශස්ථ මට්ටමකින් ජයග්‍රහණය කළේ මාස 10ක් වැනි කෙටි කාලයක් තුළ ය. 1952 දී විරුද්ධ පක්ෂ නායකයා වූයේ බණ්ඩාරනායක මහතා ය. 1956 මහ මැතිවරණයේදී බිහි කරගත් නව සන්ධානය තුළින් පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂි යුග පෙරළියක් ඇති කිරීමට එදා බණ්ඩාරනායකයන්ට හැකි විය.

1956 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත වී බලයට පැමිණියේ මහජන එක්සත් පෙරමුණ නමිනි. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර පැවසුවේ බණ්ඩාරනායකයන් සම්බන්ධ වී සිටි සිංහල මහා සභාව ඇතුළු පක්ෂ කීපයක එකතුවෙන් 1947 දී මහ මැතිවරණයට පෙරමුණක් නිර්මාණය කිරීමට වෑයමක් තිබුණු නමුත් එවර බණ්ඩාරනායකයන් ඊට අකමැති වූ බවයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශ ප්‍රධානි, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කළේ බණ්ඩාරනායකයන්ගේ දේශපාලනය ලිබරල් ස්වදේශවාදයට නැඹුරු වූවක් බවයි.

“ලංකාව යටත්විජිතයක්ව තිබූ කාලයේ සිංහල ප්‍රභූ පවුල්වල දරුවන් නීතිය හැදෑරීමට, උසස් අධ්‍යාපනයට එංගලන්තයට ගියා.

ඒ තරුණ පිරිසෙන් සමහරුන් වාමාංශික දේශපාලනයට නැඹුරු වුණා. තවත් පිරිසක් ලිබරල් අදහස්වලට නැඹුරු වුණා. බණ්ඩාරනායක මහතාගේ දේශපාලනයට මූලික කර ගත්තේ සිංහල ජාතිය සහ සිංහල භාෂාව. ඒ කාලයේ ප්‍රතිවිරෝධය තිබුණේ එක්සත් ජාතික පක්ෂය සහ අනෙකුත් වාමාංශික දේශපාලන පක්ෂ අතර. ඒ නිසා බණ්ඩාරනායක මහතාගේ ස්වදේශවාදයට නැඹුරු වූ දේශපාලනය 2 වැනි පක්ෂයක් ලෙසින් සමාජයට ඉදිරිපත් කිරීමේදි සිංහල බෞද්ධ ග්‍රාමීය ජනතාව මූලික කරගෙන තමයි ස්ථානගත කළේ.

ඒවගේම ඔහුට දෙමළ ජාතිකයන්ගේ ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඔහු ඉදිරිය දැක්කා. ඒනිසා තමයි බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම ඉදිරිපත් කිරීමට සූදානම් වුණේ. එදා ඔහු විශ්වාස කළා සිංහල බෞද්ධ බලවේගයේ තීව්‍රතාව එයාට පාලනය කරගන්න පුළුවන් වේවී කියලා. ඒත් ඒක එහෙම වුණේ නැහැ.“ යනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශ ප්‍රධානි, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කළේය.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර පැවසුවේ එදා බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම අත්සන් කළා නම් පසු කලෙක ඇති වූ කුරිරු යුද්ධය ඇති නොවන බවයි. මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ අදහස වූයේ බණ්ඩාරනායකයන් ජාතිකවාදය සමඟ දේශපාලන ගනුදෙනුවක් කිරීමට උත්සාහ කළද ඔහුව බලයට ගෙන ආ සිංහල බෞද්ධ බලවේග ඊට එරෙහි වීමෙන් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ සම්මානිත මහාචාර්ය කුසුමා කරුණාරත්නයන්ගේ අදහස වූයේ දෙස බස රැස යන තෙරුවනට මහඟු මෙහෙවරක් කිරීමේ දැඩි අපේක්ෂාවෙන් දේශපාලනයට අවතීර්ණ වූ බණ්ඩාරනායකයන්ගේ ප්‍රතිපත්ති නිසා සාම්ප්‍රදායික සමාජ සම්මතයන්ගෙන් පීඩා විඳි අසරණ ජනතාවට පිහිටක් වූ බවය.

