Home කාලීන පුවත් රජයේ විය­දම කෝටි 3,300 කින් අඩු කරන අය­වැයක් ළඟ ළඟම

රජයේ විය­දම කෝටි 3,300 කින් අඩු කරන අය­වැයක් ළඟ ළඟම

by Hela news

ආර්ථික ප්‍රශ්න රැසක් මධ්‍යයේ වුව ද රටේ ජනතාවට සහන රැසක් ලබාදෙමින් ජීවනෝපාය සංවර්ධනයට හා ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන අය වැයක් 2022 වෙනුවෙන් ඉදිරිපත් වෙන ලකුණු පෙනෙන්නට තිබේ.

රටේ ආර්ථිකය ගැන මෙන් ම රටේ පොදු ජනතාවගේ හද ගැස්ම ගැන පුළුල් අවබෝධයක් ඇති මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් ඉදිරිපත් කරන ප්‍රථම අයවැය ලබන 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. කෝවිඩ් 19 නිසා රටේ ආර්ථිකයට වූ හානිය අවම කර ආර්ථිකය සුවපත් කරන ජනතාවට සහන දෙන අයවැයක් බවට මෙය පත්වෙනු ඇතැයි රටේ වැඩි පිරිසකගේ අපේක්ෂාව වී තිබේ.

එක් අයවැය ලේඛනයක් පාර්ලිමේන්තුවට තෙවරක් ඉදිරිපත් කෙරේ. ඒ අනුව මෙවර අයවැය ලේඛනයට අදාළ විසර්ජන කෙටුම්පත් පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් විසින් ඉදිරිපත් කෙරිණි. 2022 අයවැය යෙදෙන නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉන්පසු ඒ පිළිබඳව විවාදය පැවැත්වෙනු ඇත.

මෙවර විසර්ජන කෙටුම්පතට අනුව 2022 වසරේ රජයේ වියදම කෝටි 3300 කින් අඩුවී ඇත.

wඑම අඩු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය සැලසුම් හා ක්‍රම හා විධි සකස්කර ඇත්තේ 2021 මැද භාගයේ සිට බවට දැනගන්නට ඇත. ඒ අනුව රාජ්‍ය වියදම් අඩු කිරීමට රජය මුදල් අමාත්‍යාංශය සියලුම ලේකම්වරුනට විවිධ උපදෙස් දී තිබිණි. ලේකම්වරුන් විසින් ඒ උපදෙස් සියලු රාජ්‍ය ආයතනවලට ලබාදී ඇත.

ඒ සමඟම රටටම ආදර්ශයක් දෙමින් ජනපතිගේ වියදම ඉදිරි වසර සඳහා අඩුකර තිබීම විශේෂත්වයකි. ඒ අනුව 2019 වසර හා සසඳන විට මේ වියදම අඩු කිරීම කෝටි 1077 කි.

ගෝඨාභය රාජපක්ෂයන් ජනපති වීමට පෙර හිටපු ජනපතිගේ වියදම රුපියල් කෝටි 1355 ක් විය. එය 2022 විසර්ජන කෙටුම්පත අනුව කෝටි 228 දක්වා අඩුකර තිබේ. 2021 දී ජනපති වැය ශීර්ෂය 2020 ට වඩා කෝටි 421 කින් පහත හෙළා තිබිණි. එය ‍රටේ ඉහළම තැනින් රටට කවදාවත් නොදුන් ඉතිරි කිරීමකි. වියදම අඩු කිරීමකි. හොඳම ආදර්ශයකි.

ඒ සමඟම 2022 අයවැය විසර්ජන කෙටුම්පත අනුව ලබන වසරේ අඩු කර ඇති රජයේ වියදම කෝටි 3300 කට අධිකය. මෙය අපේ රටේ අයවැය යෝජනා පිළිබඳව සංසන්දනය කිරීමේදී සුවිශේෂී කරුණකි.

මෙවර අයවැයේ 2022 වියදම පිළිබඳ සලකා බැලීමේදී වැඩිම වියදම ආරක්ෂක අමාත්‍යාංශයටය. ඒ මුදල කෝටි 37300 කි. පසුගිය වසරේ මේ වියදම වූයේ කෝටි 35500 කි. ඒ අනුව මේ වසරේ ආරක්ෂක වියදම කෝටි 1800 කින් වැඩි වී ඇත. ඒ සමඟම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වියදම අඩු කර ඇත. ඒ අනුව 2021 ට වඩා 2022 දී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වියදම රුපියල් කෝටි 60 කින් අඩු කර තිබේ.

රාජ්‍ය සේවා සහ පළාත් පාලන අමාත්‍යාංශයට මෙවර වැඩි මුදලක් වෙන්කර තිබේ.

