Home ක්‍රීඩා පුවත් මෙසී පැරිසියට විසි එක්වසරක බාසිලෝනා සම්බන්ධය බිඳුනේ ඇයි

මෙසී පැරිසියට විසි එක්වසරක බාසිලෝනා සම්බන්ධය බිඳුනේ ඇයි

by Hela news

මෙසී පසුගිය දා සුවහසක් බාසිලෝනා ක්‍රීඩාලෝලීන් හැඬවූයේ ඔහු ද හඬා වැලපෙමිනි. ඒ දසක දෙකකට අධික කාලයක් තිස්සේ තමන් ක්‍රීඩා කළ පාපන්දු සමාජය අතහැර යන බවට නිවේදනය කරමිනි. මෙසී එසේ බාසිලෝනාව අතහැර ගියේ ඇයි? එම තීරණය ලබා ගැනීමෙන් අනතුරු ව සිදු වූයේ කුමක් ද? මේ ඒ සම්බන්ධයෙන් සැකෙවින් ලියා දැක්වීමකි.’

ඔහු පැරිසියට ආවේ තම ප්‍රිය බිරිය, දරු තිදෙනා සමඟ පෞද්ගලික ජෙට් යානයක ය. ස්පාඤ්ඤයේ සිට පැමිණි ඔහු පිළිගැනීමට විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් ඒ මහා නගරයේ රැස්ව සිටිය හ. එම මහ පිරිස් පාලනය කිරීම උදෙසා පොලිසිය විසින් බාධක ද යොදා තිබුණේ ය.

එහෙත් තම පාපන්දු වීරයා පිළිගැනීමට පොදි කෑ ප්‍රංශුවන්ගේ ආදරය පිළි ගනිමින් ලියොනල් මෙසී හා ඔහුගේ පවුලේ සාමාජිකයන් පොලිස් ආරක්ෂාව යෙදූ විශේෂ රථ පෙළකින් පිටත්ව ගිය හ. මේ ඔහු ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු සමාජයෙන් ඉවත් ව ප්‍රංශයේ පී.ජී.එස්. පාපන්දු සමාජය හා එක්වීමට පැමිණි අවස්ථාවේ පැරිසියේ තත්ත්වය ය.

මෙසී බාසිලෝනාවෙන් ගියේ ඇයි ?

මෙසී බාසිලෝනා ක්‍රීඩා සමාජය සමඟ විසි එක් වසරක් ක්‍රීඩා කළේ ය. එහෙත් පසුගිය දා ඔහු එයින් සමුගැනීමට තීරණය කළේ ය. ඊට හේතු වූයේ ඔහු හා බාසිලෝනා පාපන්දු සමාජය අතර ඇති කර ගෙන තිබූ ගිවිසුම් සම්බන්ධ අර්බුදය ය. එම තීරණය සියලු පාර්ශ්ව දැඩි සංතාපයට පත්කර තිබිණි.

‘කොහොම හරි අපිටත් උවමනා වුණේ මෙසී සමඟ නව ගිවිසුමක් අත්සන් තැබීමට යි. ‘ලාලිගා’ නීති රීතිවලට අනුව සිදු කරන්න හැකියාවක් නෑ. ‘

මෙසී ගේ හා බාසිලෝනා ක්‍රීඩා සමාජය අතර සම්බන්ධය ඈවර කිරීම පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් බාසිලෝනා ක්‍රීඩා සමාජය පවසා තිබුණේ ය.

ලාලිගා නැත හොත් ‘Liga Nacional de Fútbol Profesional’ යනු ස්පාඤ්ඤයේ ක්‍රියාත්මක ඉහළ ම වෘත්තීය පාපන්දු තරගාවලියේ සංවිධායක අධිකාරිය ය. එය පිහිටුවා ගෙන ඇත්තේ වෘත්තීය පාපන්දු සමාජ තරගාවලියේ ගුණාත්මක භාවය ඉහළ නංවා ගැනීමේ අරමුණෙනි.

