Home කාලීන පුවත් මේ දිනවල තක්කාලිවලට තියෙන්නේ හොඳ මිලක්

මේ දිනවල තක්කාලිවලට තියෙන්නේ හොඳ මිලක්

by Hela news

කොරෝනා වසංගතය මෙරට කෘෂිකර්මාන්තයට යහපත් කලක් උදා කර වූයේ බොහෝ දෙනකු රැකියාවලට නොගොස් සිය නිවෙස්වලම කල් ගත කිරීම හේතුවෙනි. දෑතේ කර්මාන්තයක් ලෙස ඉතා පහසුවෙන් කර ගත හැකි වගා කර්මාන්තය පුද්ගල සෞඛ්‍යයට මෙන්ම මනසට ද එක් කරනුයේ සැනසිලිදායක බවකි. අම්බලන්තොට ථෙරපුත්ත ප්‍රාථමික විදුහලේ විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන වින්ද්‍යා කුමාරි කොඩිතුවක්කු මහත්මිය ද කොරෝනා සමයේ තම වටිනා කාලය අපතේ නොහැර ගෙවත්තේ වගා කටයුතුවල නියැලුණි. 1995/1997 අධ්‍යයන වර්ෂයේ පොල්ගොල්ල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ප්‍රාථමික අධ්‍යාපනය පිළිබද ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරිනියක වන ඇය පසුව 2012 වර්ෂයේ විදුහල්පති ‌ශ්‍රේණිධාරි විභාගය සමත් වී මෙම විද්‍යාලයේ විදුහල්පතිනිය වූවා ය. මේ වන විට සරුසාර අස්වැන්නක හිමිකාරියක වන්නට සමත් වී තිබෙන ඇය අන් අයට ද ආදර්ශයක් සපයා තිබේ.

ඔබ විදුහල්පතිනියක්. පාසල් නිවාඩු සමයේ ඔබ වගාවට යොමු වුණේ කොහොම ද?

ඉස්සර ඉඳලම මම පරිසරයට ගහට කොළට හරිම ආදරෙයි. දරුවන්ටත් ඒ ආදර්ශය දීලා තියෙන්නේ. ගෙදර වගේම පාසලෙත් ගස්වැල්, මල් පැළ හිටවලා තිබෙනවා. කවුරු හරි පරිසරයට ටොපි කොළයක් දැම්මොත් මම හරියට දුක් වෙනවා. මගේ පාසලෙත් මම හරිම ආසයි ගස්වැල්වලින් මේ පරිසරය පිරිලා හරිත වර්ණයෙන් දකින්න. මම පාසලේ ඉඳලා එන්නේ මහන්සි වෙලා ගොඩාක් මානසික පීඩනයෙන්. ඉතිං එහෙම ආවම ඒ විඩාව නිවෙනවා හවසට මගේ වගාවට ගියාම. මේ ගහකොළ හරිම සංවේදියි. දවසින් දවස මේ ගහකොළවල සිදු වන විපර්යාසය හරිම අපූරු අත්දැකීමක්. දවසින් දවස ගස් වැල් ලොකු වෙනවා. මල් පිපෙනවා. ගෙඩි හැදෙනවා. ඒක අත්විදින්න පුළුවන් නම් හරිම අපූරුම අත්දැකීමක්. ඒ ගස්වල පැහැය, මල්වල පාට අපේ පාට පෙට්ටියේ පාටවලට සමාන කරන්න බැහැ. ඒ තරම්ම ලස්සනයි. තක්කාලි ගස් අතගාලා අපි අත සෝදන කොට අපේ අත්වල ලස්සන කහ පාටක් තියෙනවා. තක්කාලි ගෙඩි ඉදුනම ඒ රතු පැහැය හරිම අපූරුයි. හරියට ඇපල් වගේ. කුරුල්ලෝ ඇවිල්ලා ඉදුණු ගෙඩි කාලා යනවා. එයාලා තමයි රසම ගෙඩිය හොඳම ගෙඩිය තෝරන්න දන්නෙ. ආදායමක් ලබන්න නෙමෙයි. අපේ සතුට වෙනුවෙන් තමයි අපි මේ දේවල් කරන්නේ. මම මගේ තනතුර පාසලේදී විතරයි. මම ගෙදරදි අම්මා කෙනෙක්, බිරියක් වගේම ගෙවිලියක්.

මොනවද ඔබ වගා කරලා තිබෙන්නේ?

තක්කාලි, මෑ කරල්, ඉරිඟු, මිරිස් වගේ දේවල් තමයි. මාස් කාලෙට තල සහ කුරක්කන්, මුං ඇට වගේ දේවල් වගා තරකවා, මුං ඇට ගොඩ වගාවක් ලෙස කරනවා.

කොපමණ ප්‍රමාණයක වගා කරලා තිබෙනවා ද?

