Home ගොසිප් පුවත් මේ ක්ෂේත්‍රයේ මැරෙනකම්ම ප්‍රගුණ කරන්න දේවල් තියෙනවා

මේ ක්ෂේත්‍රයේ මැරෙනකම්ම ප්‍රගුණ කරන්න දේවල් තියෙනවා

by Hela news

ඇය නමින් වරුණි අල්පොන්සො යි. ඇය කලා ක්ෂේත්‍රයෙහි වසර විස්සක් වැනි කාලයක සිට නිරත වන්නේ තිරය පිටුපස භූමිකාවකයි. තිරයේ දකින සුන්දර මුහුණු සුන්දරත්වයෙන් දිදුලවන්නට වෙහෙසෙන ඇය වේදිකා, ටෙලිනාට්‍ය, සිනමා, දැන්වීම් හා රූපවාහිනි අංග රචනා ශිල්පිනියක් ලෙස පතළ චරිතයකි. වරුණි සිය නාමය මේ වනවිට බ්‍රෑන්ඩ් එකක් කර අවසානය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඉතින් ඇය පැමිණි ගමනේ සිදු වූ බාධක අභියෝග මෙන්ම සොඳුරු තැන් පිළිබඳ කතා බහටයි අද අපි සුදානම.

කොහොමද මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට වරුණිට අවස්ථාව සැලසෙන්නෙ

2003 අනන්ත සිහිනයක් ටෙලිනාට්‍යයෙන් තමයි මම මේ ගමන ආරම්භ කරන්න මුල් ම පියවර තබන්නෙ. මගෙ බාප්පා පුෂ්පකුමාර බණ්ඩාරගම. ඔහු ක්ෂේත්‍රයේ පළපුරුදු අංග රචනා ශිල්පියෙක් වගේම සම්මානනීය අංග රචනා ශිල්පියෙක්. මගේ තාත්තා මාව රැගෙන ගොස් මගේ බාප්පට බාර දෙනවා.මේ ක්ෂේත්‍රයේ බාප්පා තමයි මගේ පළමුවෙනි ගුරුවරයා. මේ තරම් දුරක් එන්න එතනින් තමයි පදනම වැටෙන්නෙ.

අංග රචනා ශිල්පිනියක් වීම කුඩා කාලයේ දුටු සිහිනයක් සැබෑ වීමක්ද?

මම පාසල් යන කාලයේ ඉදන්ම පාසලේ විවිධ ප්‍රසංගවල රූපලාවණ්‍ය කටයුතු පිළිබඳ වැඩි කැමැත්තකින් කටයුතු කළා. හැම ගැහැනු ළමයෙක්ම කුඩා කාලයේ සිට ම රූපලාවණ්‍ය කටයුතු වලට බොහො ප්‍රියයි. මට මතකයි පාසල් යන කාලයේ මම මගේ අම්මගෙ මේකප් බඩු සියල්ලක්ම මගෙ හොස්ටල් එකට අරගෙන යනවා. මට දැනුම් තේරුම් තියන කාලයේ ඉදන්ම ආසාවක් තිබුණා තව කෙනෙක්ව ලස්සන කරලා එහි හැඩ දකින්න.ඒ අනුව තමයි මම 2001 වර්ෂයේ වේශ නිරූපණය සම්බන්ධව පාඨමාලාවක් හදාරලා මේ ක්ෂේත්‍රයට පැමිණෙන්නෙ.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රය සහ අංගරචනා ක්ෂේත්‍රයේ කියන්නෙ ක්ෂේත්‍ර දෙකක්. මේ දෙකෙ වෙනස ඔබ දකින්නෙ කොහොමද?

රූපලාවණ්‍ය සහ අංග රචනා ක්ෂේත්‍රය කියන්නෙ ඇත්තටම වෙනස් ක්ෂේත්‍ර දෙකක්. බහුතරයක් එය පටලව ගන්නවා.‍ රූපලාවණ්‍ය කියන්නෙ කෙනෙක්ව ලස්සන කරන එක. අංග රචනයක් කියන්නෙ පිටපත් රචකයාගෙ අධ්‍යක්ෂකවරයාගේ හිතේ මැවෙන චරිතය රූපරාමුවට ගැළපෙන ලෙස ගොඩනැඟීම. එයට විශේෂ හැදැරීමක්, පර්යේෂණ කිරීමක් අවශ්‍යයි. ඒ වගේම චරිතය ගොඩනැඟීමේදී චරිතය අවබෝධ කරගැනීමක් තිබිය යුතුමයි.

දශක දෙකක පළපුද්දක් තිබෙන අංග රචනා ශිල්පිනියක් විදියට ඔබ මේ ආ ගමනේ අභියෝග බොහොමයක් තිබෙන්නට ඇති නේද?

ඇත්තටම මෙය අභියෝගාත්මක රැකියාවක්. මම වැඩ පටන් ගන්නා කාලයේ මේ ක්ෂේත්‍රයේ අංග රචනා ශිල්පීන් ගොඩක් අඩුයි. කිහිප දෙනෙක් විතරයි හිටියේ. මම මේ රැකියාව කරන අතරතුර තේරුම් ගත්තු දෙයක් තමයි මාස දෙක තුනක් පාඨමාලා හදාරලා මේ රැකියාව කරන්න බැහැ. ප්‍රවීණයන් යටතේ අංග රචනය කාලයක් ප්‍රගුණ කළ යුතුයි.