ලාලිගා නීති රීතිවලට අනුව ස්පාඤ්ඤ වෘත්තීය පාපන්දු ක්‍රීඩා සමාජාන්තර තරගාවලිය වෙනුවෙන් වියදම් අරබයා යම් සීමාවක් පැන වූයේ 2013 වසරේ සිට ය. ඊට අනුව අනුබද්ධ ක්‍රීඩා සමාජයන් උපයා ගන්නා ආදායමෙන් සියයට හැත්තෑවක් පමණක් ක්‍රීඩක ගෙවීම් හා සෙසු වියදම් වෙනුවෙන් වැය කළ යුතු වේ.

කොවිඩ් හා ආර්ථිකය

ඊට වැඩි වශයෙන් ම ඉවහල් වූයේ කොවිඩ් බලපෑම ය. ගෝලීය ආර්ථිකය, කොවිඩ් තත්ත්වයෙන් දැඩි ව පීඩා විඳීමත් සමඟ පාපන්දු තරග ඉඩෝර සමයේ ක්‍රීඩකයන්ගේ වැටුප් විශාල ලෙස කප්පාදු කෙරිණි. එය ක්‍රීඩකයන්ගේ ගෙවීම් සම්බන්ධයෙන් ඇති කර ගෙන තිබූ ගිවිසුම බිඳලීමක් බවට ද පත්විණි. එය මෙසීට ද වෙනසක් ඇති කර තිබුණේ නැත.

එහෙත් එලෙස ගෙවීම් සීමා වීම ‘ලාලිගා’ අර්බුදයක් නොව බාසිලෝනා පාපන්දු සමාජයේ අර්බුදයක් බවට ද මතයක් පවතී. මුදල් උපයා ගැනීම අසීරු වීම හා ක්‍රීඩක කොන්ත්‍රාත්තු පවත්වාගෙන යෑමේ අර්බුදයන් නිර්මාණය වීම ලාලිගා ප්‍රශ්නයක් නොවේ. එය අදාළ ක්‍රීඩා සමාජයේ අර්බුදයකි. එසේ නම් පළමු ව වරද පැටවෙන්නේ බාසිලෝනා කණ්ඩායමේ කළමනාකාරිත්වයට ය.

බාසිලෝනාවේ මතය

එම ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති ජෝන් ලැපෝටා මාධ්‍ය හමුවක් පවත්වමින් මෙසී හා බාසිලෝනා ගිවිසුම අවසන් වීම ගැන ප්‍රකාශ කළේ ය.

‘අප මෙසී එක්ක ඇති කර ගන්න ගිය එකඟතා බිඳ වැටුණා. ලාලිගා නීති අනුව අපට ඔහුගේ වේතනය ගැන තවත් කිසිවක් කරන්න බෑ. දැන් අපිට වගේ ම ඔහුටත් යථාර්ථයට මුහුණ දෙන්න සිදු වී තිබෙනවා.’ යැයි පවසා තිබිණි.

මෙසී ගේ සිව් වසරක් වූ බාසිලෝනාව හා අත්සන් තැබූ ගිවිසුම අමෙරිකානු ඩොලර් මිලියන 675 ක් විණි. අදාළ තීරණය සම්බන්ධයෙන් එවකට බාසිලෝනා ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා වූ ජෝන් බර්තමියු ද දැඩිව මැදිහත් වූ පුද්ගලයෙකි. පසුව බර්තමියු සභාපති ධුරයෙන් ඉවත් වූ අතර ලැපෝටා නව සභාපතිවරයා වශයෙන් වගකීම් භාරගනු ලැබුවේ ය.

