Home කාලීන පුවත් මේ කැරකෙන්නේ එදා චක්‍රයමද

මේ කැරකෙන්නේ එදා චක්‍රයමද

by Hela news

2001 දෙසැම්බර් 05 වැනිදා මහ මැතිවරණයට දින නියමව තිබිණි. එය චන්ද්‍රිකාගේ දෙවැනි ධුර කාලය විය. ^94 පැවැති ජනාධිපතිවරණයෙන් රෙකෝඩ් තියා ජයගෙන හිටි චන්ද්‍රිකා දෙවැනි ජනාධිපතිවරණය ජය ගත්තේ කොටි බෝම්බයකට පින් සිදුවන්නටය. ^99 දෙසැම්බර් 21 ජනාධිපතිවරණයට දින නියම කර ඡන්ද සටන පටන් ගත්තත් ඒ වන විට චන්ද්‍රිකාගේ පාලනය කෙරේ රටේ ජනතාවගේ කැමැත්ත දියවී යමින් තිබුණේය. කිසි වැඩක් නොකෙරුණු බවට කටින් කට ගිය ප්‍රචාරයත් හැම වැඩකටම පැය ගණන් ප්‍රමාද වී පැමිණීමත් හේතුවෙන් ඒ වන විට ජනතාවට චන්ද්‍රිකා එපා වී තිබීම එවකට තිබූ පොදුජන පෙරමුණට අවාසියක් විය.

මේ සියල්ලටත් වඩා ඒ වන විට රටේ ආර්ථිකය ඍණ වී හතරගාතෙන් වැටී තිබිණි. සියලුම ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් චන්ද්‍රිකාගේ ආණ්ඩුව කෙරෙහි සිටියේ පැහැදීමකින් නොවේ. හැමතැනම ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ සංවිධානය විය. වැඩවර්ජනද එසේමය. යුද්ධය හේතුවෙන් සංචාරක ව්‍යාපාරයද අඩපණ වී තිබූ අතර ජනතාව අතර මුදල් ගැවසීමද අඩු විය. ඒ අතර තමන්ගේ ප්‍රශ්න ගැන වැඩි අවධානයක් යොමු නොකළ චන්ද්‍රිකාගේ පාලනය කෙරේ ගොවි ජනතාවද සිටියේ ගේම ඉල්ලමිනි.

මේ වෙලාවේ විපක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා වූයේ රනිල් වික්‍රමසිංහය. ඔහුට සුළු ජන පක්ෂවල සහායද හිමිව තිබූ අතර පක්ෂයේ ලේකම් වූ ගාමිණී අතුකෝරළ ඒ වන විට පක්ෂයේ සංවිධාන ශක්තිය හොඳටම ගොඩනංවාගෙන සිටියේය. චන්ද්‍රිකාගේ සහායට මංගලත් එස්.බී.ත් සිටියත් චන්ද්‍රිකා ජනාධිපතිවරණය පරදින බවට හැමතැනින්ම අනාවැකි පළවෙමින් තිබිණි. රනිල් වික්‍රමසිංහ ද ඒ වන විට යූ.එන්.පි.ය ප්‍රමුඛ චන්ද්‍රිකාගේ විරුද්ධවාදීන්ගේ සහාය හොඳට ලබමින් සිටියේය. රනිල් ඊළඟ ජනාධිපති වනු ඇති බවට හැමතැනින්ම ඇසෙන්නට විය.

එහෙම තියෙද්දී ජනාධිපතිවරණ අවසන් ප්‍රචාරක රුලියේදී චන්ද්‍රිකා ඉලක්ක කරමින් බෝම්බයක් පුපුරා ගියේය. එතැනින් සියල්ල කනපිට හැරුණි. ඊට සමගාමීව යූ.එන්.පියේ ජාඇළ රුලියටද බෝම්බ ප්‍රහාරයක් එල්ල වුණත් චන්ද්‍රිකා බරපතළ තුවාල ලබා ඇසකුත් අහිමි කරගෙන තම දරුවන් තුරුළු කරගෙන රෝහල්ගතව සිටි ආකාරය මුළු රටේම ජනතාවගේ හදගැස්ම වෙනස් කිරීමට සමත් විය. රාජ්‍ය මාධ්‍ය තමන් අතේ තිබූ බැවින් අවසන් පැය 48 තුළදී එම රෑපරාමුවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට චන්ද්‍රිකාගේ ප්‍රචාරක ව්‍යාපාරය භාරව සිටි මංගලලා මොහොතක්වත් පමා වූයේ නැත.

