Home දේශීය පුවත් මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක හිමියෝ වසර 66ක් සසුන් කෙත එළිය කළා

මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක හිමියෝ වසර 66ක් සසුන් කෙත එළිය කළා

by Hela news

ශෝක පණිවිඩයක් නිකුත් කරමින් අගමැති කියයි

ප්‍රංශයේ ජේතවන විහාරාධිපති, මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ, ප්‍රංශයේ ප්‍රධනා අධිකරණ සංඝනායක, ප්‍රවචන කීර්ති ශ්‍රී අග්ගාරාමාභිධාන, ත්‍රිපිටක ධර්ම විශාරද, රෝහණ කීර්ති ශ්‍රී ,රාජකීය පණ්ඩිත, ආචාර්ය, මුරුංගාගස්යායේ ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේ අපවත් වූ පුවත ඇසීමෙන් තමන් බලවත්සේ සංවේගයට පත් වූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

කුඩා කල සිටම සම්බුදු සසුනට තිබු දැඩි ඇල්ම නිසා උතුම් බුදුපුතෙකු ලෙස වසර 66ක් සසුන් කෙත එළිය කළ නායක ස්වාමීන් වහන්සේ, සැමගේ සිත් දිනාගත් මහා තෙරනමක් බව අගමැතිවරයා නිකුත් කළ ශෝක පණිවිඩයේ සඳහන් වේ.

එම ශෝක පණිවුඩයේ මෙසේද සඳහන් වේ.

භික්ෂුවක ලෙස අධ්‍යාපනයට කැපවූ නායක ස්වාමීන් වහන්සේ, 1968 වර්ෂයේ දී වසරකට එක් ශිෂ්‍යයකුට පමණක් හිමිවන, ශ්‍යාම රාජ ත්‍යාගය දිනා ගැනීමට ද දක්ෂ වූහ.

පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් තම උසස් අධ්‍යපනය ලබා විද්‍යාල ආචාර්යවරයකු වශයෙන් කටයුතු කළහ.

කොරෝනා වසංගතයත් සමඟ වසර කිහිපයක් ලංකාවට නොවැඩියත්, ඊට පෙර සෑම වර්ෂයකම මවුබිමට වැඩම කළ නායක ස්වාමීන් වහන්සේ, වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයන්ට ශිෂ්‍යත්ව ලබාදීම, දුගී ජනතාවට නිවාස ඉදිකරදීම, ඇස් කණ්ණාඩි දීම වැනි සමාජ සත්කාරයන් රැසක් ඉටු කළ භික්ෂුවකි.

විදේශ ධර්මධූත සේවය නිසිලෙස ඉටුකළ නායක ස්වාමීන් වහන්සේ, විදේශවල ජීවත්වන භික්ෂූන් වහන්සේලාගේ හා විදේශ ජනතාවගේ ගෞරවාදරයට නොමඳව පාත්‍ර වූහ.

මා සමඟ දැඩි කළ්‍යාණ මිත්‍රත්වයෙන් කටයුතු කළ නායක ස්වාමීන් වහන්සේ, ලංකාවට වැඩම වූ සෑම අවස්ථාවකදීම මා හමු වී සුවදුක් විචාල අතර, ඒ සෑම විටම දුන් අවවාද අනුශාසනා උන්වහන්සේට ගෞරවයක් පිණිස, මෙම සංවේගජනක අවස්ථාවේ දී සිහිපත් කිරීමට කැමැත්තෙමි.

නායක ස්වාමීන් වහන්සේගේ අපවත්වීමෙන් ලද හිඩැස කලකට පිරිමැසිය නොහැකිය.

පුරා වසර 76ක් ආයු වළදා අපවත් වී වාදාළ, ගෞරවාර්හ මුරුංග­ාගස්යායේ ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේට, උතුම් නිවන්සුව අත්වේවා’ යි ප්‍රාර්ථනා කරන අතර, උන්වහන්සේගේ සහෝදර හා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාටත්, විදේශ දායක පින්වත් සැමටත්, සියලු ඥාතීන්ටත් මාගේ බලවත් සංවේගය පිරිනමා සිටනවා.

0 comment
0

Related Posts

Leave a Comment