අක්කර 1/2 ක් විතර පුංචි ඉඩමක් අපට තියෙන්නේ. ගේ පිටුපස අල්ලියක ප්‍රමාණයක ඉඩ තියෙනවා. ඒ ටිකේ තමයි තක්කාලි සහ කහ සිටෙව්වේ. තව අපේ අල්ලපු ඉඩමේ කවුරුවත් පදිංචි වෙලා නැහැ. ඒක වෙන කෙනෙක්ගෙ. එයාට කියලා අපි ඒ ඉඩමේ ඉරිඟු, මෑ කරල් හිටෙවුවා. අපට තව හේනක් තියෙනවා. ඒ ඉඩමේ වැස්ස කාලෙට විතරයි වගා කරන්නේ. ඒකෙ තල, කුරහන් වගේ දේවල් වපුරනවා.

වැඩියෙන් වගා කරලා තිබෙන්නේ මොනවා ද?

මේ දිනවල තක්කාලි තමයි වැඩියෙන් වගා කරල තියෙන්නේ. අල්ලියක විතර වගා කරලා කියෙනවා.

තක්කාලි වගාවක් ආරක්ෂා කර ගන්නේ කොහොම ද?

තක්කාලි පැළ ටිකක් ලොකු වෙනකොට ඒවට කෝටු හිටවන්න ඕනෑ. හැම පේළියකම ගස් වැටෙනවට රෙදි පටි ගැට ගහන්න ඕනෑ. ගෙඩි හැදුණම ඒවා කඩන එකත් හොඳ පරිස්සමින් කරන්න ඔනෑ දේවල්. තක්කාලි එක ගහක් ගානේ බලන්න ඕනෑ. ලෙඩ වුණොත් හම්බන්තොට කෘෂිකර්ම උපදේශක රංජිත් මහත්තයාට කියලා බෙහෙත් අහගන්නවා. එයා තමයි අපට ගොඩක් පැළ වර්ග දෙන්නේ. එයාටත් මම මේ වෙලාවෙ ස්තුති කරනවා.

මෙවර තක්කාලි ඵලදාව කොහොම ද?

ගොඩක්ම හොඳයි. අපි සතියකට වරක් තක්කාලි කඩනවා. එක වරකට කිලෝ ග්‍රෑම් 250 ක් විතර කැඩෙනවා. දැන් තක්කාලි මිල ඉහළයි. කිලෝග්රෑම් එකක් රුපියල් 230 සිට 280 දක්වා මිලකට අපි අලෙවි කරනවා.

වගාවක් සාර්ථක කර ගන්න නම් මොනවද කරන්න ඕනෑ?

මුලින් ම ඒකට ආශාවක් ඇති කර ගන්න ඕනෑ. කැපවීමෙන් කරන්න ඕනෑ. ජලය, පොහොර නිසි වෙලාවේ දි දෙනවා වගේම දරුවකුට ආදරය කරන්න වගේ ආදරයෙන් රැක බලා ගන්නත් ඕනෑ.

මේ සරුසාර වගාව සඳහා ඔබට උදවු කරන්නේ කවු ද?

මගේ ස්වාමි පුරුෂයා තමයි ගොඩක්ම උදවු කරන්නේ. බිම් සකස් කරන්න. පැළ කාලයේ ඉඳලා අස්වැන්න වෙළෙඳපොළට යනකම් එයා තමයි මගේ යෝධ සෙවණැල්ල. අපි පාසලෙන් ගන්න, දරුවො වෙලාවට පන්ති ගෙනියන්න, කුඹුරට, වැඩ බිමට යන්න වගේම පොළට යන්න, මේ හැම දෙයක්ම කරන ගමන් තමයි මේවා වගා කරන්නේ. කොවිඩ් නිවාඩුව නිසා අපි හැමෝටම විවේකයක් ලැබුණා. ඒකෙනුත් අපි උපරිම ප්‍රයෝජන ගත්තා.

මේවා අලෙවි කර ගන්නේ කුමන වෙළෙඳපොළට ද?

රන්න, මයුරපුර හා සූරියවැව තොග පොළටවලට තමයි අපි මේවා අලෙවි කරන්නේ. අපි තොග වශයෙන් තමයි දෙන්නේ.

විදුහල්පතිනියක් මෙන්ම ගෙවිලියක් විදියට අන් අයට දෙන උපදෙස් මොනවා ද?

ගෙවෙන සෑම තත්ත්පරයකම තමාටත් තමාගේ මව්බිමටත් උපරිමයෙන් යහපත් දෙයක් කරන්න. විශ්වයට මුදාහරින යහපත් සිතුවිලි හැමදාම අප සතුටින් තියනවා. පරිසරයට සතුටින් ආදරය කරන්න. තමන්ට තියෙන පුංචිම පුංචි ගෙවත්තෙ එළවළු, පලතුරු, පලා වර්ග වගේ දේවල් වගා කරන්න. එතකොට අපේ මනසත් ආර්ථිකයත් සතුටින්.

0 comment
0

Related Posts

Leave a Comment