අන්තිම පැය 48 ආරම්භ වෙද්දී ජයග්‍රාහී මනසකින් සිටි යූ.එන්.පියේ මූඩ් එක සම්පූර්ණයෙන් රිවර්ස් විය. අන්තිමට පරදින්න හිටි චන්ද්‍රිකා ජනාධිපති විය. දිනන්න හිටි රනිල් යළිත් විපක්ෂ නායකයා විය.

එහෙම දින්නත් චන්ද්‍රිකාට පාලනය ගෙන යාම අසීරු විය. 2001 දී මහ මැතිවරණයට සූදානම් වන විට චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ පතුරු ගැලවී ගියේය. රවුෆ් හකීම්ලා, බන්දුල ගුණවර්ධනලා ඇතුළු මන්ත්‍රීවරු ගණනාවක් චන්ද්‍රිකාට චෙරියෝ කියා රනිල්ට එකතු වූහ. ගාමිණී අතුකෝරළ තම ඡන්ද කැම්පේන් එක කළේ ගිය නුවණ ඇතුන් ලවාම ඇද්දවිය යුතුය සටන් පාඨයෙනි. මැතිවරණයෙන් රනිල් නායකත්වය දුන් එක්සත් ජාතික පෙරමුණ ජය ගත්තේය. රනිල් අගමැති විය. &ගිය නුවණ ඇතුන් ලවාම ඇද්දවූ වගයි* යන ජයග්‍රාහී සටන් පාඨයකින් ගාමිණී අතුකෝරළ තම ඡන්ද ව්‍යාපාරය අවසන් කළේය.

හැබැයි රනිල්ගේ ආණ්ඩුවට අවුරුදු දෙකක් යන්න පෙර මංගලලා චන්ද්‍රිකා සමඟ එකතු වී ඒ ආණ්ඩුව වැට්ටවූයේය. එය වෙනම කතාවකි. නමුත් මේ ලංකාවේ දේශපාලනයේ හැටිය. මහ විශාල බලාපොරොත්තු ඇතුව පිහිටුවන ආණ්ඩු කඩා වැටෙන්නේ බලාපොරොත්තු නොවන ආකාරයටය. ඇතැම්විට 1999 දී වුණාක් මෙන් එක බෝම්බ ප්‍රහාරයකින් බොහෝ දේ වෙනස් වී යා හැක. 2015 දී කිසිවකුත් බලාපොරොත්තු නොවූ ආකාරයට රනිල් සමඟ එකතු වී රාජපක්ෂලා පැරුද්දුවේ චන්ද්‍රිකා – මංගල සුසංයෝගයෙනි. එයට මෛත්‍රීපාල සිරිසේන ද එකතු විය. එම ආණ්ඩුව 2019 අප්‍රේල් 21දා පිපිරුණු පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් බිමටම කඩා පහත් විය. ඒ වන විට රටේ ආරක්ෂාව බරපතළ අවදානමකට වැටී තිබූ බවට රාජපක්ෂ ආණ්ඩුවේ දැන් සිටින මැති ඇමැතිවරුන් බොහොමයක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් වශයෙන් සිටිමින් විශාල ප්‍රචාරයක් ගෙන ගිය අතර පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. ඊළඟ ජනාධිපතිවරණය සහ මැතිවරණය ඉතිහාසයට එක්වූයේ එදා චන්ද්‍රිකා පළමුවරට දිනුවාක් මෙන් රෙකෝඩ් තබමිනි.

දැන් ප්‍රධාන දේශපාලන ධාරාවේ චන්ද්‍රිකා නැත. රනිල් වික්‍රමසිංහ මහතාද ඉන්නේ යූ.එන්.පියේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා වශයෙනි. රාජපක්ෂලාට විරුද්ධව එළියට බැස රටේ ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතාද දැන් ආණ්ඩුවේ හවුල්කාර ප්‍රධාන පක්ෂය වන ශ්‍රීලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි. එදා රනිල්ගේ 2001 ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකු සහ 2015 ආණ්ඩු ඇමැතිවරයකු වූ සජිත් ප්‍රේමදාස අද රටේ විපක්ෂ නායකයාය. යූ.එන්.පිය බිඳගෙන සජිත් එළියට ආවේ අලියා ලකුණද අතහැර දමමිනි. අද ආණ්ඩුව රාජපක්ෂලාගේය. විපක්ෂය සජිත්ලාගේය. ජවිපෙ මන්ත්‍රීවරුන් තිදෙනකු සමඟ පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට එරෙහිව දැඩි සටනක් දෙමින් සිටී. උතුරේ දේශපාලනය සහ සෙසු සුළු ජන කොටස්වල ප්‍රතිචාර පිළිබඳව ආණ්ඩුවත් විපක්ෂයත් දෙකම සිටින්නේ විපරමිනි.