ඒ මුදල රුපියල් කෝටි 28670 කි. ඉන් කෝටි 28600 ක් ම වැටුප් හා දීමනා වියදමය. එනම් පුනරාවර්තනය වියදම් ය. ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමටත්, දැනට 20000 ක දීමනාවක් ගෙවන පුහුණු උපාධිධාරීන්ට ස්ථිර පත්වීම් ලබාදීමටත් ‍රජය අපේක්ෂා කරන නිසා මේ අමාත්‍යාංශයට මේ මුදල වෙන්කර තිබෙන බව මුදල් අමාත්‍යාංශ තොරතුරු හෙළි කරයි.

2022 අයවැය අනුව මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් කෝටි 25010 ක් වෙන්කර තිබේ. එම මුදල අධිවේගී මාර්ග සංවර්ධනයට යොදා ගැනීමට අපේක්ෂිතය. ගුරු විදුහල්පති ගැටලුවට හිමි වැටුප් වැඩිවීම් ආදිය සඳහා ද මුදල් ලබාදීමේ අපේක්ෂාවෙන් 2022 අයවැය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට ගිය වසරට වඩා රුපියල් කෝටි 110 ක් වෙන්කර ඇත.

මුලින් ඉදිරිපත් කළ විසර්ජන කෙටුම්පත අනුව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් සිය මංගල අයවැය මඟින් වැය අඩුකර අයවැය පරතරය අඩු කිරීමට උත්සාහ දරා ඇත.

රජය අපේක්ෂා කරනුයේ කෝවිඩ් නිසා උද්ගතවී ඇති ආර්ථික සාමාජික අධ්‍යාපනික කෘෂිකාර්මික අභියෝග කළමනාකරණය හා සමනය කර ගනිමින් හා පාලනය කරමින් ජනතාව වෙත වැඩි ප්‍රතිලාභ අත්කර ගත හැකි සුවිශේෂි අයවැයක් මෙවර ඉදිරිපත් කිරීමටයි.

අත්‍යවශ්‍ය වියදම්වලටම පමණක් ප්‍රමුඛත්වය දෙමින් අවශ්‍ය වියදම් පවා සීමා කර මෙවර අයවැය ඉදිරිපත් කිරීම රටටත් ජනතාවටත් රජයටත් උචිත බව ආර්ථික විශේෂඥයන්ගේ මතයයි. මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලට අනුව මෙවර අයවැය යෝජනා සඳහා හඳුනාගෙන ඇති අනෙකුත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර අතර දේශීය කෘෂිකර්මය දියුණු කිරීම ද සංචාරක ක්ෂේත්‍රය පුනර්ජීවනය හා දිරිමත් කිරීම ප්‍රමුඛතාවක් ගනී.

ඊට අමතරව වාරි සෞභාග්‍යා වැඩසටහන, කිලෝමීටර් ලක්ෂයේ ග්‍රාමීය මාර්ග වැඩසටහන, මෙන් ම විදුලිය, පානීය ජල සම්පාදනය වැනි යටිතල පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබාදීමට අපේක්ෂිතය.

විශේෂයෙන් රටපුරා හිඟයක් නැතිව කාබනික පොහොර නිෂ්පාදනය කිරීම හා ඒවා නිසි ප්‍රමිතියට සකස් කිරීමටත් කාබනික කෘෂිකර්මයට තවත් සහන ලබාදීමටත් අපේක්ෂා කෙරේ.

රාජ්‍ය ආයතන, පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය ඩිජිටල්කරණය කිරීම මඟින් සේවාලාභීන්ට මාර්ගගතව පහසුවෙන් සේවා ලබා ගැනීමට හැකිවන පරිදි උපරිම පහසුකම් ලබාදීමටත් අලුත් අයවැය ප්‍රතිපාදන මඟින් අපේක්ෂා කෙරෙන බවට තොරතුරු ලැබෙමින් තිබේ.

ඊට අමතරව භාණ්ඩාගාරය මත යැපෙන වානිජ ව්‍යාපාර ප්‍රතිසංස්කරණය කර ඒවායේ මූල්‍ය ශක්තිය හා ස්ථාවරත්වය ඇති කිරීමට ද 2022 දී කටයුතු කරනු ලැබීමට නියමිතය.

භාණ්ඩාගාර නිලධාරීන් පවසන පරිදි මෙවර අයවැය ජීවනෝපාය සංවර්ධනයට හා ග්‍රාමිය සංවර්ධනයට මූලිකත්වය දෙනු ඇත. ඉදිරි අයවැය අවම වශයෙන් ඉදිරි වසර තුන සඳහා ජාතික ප්‍රතිපත්තිය බවට පත් කරනු ලැබේ. එමඟින් රැකියා උත්පාදනය, ඉල්ලුම් උත්පාදනය ඇති කරමින් රටේ ආර්ථිකයේ සියයට 6 ක වර්ධන වේගයක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර හා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල යන අය ඉමහත් කැපවීමෙන් රටේ ජනතාවට සහනදායි නමුත් රටේ ආර්ථිකය සුවපත් කරන අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන්ට පූර්ණ සහාය දෙති.