දිගු කාලීන රැකියා ජිවිතය තුළ අමතක නොවන සිදුවීමකුත් මතක් කරමු.

මගේ ප්‍රියතම නළුවා ටෝනි රණසිංහයන්. මුලින්ම රැකියාව කරන්න ගත්තු දවසේ මට වේශ නිරූපණය කරන්න ලැබු⁣ණෙත් ටෝනි මහත්මයාගෙ. එයා මගෙ රැකියා ජීවිතයේ අමතක නොවන සිදුවීමක්.

වරුණි අංග රචනා ශිල්පිනියකට අමතරව රංගන ශිල්පිනියක් විදියටත් වැඩකටයුතු කළා නේද?

ඔව්. මට ඒ අවස්ථාව ලැබුණේ කැලුම් පාලිත මහිරත්නයන් නිසා. ඔහුගේ ‘විසුළ අහස යට’ ටෙලිනාට්‍යයේ අංග රචනා ශිල්පිනිය විදියට වැඩ කළා. උදාර පල්ලියගුරුගේ වගේම ඒ ටෙලිනාට්‍යයේ ප්‍රියංවදා කියන වෛද්‍යවරියගේ චරිතයත් නිරූපණය කළා. මේ දෙකම සාර්ථකව කරන්න මට හැකි වුණා.

ඔබ ටෙලිනාට්‍ය කොපමණ ප්‍රමාණයක අංගරචනා ශිල්පිනියක් ලෙස වැඩකටයුතු වල නිරත වුණාද?

එය නම් වශයෙන් කිව නොහැකි තරම් ප්‍රමාණයක්. මම කිහිපයක් කියන්නම්. විසුළ අහස යට ටෙලිනාට්‍යයෙන් ආරම්භ කළ ගමන අනන්ත සිහිනයක්, පුංචි පහේ මං, රවින්ද්‍ර විජේරත්නගේ අපි අපි වගේ, උදාර පල්ලියගුරුගේ චිත්‍රපටයක වගේම ශක්ති ටීවි හි දමිළ ටෙලිනාට්‍යකට අංග රචනා ශිල්පිනියක් විදියට වැඩ කටයුතු කළා. ඉතා විශාල නාට්‍ය ප්‍රමාණයක මම වැඩ කළා. මේ දිනවල අනෝජා වීරසිංහයන්ගේ ‘බ්‍රිත් විත් අනෝජා’ වැඩසටහනේ වැඩකටයුතු කරනවා. අයි ටීඑන් නාළිකාවේ ‘ආදරේ පළමු පාඩම’ වැඩසටහනේ කොටස් සීයකට සහභාගි වුණා.වසන්ත දුග්ගන්නාරාළගේ රාළ ටීම් එකෙ සහ අනුරුද්ධ ජයසිංහගේ නාට්‍යයක වැනි වැඩ කිහිපයක් මේ දිනවල කරනවා. ඒ වගේම චරණ ටීවීහි නිදහස් අංග රචනා ශිල්පිනියක් විදියට වැඩ කරනවා. මියුසික් වීඩියො තුන්සීයක පමණ අංගරචනා ශිල්පිනියක් විදියට වැඩ කළා. වගේම අවුරුදු දහයක වෙළෙද දැන්වීම් ගණන් කිරීමට නොහැකි තරමක වැඩකටයුතු කරලා තිබෙනවා.

මේ ගමනට ඔබේ පවුලෙනුත් ලොකු සහයෝගයක් ලැබෙන්න ඇති නේද?

මම දරුවන් තිදෙනෙකුගෙ මවක්. මගේ දියණිය ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා. අනෙක් දරුවන් දෙදෙනාත් සමඟ මගේ මව මාත් සමඟ ම ඉන්නවා. එයාලගෙ සහයෝගය ඇතුව සතුටින් ජීවත් වෙනවා. එයාලා තමයි මගේ ලොකුම ශක්තිය.

ප්‍රවීණ අංග රචනා ශිල්පිනියක් ලෙස මේ ක්ෂේත්‍රයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ආධුනික අංග රචනා ශිල්පිනියකට ලබා දීමට තිබෙන පණිවිඩය කුමක්ද?

ඇත්තටම මේ ක්ෂේත්‍රයෙහි මැරෙනකම්ම ප්‍රගුණ කිරීමට දේවල් තිබෙනවා. මම මගේ මූලික අවශ්‍යතා සපුරා ගත්තේ ආර්ථික වශයෙන් සම්පූර්ණ වුණේ මේ රැකියාව මඟින්. මේක මාස තුනක හයක පාඨමාලාවක් කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ක්ෂේත්‍රයේ පළපුරුදු අය සමඟ එකතු වී අත්දැකීම් ලබා ගැනීමට අවශ්‍යයි. ඒ වගේම අපේ විනය ගරුක බව, හික්මීම, ඉගෙන ගැනීම හැමදේම තිබෙන්නට අවශ්‍යයි. එවිට තමයි මේ ක්ෂේත්‍රයේ දිගු ගමනක් යෑමට හැකි වෙන්නෙ. මම විශාල ආත්ම තෘප්තියක් ලබනවා මේ රැකියාවෙන්. කෙනෙක් ලස්සන කරල හැඩ බලන එක තමයි මම ආසම දේ.

0 comment
0

Related Posts

Leave a Comment