Home කාලීන පුවත් මේක පරිවර්තන යුගයකට අතවනන අයවැයක්

මේක පරිවර්තන යුගයකට අතවනන අයවැයක්

by Hela news

පළමු වසරෙදි 50%ක් වත් කාබනික කෘෂිකර්මයට යා යුතුයි

කොරෝනා ව්‍යසනයෙන් උගත් පාඩම් තියෙනවා

සංචාරක කර්මාන්තයෙන් ඉක්මනින්ම ඩොලර් උපයාගත හැකියි

නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන 2022 අයවැයේ පුළුල් දැක්ම, ජනතාව මුහුණ දී සිටින බඩු මිල ප‍්‍රශ්නය සහ ඩොලර් ප‍්‍රශ්නය සහ සංචාරක කර්මාන්තය පණගැන්වීම ඇතුළු කාලීන ආර්ථික කරුණු කාරණා රැසක් ගැන අපි ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා සමග සාකච්ඡා කළෙමු. පහතින් සටහන් වන්නේ ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ඇසූ ප‍්‍රශ්නවලට ආචාර්ය ජයසුන්දර මහතා පිළිතුරු ලබාදුන් අයුරුයි.

ප‍්‍රශ්නය – 2022 අයවැය රටේ පරිවර්තනයක් සිදුකරන අයවැයක් ලෙස ඔබතුමා පසුගියදා හඳුන්වා දීල තිබුණ. මේ අයවැය ගැන ඔබ එහෙම හැඳින්වීමක් කළේ ඇයි?

පිළිතුර – අයවැය කතාව කියල මුදල් ඇමැතිවරයා සාම්ප‍්‍රදායිකව කරන්නේ එදා සිටම ඉතාම ආකර්ෂණීය ලෙස විසර්ජන පනතේ දෙවන විවාදය ආරම්භ කිරීමයි. ඒ කතාව කරලා ඒකට විවාදයක් පවත්වලා ඡන්ද විමසීමක් කරනවා. ඊළඟට කාරක සභා අවස්ථාවේදී විසර්ජන පනත සම්මත කරලා වාර්ෂිකව මුදල් වියදම් කිරීමේ බලය විධායකයට ගැනීමේ ක‍්‍රියාවලියනේ කරන්නේ. හැබැයි ලෝකය අද තියෙන කොරෝනා අර්බුදයත් සමග විවෘත කරන්න රටවල්වලට අභියෝග කරන ආර්ථිකවලට මේ ඉදිරිපත් වෙන්නේ පළවෙනි අයවැයනේ. අපේ රට ප‍්‍රථම වරට කොරෝනා ව්‍යසනයෙන් රැලි තුනකට මුහුණ දීල ඒ පාඩම් උඩ කටයුතු කරනවා. දැන් මේ සංචරණ සීමා කියන එක තිරසාර විසඳුමක් නෙවෙයි කියන එකත් ලෝකය පිළි අරගෙන තියෙනවා. අලූත් සෞඛ්‍ය ක‍්‍රමවේද අනුගමනය කිරීම හැරුණම එකම විසඳුම එන්නත්කරණය කියල පිළිගෙන ලෝකයේ රටවල් ජනගහනයෙන් වැඩි පිරිසක් එන්නත් කළ විට අපට දැන් තියෙන දේ තමයි කොහොමද අපි මේ රට විවෘත කිරීම කරන්නේ කියල. ඒක කරන්න ප‍්‍රථම ප‍්‍රවේශය එන්නේ මේ අයවැයෙන්. ඒ නිසා මීට කලින් වසර 72 ක තිබුණු අයවැය කතාව වෙන්න බෑ මේක. ඒ එකක්. එතකොට අපි කවදාවත් හිතපු නැති විදියට ගෝලීයකරණය වෙන ලෝකය තනිකර නැවත හුදෙකලා වුණානේ කොරෝනා වසංගතය නිසා. පුද්ගල දුරස්ථභාවය පමණක් නෙවෙයි අපි මෙතරම් කල් බද්ධ වූ ලෝකය ඈත් වුණා. ගුවන් තොටුපොළවල් වැහුව, භාණ්ඩ සැපයුම් ක‍්‍රියාවලිය වහල ලෝකයේ සංචාරක කර්මාන්තය නැවතිලා තිබුණ. මේක නැවත පණ ගැන්වීමේ ක‍්‍රියාවලිය එකක්.