කරළියේ දේශපාලනය එහෙම වන විට රට ඇතුළේ දේශපාලනය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබෙන බව ආණ්ඩුවට නොදැනෙනවා නම් පුදුමය. මේ වන විට ආණ්ඩුව ඇතුළේ හවුල්කාර පක්ෂවලින් ආණ්ඩුවට ප්‍රහාර එල්ලවෙමින් පවතී. මෙහිදී වඩාත්ම කැපීපෙනෙන්නේ ශ්‍රීලනිපය සහ පොහොට්ටුවේ ගැටුමයි.

මේ ගැටුම හටගත්තේ මහ මැතිවරණයේ පටන්මය. තමන් ඉල්ලූ තරමට සහ තමන්ට ලබාදුන් පොරොන්දුවල තරමට තම පක්ෂයට තනතුරු නොලැබුණු බව ඔවුන්ගේ දුක්ගැනවිල්ල විය. එයට පිළිතුරු දුන් බැසිල් වරක් පවසා තිබුණේ කසාද බැන්දට පස්සේ දෑවැදි ගැන කතා කිරීමෙන් පළක් නැති බවය. ඒ වෙලාවෙදි ශ්‍රීලනිපයට නිහඬ වෙනවා හැර වෙන යමක් ඉතිරි වී නොතිබිණි. හැබැයි දැන් රටේ තත්ත්වය වෙනස්ය.

දැන් රටේ බඩු මිල දරාගත නොහැකි මට්ටමින් වැඩිවෙමින් තිබේ. හාල් ඇටයක් රටින් නොගෙන්වන බව කී ආණ්ඩුව දැන් රටින් හාල් ගෙන්වයි. මේ රජයට බලයට පත් කළ ගැමිජන ආර්ථිකයේ පිටකොන්ද වූ ගොවි ජනතාව දැන් ආණ්ඩුවේ පඹයන් පුච්චති. පොහොර ගැටලුව මේ තරම් උග්‍ර වූ කාලයක් මේ රටේ තිබුණේ නැත. හැමදාමත් යූ.එන්.පී. විරෝධී ආණ්ඩු බලයට පත් කිරීම සඳහා නොබියව ඉදිරියට පැමිණි ගොවි ජනතාව දැන් ආණ්ඩුවට තර්ජනය කරන්නේ පොහොර නැතුව ගමට එන්න එපා කියාය. ඉහළ යන තෙල් මිල සහ බඩු මිල හේතුවෙන් රජයේ සහ පෞද්ගලික අංශයේ සේවකයන් සිටින්නේද ආණ්ඩුව සමඟ විරසකයකිනි. මෑතකදී පැවැති ගුරු විදුහල්පති වැටුප් සටන හේතුවෙන්ද මේ රජය බලයට පත් කිරීමට දායක වූ විශාල පිරිසකගේ සහාය රජයට අහිමිව තිබේ.

මේ හැර රාජ්‍ය නිලධාරීන් සහ ඇමැතිවරුන් අතර ද ගැටුම් හටගනිමින් තිබේ. කෘෂිකර්ම සහ සෞඛ්‍ය අමාත්‍යාංශවල මේ තත්ත්වය වඩාත් සංකීර්ණ බව පෙනේ. රජයේ බලවත්ම නිලධාරීන් දෙපළක් වූ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන – වරාය නගර පාලන කමිටුවේ සභාපති අතර ගැටුමද මෙහිදී කැපීපෙනෙයි.

