Home ක්‍රීඩා පුවත් යොවුන් ලෝක කුසලාන ක‍්‍රීකට් තරගාවලිය අද ඇරැඹෙයි

යොවුන් ලෝක කුසලාන ක‍්‍රීකට් තරගාවලිය අද ඇරැඹෙයි

by Hela news

වයස අවුරුදු 19න් පහළ යෞවන ක‍්‍රිකට් ශූරයන්ගේ දස්කම් උරගා බැලෙන යොවුන් එක් දින ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය රටවල් 16ක සහභාගිත්වයෙන් බටහිර ඉන්දීය කොදෙව් දේශයේදී අද (14 වැනිදා) ආරම්භ වේ.

යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ 14 වන අදියරය ලෙසින් ආරම්භ වන මෙවර තරගාවලිය යටතේ තරග 48 ක් පැවැත්වෙන අතර අවසන් මහා තරගය පෙබරවාරි 05 වැනිදා ඇන්ටිගුවා හි ශ‍්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ‍්‍රී ලංකා යොවුන් ක‍්‍රිකට් කණ්ඩායම දුනිත් වෙල්ලාලගේ ගේ නායකත්වයෙන් යුතුව තරගාවලියට සහභාගි වේ.

තරගාවලියට සහභාගි වන කණ්ඩායම් 16 අතරින් මූලික වටයේදී එක් එක් කාණ්ඩයෙන් පළමු සහ දෙවැනි ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම් 8 සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට සුදුසුකම් ලබයි.

සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් නොලබන අනෙක් කණ්ඩායම් 8 එනම් මූලික වටයේදී අදාළ කාණ්ඩයෙන් 3 සහ 4 ස්ථානවලට පත්වන කණ්ඩායම් පළඟ ශූරතාවය වෙනුවෙන් තරග වැදීමට නියමිත වේ.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන මහතා තරගාවලියේ බලාපොරොත්තු පිළිබඳව ප‍්‍රකාශකර සිටියේ අවසන් පූර්ව වටයට සුදුසුකම්

ලබාගැනීම තමාගේ ප‍්‍රධාන අරමුණ බවය.

අද දිනයෙන් ඇරඹෙන තරගාවලියේ මූලික වටයේ තරග ජනවාරි 22 වැනිදා අවසන්වීමට නියමිත අතර මූලික වටය යටතේ ශ‍්‍රී ලංකාව ස්කොට්ලන්තය සමග අද (14දා) තරග වැදීමට නියමිත වේ.

තෙවරක් යොවුන් ලෝක කුසලානය දිනූ ඔස්ටේ‍්‍රලියාව සමග 17 වැනිදාත්, සත්කාරක බටහිර ඉන්දීය කොදෙව්වන් සමග 21 වැනිදාත් ශ‍්‍රී ලංකාව මූලික වටය යටතේ තරග වැදීමට නියමිතය.

මූලික වටයේ තරගවලින් අනතුරුව පළඟ ශූරතාවයට අදාළව අර්ධ අවසන් පූර්ව තරග ලබන 25 වැනිදා ආරම්භ වන අතර සුපර්ලීග් තරග වටය යටතේ අර්ධ අවසන් පූර්ව තරග 26 වැනිදා ආරම්භ වේ. පළඟ අවසන් පූර්ව තරග 28 වැනිදා සහ 29 වැනිදා ද සුපර් ලීග් අවසන් පූර්ව තරග පෙබරවාරි 01 වැනිදා සහ 02 වැනිදා ද පැවැත්වේ.

පළඟ ශූරතාවය යටතේ අවසන් මහා තරගය ජනවාරි 31 වැනිදා ක්වීන්ස් පාර්ක් ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර එම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට පළඟ ශූරතාව හිමිවන අතර එම කණ්ඩායම තරගාවලියේ 09 වැනි ස්ථානයට පත්වේ. එහි අනුශූරයන් වන කණ්ඩායම තරගාවලියේ 10වැනි ස්ථානයට පත්වන අතර පළඟ

තරගාවලිය යටතේ දක්වන දස්කම් මත අනෙක් කණ්ඩායම් වලට 11, 12, 13, 14, 15 සහ 16 වැනි ස්ථාන හිමිවනු ඇත.