බාසිලෝනා සභාපති ධුරය සඳහා වූ නිලවරණ සටනේ දී ද ලැපෝටාගේ ප්‍රධාන සටන් පාඨ අතර මෙසී රැක ගැනීම දැක්විණි. එහෙත් බලයට පත්වීමෙන් අනතුරුව බාසිලෝනා ක්‍රීඩා සමාජයේ ආර්ථික තත්ත්වය පිරික්සා බැලීමෙන් පසු ලැපෝටා කියා සිටියේ තමන් සිතුවාට වඩා ආර්ථික අර්බුදය බරපතළ බවයි.

ලාලිගා ණය මුදල

මේ අතර ලාලිගා පාලන අධිකාරිය විසින් කිසියම් ණය මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් කතා කෙරුණද එයට එකඟ වීමට බාසිලෝනා සභාපතිවරයා නොකැමැත්ත පළ කර තිබිණි.

‘ක්‍රීඩා සමාජය තියෙන්නේ අපි හැමෝටම උඩින්. ඒ කියන්නේ ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට හා සභාපතිවරුන්ට වඩා ඉහළින්. අපිට මුදල් ටිකක් ලැබෙන්න යන බව ඇත්ත. නමුත් ඊට එකඟ වුණොත් බාසිලෝනා ක්‍රීඩා සමාජයේ අනාගතයට එය විශාල බලපෑමක් වෙනවා.’ ලැපෝටා කීවේ ය.

මෙසී පැවසූයේ කුමක් ද?

මේ සියලු සිදුවීම් මැද මෙසී, තම සමුගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් හැඟුම්බර ප්‍රකාශ සිදු කළේ ය.

‘ඇත්තටම මට හරි ම කනගාටුයි. මට බාසිලෝනාව දාලා යන්න කිසිම උවමනාවක් නෑ. මොකද මේ තමයි මම ආදරයම කරන ක්‍රීඩා සමාජය.’ ඔහු පැවසූයේ මතුවන කඳුළු නවතා ගැනීමට උත්සාහ කරමිනි.

‘මම මෙතැන රැඳී ඉන්න කළ හැකි හැම දේම කළා. මගේ වැටුප සියයට පනහකින් අඩු කර ගත්තා. බාසිලෝනා ක්‍රීඩා සමාජයට තවත් කිසිදෙයක් මගෙන් අසන්න පුළුවන්කමක් තිබුණේ නෑ.’ ඔහු පැවසුවේ ය.

යන්නේ කොහේ ද?

මෙසී බාසිලෝනාව හැර දමා යන්නේ පැරිස් සෙන්ට් ජර්මේනියා නැත හොත් පී.එස්.ජී. කණ්ඩායමට ය. එසේ යන්නේ වසර දෙකක සේවා ගිවිසුමක් වෙනුවෙනි. නව ක්‍රීඩා සමාජය හා මෙසී අතර ඇති කර ගෙන ඇති ගිවිසුමට අනුව වසරකට අමෙරිකානු ඩොලර් මිලියන හතළිස් එකක ගෙවීමක් ලැබීමට නියමිත ය.

‘මම ඉන්නේ නොඉවසිල්ලෙන්. ඉක්මනටම පී.එස්.ජී. වෙනුවෙන් පිටියට බසින්න. මේක මගේ ජීවිතය නව පරිච්ඡේදයක්. මේ ක්‍රීඩා සමාජය මගේ අරමුණ එක්ක පැහැදිලිව ගැළපෙනවා.’ යැයි මෙසී පවසයි.

‘මෙසී අපේ ක්‍රීඩා සමාජයට එක්වෙන්න තීරණය කිරීම සතුටට කරුණක්. ඔහුත්, ඔහුගේ පවුලේ සාමාජිකයනුත් අපි සාදරයෙන් පිළිගන්නවා.’ යැයි ප්‍රකාශ කර තිබුණේ එම ක්‍රීඩා සමාජයේ සභාපති නසර් අල්කෙලායිෆි ය.

0 comment
0

Related Posts

Leave a Comment