මීළඟ කරුණ මේ ව්‍යසනය විසින් මේ රටේ පාලකයෝ ඇස් ඇරලා බලපු නැති ප‍්‍රශ්නයක්… අර මහින්ද හාමුදුරුවෝ ඇස් ගෙඩි දෙකට හෙණ ගහල ද සිංහලයෝ කියන්නා වගේ පෙන්වල දෙනවා. බලන්න ඔබලාගේ ගෙවුම් ශේෂය ඔබලාට නඩත්තු කරන්න බෑ. අපනයනය ඩොලර් 10,000 යි ආනයනය ඩොලර් 20,000 යි. මේ වෙළෙඳ හිඟයෙන් කියන්නේ උඹලට නිෂ්පාදන ආර්ථිකයක් නෑ. මේ ආර්ථිකය බද්ධ වෙලා තියෙන්නේ පිටරටින් ආනයනය කිරීමට මිසක් වෙන දෙයක් නෑ. එතකොට මේක උඹලට කරන්න පුළුවන් ලෝකය සාමාන්‍ය තත්ත්වයේ තියෙනවා නම්. විදේශ රැකියාවලින් සංචාරකයන්ගෙන් වෙළෙඳ හිඟය පියවා ගන්නවා. තව ටිකක් සල්ලි ඕන නම් අර ගෙවුම් ශේෂයේ ණය සේවාකරණයට හරි යන්න ණය ටික ගත්තම අපි කියනවා ගෙවුම් ශේෂය තුලනය වුණා කියල. නැත්නම් අපි කියනව අතිරික්තයකුත් තියෙනවා කියල. ඒ නිසා සංචිතත් තියෙනවා කියනව. ඒත් සංචිත ඇවිත් තියෙන්නේ ණයෙන්. වර්තන ගිණුම සකස් වෙලා තියෙන්නේ විදේශ රැකියා සහ සංචාරක ඉපයුම් වගේ දේවලින්.

එතකොට මේ කොරෝනා එකෙන් දුන්න පණිවිඩය තමයි මේවා නැති වෙන්න පුළුවන්. දැන් පාස්කු ප‍්‍රහාර, ඊට පෙර එල්.ටී.ටී.ඊ. ප‍්‍රහාරවලින් ටික කාලෙකට පසු සංචාරකයෝ ආපසු එනවනේ. මේකේ ඒක බින්දුවට ගෙනාව. යන්නත් බෑ එන්නත් බෑ. දේශීය සංචාරත් නැවතුණා. මිනිසුන්ට කතරගම පවා යන්න බැරි වුණා. එතකොට මේකෙන් කඩා වැටුණු ආර්ථිකය අති භයානකයි. විදේශ විනිමය පමණක් නෙවෙයි රැකී රක්ෂාත් නැති වුණා. සමහර අය ගමට ගිහින් ආපහු හෝටල්වලට එන්නෙත් නෑ විකල්ප රස්සාත් හදාගෙන. කොහොම හරි අපි නොදන්නා ආර්ථික ගැලපීම් රාශියක් මේ තුළ වෙනවා.

කොරෝනාව වෙනුවට වෙන දෙයක් එන්න පුළුවන්. අපි දන්නේ නෑ ඒක. මේ ගහල තියෙන වැක්සින් එක නෙවෙයි එතකොට අවශ්‍ය වෙන්නේ. මේ අලූතින් ඇතිවෙන ගෝලීය සෞඛ්‍ය අවදානම තුළ මෙතෙක් ආනයන ආදේශන ගැන කතා කළ විදියට නෙවෙයි රටක් කිසියම් ප‍්‍රමාණයකට නිෂ්පාදනයක් තමන්ගේ පැවැත්මට ඇති කරගන්න ඕන. විශේෂයෙන් දූපත් රටකට ස්වභාවිකව ලැබෙන ආරක්ෂණය තුළ කොපමණ දුරට ආහාර භෝගවලින් ස්වයංපෝෂිත වෙන්න පුළුවන් ද? කොච්චර දුරට බලශක්තියෙන් ස්වයංපෝෂිත වෙන්න පුළුවන් ද? ඒක තමයි මේ සෝලාවල කතාව. මෙන්න මේක තමයි ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මෙන් මතුවෙන දර්ශනය. එතකොට මේ දර්ශනය යථාර්ථයක් කරගන්න සාමාන්‍යයෙන් ගෙනාපු විසර්ජන පනත හරි යන්නේ නැහැ. ඒක අලූත් මාවතකට ගේන්න ඕන. ඒ කියන්නේ මම දකින්නේ ඒ තත්ත්වයන් තුළ එදා 70 දී හෝ 77 දී මුහුණ දුන්න අභියෝගයට වැඩිය දැවැන්ත අභියෝග රැසක් ඇති පසුබිම සමග තමයි 2022 අයවැය සකස් වෙන්නේ. එතකොට මට හිතාගන්න බැහැ. මේ අයවැය සාම්ප‍්‍රදායික අයවැයක් ලෙස හදන්නේ කොහොමද කියල.