ඒ අනුව ආනයන ආදේශන කර්මාන්ත දිරිගැන්වීමට සහ අපනයන කර්මාන්ත ප්‍රවර්ධනයට ද සුවිශේෂී පෙලඹවීමක් මෙවර අයවැයෙන් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ සමඟම විදේශ වෙළෙඳ පොළ අවස්ථා විවෘත කිරීම, නිෂ්පාදන විවිධාංගීකරණය කිරීම හා ද්විතීයික නිෂ්පාදන රට තුළ වැඩිපුර නිපදවීම මඟින් දේශීය ආදායම වැඩි කිරීමටත් මෙවර අයවැයෙන් අවධානය යොමු වී තිබේ.

තොරතුරු තාක්ෂණ කර්මාන්තය හා ඊට අදාළ නිලධාරීන් පුහුණු කිරීම් මඟින් විදේශීය වෙළෙඳපොළ ජය ගැනීම හා සාම්ප්‍රදායික ද්‍රව්‍ය පිටරට යැවීම වෙනුවට අගය එකතු කළ අලුත් නිපැයුම් පිටරට යැවීම මඟින් විදේශ විනිමය ආදායම වැඩි කිරීමට ද මෙවර අයවැය මඟින් සැලසුම් කර ඇතැයි දැනගන්නට ඇත.

මෙවර අයවැය පිළිබඳව මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක වින්සන් මර්වින් ප්‍රනාන්දු මෙසේ පවසයි.

නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සය මාසික පෙරදැක්මක් ඉදිරිපත් කිරීමත් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂයන් 2022 අයවැය විසර්ජන පනත සම්මත කරගැනීමට කටයුතු කිරීමට මුල පිරීමත් මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ වැදගත් සිදුවීම් දෙකකි. ඒ අනුව වැටුණු රට නැංවීමට ක්‍රියාත්මක කිරීමට යන මූල්‍ය ප්‍රතිපත්ති පිළිබඳව මුළු රටම බලා සිටිනවා.

අයවැයක සමස්ත ප්‍රතිඵලය වූ අයවැය හිඟය 2022 දී සියයට 11.1 ක් වූ අතර එය 2022 දී අපේක්ෂිත හිඟය සියයට 7.5 ක් වශයෙන් අඩුකර ගැනීමට 2022 අයවැය දරන උත්සාහය ඉතා වැදගත්.

එයට හේතුව එම හිඟය පියවීමට විදේශ ණය ලබාගැනීමට දුෂ්කරවන මේ මොහොතේ ශ්‍රී ලංකා මහ බැංකුව හරහා මුදල් අච්චු ගැසීම අවම කරහොත් මහ බැංකුව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය යටතේ අපේක්ෂා කරන 4% – 6% අතර මට්ටමක උද්ධමනය පවත්වා ගනිමින් ජනතාව දැනට දරන ජීවන බර අවම කර ගැනීමට හැකිවේය යන්න අපේ නිගමනයයි.

මිල ස්ථායිතාව ළඟාකර ගැනීම හැරුණු විට මහ බැංකුවේ තවත් අරමුණක් වන ආර්ථික ස්ථායිතාව ළඟාකර ගැනීමට, ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට හා සර්ව ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට 2022 අයවැය හරහා කළ හැකි මෙහෙය ද මෙහිදී සිහිපත් කළ යුතු ය.

ආර්ථිකය මුහුණ දෙන දරුණු ණය අර්බුදය හා විදේශ විනිමය ගැටලු විසඳීමට රජය පහත දැක්වෙන කාර්යයන් 2022 අයවැය හරහා ඉටුකර ගැනීමට අවශ්‍ය බව පෙනේ. ඒ අනුව මුලින් ම ජනාධිපති කාර්ය සාධන බළකාය මඟින් විදේශ විනිමය ප්‍රවාහ ඉහළ නැංවීමට අපනයන හා විදේශ ආයෝජන අධීක්ෂණය කිරීමට වහාම පියවර ගැනීමට අයවැය සමත් විය යුතු ය.

මහ බැංකුවේ ඊළඟ අරමුණ වන මූල්‍ය පද්ධති ස්ථායිතාව සුරැකීමට ද 2022 අයවැය මඟින් දායක විය හැකි ය. ඒ අනුව බැංකු නොවන අංශය ඒකාබද්ධ කිරීමට පහසුකම් සැපයීමට සුදුසු බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම ද රාජ්‍ය බැංකු මත යැපීම අඩු කිරීම ද ඛනිජ තෙල් ආනයන වියදම් සඳහා රාජ්‍ය බැංකු විසින් ලබාදෙන ණය ප්‍රමාණය අවම කිරීමට ද පියවර ගත යුතු ය.

සර්ව ආර්ථික ස්ථායිතාව ඇති කිරීම සඳහා 2022 අයවැය ආයෝජන හිතකාමී අනවශ්‍ය වියදම් අඩු කරන අයවැයක් විය යුතුමය. එමෙන් ම අයවැය හිඟය හැකිතාක් දුරට අඩු කර ගත යුතුව ඇතැයි ද වින්සන් මර්වින් ප්‍රනාන්දු පවසයි.

0 comment
0

Related Posts

Leave a Comment