ජාතින් සතු භාෂාව එම ජාතියේ අභිමානයට තුඩුදෙන සේ භාවිත විය යුතු බව අවබෝධ කරගත් බණ්ඩාරනායකයන් එහිලා ගත් පියවර හේතුකොට ගෙන ශ්‍රී ලංකා වාසි සිංහල තරුණ පෙළට සිතැඟි පරිදි ඉදිරියට යෑමට හැකි වූ බව සම්මානිත මහාචාර්ය කුසුමා කරුණාරත්න සඳහන් කළාය. සිංහල භාෂාවට හා සංස්කෘතියට නිසි තැන ලැබෙන සේ එතුමා ගත් ක්‍රියාමාර්ග අතර වි‍ද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීම ඇගේ පැසසුමට ලක් විය.

“බණ්ඩාරනායක අගමැතිතුමා සෑම ක්ෂේත්‍රයකම වෙනස්කම් කළා. දේශපාලන ක්ෂේත්‍රය ගත්තාම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරලා විපක්ෂ නායකවරයකුට පිළිගැනීමක් ඇති වන විදිහට වරප්‍රසාද ලබා දුන්නේ බණ්ඩාරනායක අගමැතිතුමා.“ යනුවෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර පැවසීය.

“මෙලොව බිහි වූ රාජ්‍ය නායකයින් අතර බණ්ඩාරනායක අගමැතිතුමා තරම් ප්‍රශ්න, ගැටලු, අභියෝගවලට මුහුණ දුන් තවත් නායකයෙක් නැති තරම්. එතුමා ගත් ප්‍රගතිශීලි පියවරවලට දේශපාලන විරුද්ධවාදින්ගේ පමණක් නොවෙයි කැබිනට් මණ්ඩලයේ හිටපු සමහරුන්ගේ ද විවේචන එල්ල වුණා. එතුමාව මතවාදීව පරාජයට පත් කරන්න බැරි වුණාම ශාරීරිකව ඝාතනය කරලා සමාජයෙන් ඉවත් කරන්නට විරුද්ධවාදින් කටයුතු කළා. එතුමාට එල්ල කළ වෙඩි උණ්ඩය මම නම් දකින්නේ එතුමාගේ ප්‍රාණය නිරුද්ධ කරන්න තියපු වෙඩි උණ්ඩයකට වඩා දීර්ඝ කාලයක් තිස්සේ සමාජ අසාධාරණයට ලක් වී සිටි පොදු ජනතාවට එල්ල කළ වෙඩි උණ්ඩයක් හැටියටයි.“ යනුවෙන් පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා ය. ඔහු තවදුරටත් සඳහන් කළේ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා දිවංගත වුවද බණ්ඩාරනායක චින්තනය දිවංගත වී නොමැති බවයි. පංච මහා බලවේගයේ මුඳුන් මුල මත මීට වසර 70 කට පෙර ගොඩනැඟුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් වූ මහා වෘක්ෂය තවමත් ශක්තිමත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති, ෂාන් විජයලාල් ද සිල්වා පැවසීය.

එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයන අංශ ප්‍රධානි, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පැහැදිලි කළේ එදා තිබූ දේශපාලන ප්‍රතිපත්ති අදට වලංගු නොවන බවය.

“එදා යුගයේ ලෝක බලවතුන්ගේ කඳවුරු වලට සම්බන්ධ නොවී නොබැඳී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ජාත්‍යන්තරව ලොකු හයියක් තිබුණා. ඒත් අද එහෙම හැකියාවක් නැහැ. රාජ්‍යතාන්ත්‍රිකව නොබැඳි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් නිදහසේ සිටින්නට අද හැකියාවක් නැහැ. අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය යන පැරැණි දේශපාලන පක්ෂ ක්‍රමය අවසන්. අද සමගි ජනබලවේගය, පොදුජන එක්සත් පෙරමුණ වගේ නව දේශපාලන පක්ෂ බිහි වුණාට ඒවායේ බලවත් වෙන්නේ පුද්ගලයන්. සාම්ප්‍රදායික පක්ෂ ක්‍රමය අහෝසියි.“ යනුවෙන් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පැහැදිලි කළේය.

බණ්ඩාරනායකයන්ගේ දේශපාලන ප්‍රතිපත්ති තුළ තිබූ පොදු එකඟත්වය සර්වකාලීනව තිබිය යුතු ලක්ෂණයක් ලෙස පැවසූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ලේකම් ඩිව් ගුණසේකර, රටේ වැදගත් තීන්දු තීරණ ගැනීමේදී අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පක්ෂ නායකයා එකතු වී සාකච්ඡා කළ බව මතක් කර දුන්නේ කොවිඩ් වසංගත සමයේ පොදු එකඟත්වයකින් තීරණ ගැනීමේ වැදගත්කම පැහැදිලි කරමිනි.

0 comment
0

Related Posts

Leave a Comment