මේ අතර යුගදනවි ගිවිසුම හේතුවෙන්ද ආණ්ඩුව ඇතුළෙන්ම හවුල්කාර පක්ෂවල විපක්ෂයක් බිහිවී තිබීමද සුවිශේෂී කරුණකි. නමුත් යුගදනවි ගිවිසුම ගැහුවේ අමෙරිකාව සමඟ නොව අමෙරිකානු සමාගමක් සමඟ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ විමල් වීරවංශ වැනි ඇමැතිවරයකු නායකත්වය දෙන මෙවැනි ආණ්ඩුව ඇතු‍ළේ විපක්ෂ පිළිබඳව දැන් බොහෝ දෙනා සැක පහළ කරති. මීට පෙර 20 වැනි සංශෝධනය අවස්ථාවේද එයට ප්‍රසිද්ධියේ විරෝධය පෑ විමල්ලා පසුව රජය රුකැගැනීමට අවශ්‍ය යැයි පවසා එම විරෝධය අතහැර දැමූහ. ඉන් පසුව වරාය ජැටිය ඉන්දියානු සමාගමකට පැවරීමට එරෙහි සටනේදීද විමල්ලාගේ භූමිකාව සැකයට භාජනය වූයේ බටහිර ජැටිය පවරා දුන් අවස්ථාවේ නිහඬ වීම හේතුවෙනි. සමහරුන්ගේ මතය ආණ්ඩුවට එල්ල වන විරෝධය විපක්ෂය දෙසට තල්ලුවීම වළක්වා එම විරෝධතාවලින් ආණ්ඩුව ආරක්ෂාව කිරීම විමල්ලාගේ යටි අරමුණ වන බවය. එය එහෙම වේදැයි මෙවර පැවැත්වෙන ආණ්ඩු පක්ෂ රුස්වීමේදී බලාගත හැකිවනු ඇත.

රටේ පවතින වත්මන් තත්ත්වය තුළදී ජවිපෙ එල්ල කරන විරෝධය ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කරන බවද පෙනෙන්නට තිබේ. සජිත්ලාගේ විපක්ෂය තවමත් ආණ්ඩුවට තදින් දැනෙන විරෝධයක් එල්ල නොකිරීමත් ඔවුන් පවතින උද්ඝෝෂණ අතරට ගොස් ඒ සඳහා මැදිහත් වන බවත් කැපී පෙනෙයි. එය ඔවුන්ගේ දේශපාලන උපක්‍රමයක්ද යන්න පැහැදිලි නැත.

කෙසේ වුවද ආණ්ඩුව පෙරළා පහර දෙන්නේ සජබට නොව ශ්‍රීලනිපයට බව පැහැදිලිය. දැන් පොහොට්ටුවේ මන්ත්‍රීන් ශ්‍රීලනිපයට සැලුන් දොරද පෙන්වා තිබේ. මෙයට ශ්‍රීලනිපය ලබාදෙන පිළිතුරු අනුව ඔවුන්ගේ ගමන් මග කුමක්දැයි පැහැදිලි කරගත හැක. එහෙත් මේ සියල්ලටම වඩා ආණ්ඩුවට හිසරදයක් වන විරෝධයක්ද තිබේ.

ඒ විරෝධය එල්ල වන්නේ කාදිනල්තුමන්ගෙනි. පාස්කු ඉරුදින ප්‍රහාරයට මාස 30ක් සම්පූර්ණ වූ පසුගිය 21 වැනිදා ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැති විශේෂ යැදුම් මෙහෙයට එක්වෙමින් කාදිනල්තුමන් මෙසේ පවසා තිබිණි.
අහිංසක ජනතාවගේ ලේවලින් බලයට ඒමට කවුරුන් හෝ උත්සාහ කළා නම් ඔවුන්ට ඒ බලය භුක්ති විඳින්නට කවදාවත් ඉඩ ලැබෙන්නෙ නෑ. මේ වන විටත් රටට උදා වී ඇති ශාපය වැරදි කළ අයට රට ඉදිරියට ගෙන යාමට නොහැකි අයුරින් ප්‍රශ්නයක් වෙලා.

එදා චන්ද්‍රිකාට එරෙහිව පත්තු වූ බෝම්බය වගේම මෙදා යහපාලනයට එරෙහිව පත්තු වූ පාස්කු බෝම්බයත් රටේ දේශපාලන ඉතිහාසය වෙනස් කළේය. කාදිනල්තුමන් මේ ඉඟි කරන්නේ ඊළඟට මේ රටේ දේශපාලනයේ සිදුවිය හැකි වෙනසක පෙරනිමිත්තක්ද?

0 comment
0

Related Posts

Leave a Comment