රට එන්නත්කරණය සමග විවෘත කළත් ජනතාවගේ ආදායම් එකපාර එන්නේ නෑනේ. ආදායම් එන්න කාලයක් යනවා. සමහර අය තමන්ගේ ආර්ථික කටයුත්ත පටන් ගන්න පොඩි ආරම්භ මුදලක් ඉල්ලනවා. ආරම්භ කාරක ප‍්‍රාග්ධන අවශ්‍යතා මතුව තිබෙනවා. ගොඩක් ප‍්‍රශ්න. ඒ නිසා මිනිස්සු නැගිට්ටුවාගෙන ආර්ථිකය පණ ගන්වා ගන්න ගමනකට තමයි අපිට ප‍්‍රවේශ වෙන්න වෙන්නේ. දැන් මිනිස්සුන්ට හුස්ම ගැනීමට අවස්ථාවක් දෙන්න ඕන. ඒ හුස්ම ගැනීමේ අවස්ථාවෙදි ජනතාවට තවක් බරක් එන්න බෑ. ඒ බර ජාති දෙකක්. එකක් මිල ගණන් වැඩි වීමේ බර. දෙවෙනි එක නොගෙවා ඇති එකතු වූ බිල් සහ ණය වාරික ගෙවීමේ බර කොයි විදියට ද ප‍්‍රතිව්‍යුහගත කරන්නේ කියන එක. කොපමණ කාලයක් ඒ සඳහා දෙනවා ද, ඒවා පොලී රහිතව ගන්නව ද කියන එක අපි හිතන්න ඕන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා අද පිළිගන්න තත්ත්වයක් තමයි සැපයුම් පැත්තට ඇති වූ බර, එතෙක් අපි කළමනාකරණය කරපු ඉල්ලූම් කළමනාකරණයට වඩා දරුණුයි. තියන ඉල්ලූමවත් සපයන්න සැපයුම් ධාරිතාවක් නෑ. එය යළි පණ ගන්වන්න ඕන.

ප‍්‍රශ්නය – කොවිඞ් වසංගතය හමුවේ ඩොලර් ප‍්‍රශ්නයක් ද අපට තිබෙන නිසා සංචාරක කර්මාන්තය අපට ඩොලර් උපාය ගැනීමට තියෙන හොඳ අවස්ථාවක්. ඒ සඳහා රජයේ තියෙන අවධානය කොහොමද?

පිළිතුර – සංචාරක කර්මාන්තය කියන්නේ පෞද්ගලික කර්මාන්තයක්. විදේශ රැකියාත් එහෙමයි. රජය ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම කරලා පෞද්ගලික අංශය මේකේ ඉස්සරහට එන්න ඕන.

ප‍්‍රශ්නය – අද අපේ රටට එන්න විදෙස් සංචාරකයෙක් තීරණය කළොත් ගුවන් ටිකට්පතක් අරන් හෙට අපේ රටට එන්න පුළුවන්? එහෙත් අපනයන වැඩි කරගන්න යම් කාලයක් ගත වෙන්න ඉඩ තියෙනවා?

පිළිතුර – ඔව්. කාලයක් ඒකට යනවනේ. ඒ නිසා ඉස්සෙල්ලම විදේශ විනිමය ගේන්න පුළුවන් කර්මාන්තය සංචාරක කර්මාන්තය. ඊට පසු විදේශ මුදල් එවීමට ඇති පහසුකම් වැඩි කිරීම කරන්න ඕන. අපිත් එන්නත්කරණය කරලා, අපි දූපත් රටක් වශයෙන් හරියට සැලසුම් කරගත්තොත් මේක පහසුයි.