සුපර් ලීග් අදියර යටතේ අවසන් පූර්ව තරගවලින් ජයගන්නා කණ්ඩායම් දෙක 05 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබන අතර එම තරගාවලිය යටතේ එක් එක් කණ්ඩායම් දක්වන දක්‍ෂතා මත 03, 04, 05, 06, 07 සහ 08 වැනි ස්ථාන තීරණය වනු ඇත.

ශ‍්‍රී ලංකාව තරගාවලියේ මූලික වටය යටතේ ‘ඞී’ කාණ්ඩයෙන් තරග වදින අතර ඔස්ටේ‍්‍රලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය එහි අනෙකුත් සාමාජික කණ්ඩායම් වේ. නවසීලන්තය තරගාවලියෙන් ඉවත්වීම හේතුවෙන් ස්කොට්ලන්තය තරගාවලියට එක්වූයේය.

‘ඒ’ කාණ්ඩය යටතේ බංග්ලාදේශය, කැනඩාව, එංගලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරගවදින අතර, බංග්ලාදේශය පසුගියවර ලෝක ශූරතාවය ජයග‍්‍රහණය කළේය. ‘බී’ කාණ්ඩය යටතේ ඉන්දියාව, එංගලන්තය, දකුණු අප‍්‍රිකාව සහ උගන්ඩාව තරග වදී. ඇෆ්ගනිස්ථානය, පකිස්තානය, පැපුවානිව්ගිනියා සහ සිම්බාබ්වේ සී කාණ්ඩයෙන් තරගාවලියට එක් වේ.

මෙවර තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකාව පුහුණු තරග දෙකකට සහභාගි වූ අතර අයර්ලන්තය සහ උගන්ඩාවට එරෙහිව පැවති එම පුහුණු තරග දෙකෙන් ශ‍්‍රී ලංකාව පහසු ජයග‍්‍රහණ අත්කර ගත්තේය.

ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම අවසන් වරට සහභාගි වූ තරග 15න් තරග 11ක් ජයගැනීමට සමත් වී ඇති අතර පසුගියදා නිමා වූ ආසියා කුසලාන තරගාවලියේ අනුශූරතාවය හිමිකර ගැනීමට ද ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ‍්‍රී ලංකාව 2000 වසරේදී යොවුන් ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය දිනා ගැනීමට සමත් වී ඇති අතර, වසර 2010 සහ 2016 වසරවල දී අවසන් පූර්ව තරගවලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබේ.

එහෙත් අවසන් වරට පැවති තරගාවලි දෙකේදීම ශ‍්‍රී ලංකාව 09 වැනි සහ 10 වැනි ස්ථානවලට පත්විය.

මෙවර තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස මහේල ජයවර්ධන මහතා කටයුතු කිරීම ශී‍්‍ර ලංකා ක‍්‍රීඩකයන්ගේ මානසික මට්ටම ඉහළ දැමීමට හේතු වී ඇත.

තරගාවලියට පෙර පැවති මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ ප‍්‍රකාශ කළේ තරගාවලිය සඳහා කණ්ඩායම හොඳ සූදානමකින් සහ උද්‍යෝගයකින් පසුවන බවය. හොඳ පිතිකරු ලැයිස්තුවකින් යුත් සමබර කණ්ඩායමක් තමන් සතු බවත් ශ‍්‍රී ලංකා නායකයා ප‍්‍රකාශ කර සිටියේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම

දුනිත් වෙල්ලාලගේ – (නායක) ,රවීන් ද සිල්වා – උප නායක, සදීෂ් ජයවර්ධන, පවන් පතිරාජ, චමිඳු වික‍්‍රමසිංහ, විනුජ රන්පුල්, සදීෂ රාජපක්ෂ, ශෙවෝන් ඩැනියල්, මල්ෂ තරුපති, වනුජ සහන්, ට‍්‍රවේන් මැතිව් යසිරු රොද්‍රිගෝ, මතීෂ පතිරණ, අංජල බණ්ඩාර, අභිෂේක් ලියනාරච්චි, සකුණ ලියනගේ, රනුද සෝමරත්න

0 comment
0

Related Posts

Leave a Comment