ප‍්‍රශ්නය – මිනිස්සු වෙනසට අකමැති ස්වභාවයක් තිබෙනවා. ඉක්මනින් රජය කාබනික පොහොර ප‍්‍රතිපත්තියට ගමන් කිරීමේදීත් මේ ප‍්‍රශ්නය ඇතිව තිබෙනවා. ගොවියාට මේ ගැන තවම හුරුවක් නැහැ?

පිළිතුර – ඒ හුරු වීම එකක්. අනිත් එක අපේ සාම්ප‍්‍රදායික ගොවියෝ වුණත් පසුගිය වසර 50 තුළ මම දැක්කේ නවීන ගොවිතැනක්නේ කරන්නේ. එක්කෝ බීජ පැළෑටි අලූතින් ගෙනත් හයිබි‍්‍රඞ් කිරීම් යනාදිය මගින් ඵලදාව වැඩි කර ගැනීම, රසායනික පොහොර, වල්නාශක, කෘමිනාශක යනාදියට හුරුවෙලා තියෙනවා.

ප‍්‍රශ්නය – සෞභාග්‍යයේ දැක්මේ තියෙන්නේ වසර දහයකින් කාබනික කෘෂිකර්මයට යන්න ඕන කියලා නේද?

පිළිතුර – ඒ දහයෙන් කියන්නේ සමස්ත කෘෂිකර්මයනේ. ඕකේ ජනාධිපතිතුමා කියන්නේ වසර දහයකින් කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම කාබනික අංශයටම ගෙනි යනවා කියලයි. ඒ කියන්නේ රබර් අයිති වෙන්නෙත් කෘෂිකර්මයටනේ. නමුත් රබර් ආහාරයක් නෙවෙයි.

ප‍්‍රශ්නය – ඔබ කියන්නේ මේ කාබනික කෘෂිකර්මයට යන ගමනේ ආරම්භය සිදු කළ බව ද?

පිළිතුර – මේ ආරම්භය. එහිදී අපේ ප‍්‍රධාන ආහාරය සහල්. ඊට පසුව එළවළු, පලතුරු තියෙනවා. දැන් අපේ තියෙන ස්වභාවික නිෂ්පාදන තියෙනවා. පොල් තියෙනවා. පොල් අපේ ප‍්‍රධාන ආහාරයක්නේ. වෙනද පොල්වලට පොහොර දැම්මෙත් නෑනේ. දැන් තමයි මේ පොහොර උනන්දුවක් මතු වෙලා තියෙන්නේ. එතකොට ජනාධිපතිතුමා කියන වසර දහයක පරිවර්තනයක මේ ආරම්භක වසරේ සියයට 50 කට වැඩි වෙන්න ඕනනේ. එයට හේතුව මම කියන්නම්. මේ වෙනකොටම සියයට 20 ක් විතර කාබනිකවලින් කරනවා සද්දයක් නැතුව. මොක ද මේක පටන් ගත්තේ අවුරුදු 20 කට විතර කලින්. දි.මු ජයරත්න ඇමැතිතුමාගේ කාලේ ඉඳන්ම මේක ටික ටික කරගෙන ආව. ඇතැම් සමාගම් මේක කලාප වශයෙන්ම කරනවා. ඒ නිසා මේ අපි පටන් ගන්නේ බින්දුවෙන් නෙවෙයි. අපි පටන් ගන්නේ මම හිතන්නේ සියයට 15 ක 20 ක විතර මට්ටමකින්. ඒවායින් සමහර ඒවා කොහොමටත් කාබනිකයි. තල්, කිතුල්, පොල් සහ සමහර එළවළු පලතුරු එහෙම. කොස්, දෙල්, දිවුල්, සියඹලා. එහෙම කොටසක් තියෙනවා කොහොමත් කාබනිකයි.

අපේ පසුගිය අවුරුදුවලත් සුළු සුළු ප‍්‍රමාණයෙන් කාබනික පැත්තට ගමන් කරා.

0 comment
0

Related Posts

Leave a Comment