Home කාලීන පුවත් මිල පාලනයට කවදද මේ තරම් ගැසට් ගැහුවේ

මිල පාලනයට කවදද මේ තරම් ගැසට් ගැහුවේ

by Hela news

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

  • අපේ ප්‍රශ්න කියන්නවත් අහන්නවත් කෙනෙක් නෑ
  • ආණ්ඩුව ෆේල්ද නැද්ද කියලා බලන අයට පේනවා
  • අත්දැකීම් නැති අයට වගකීම් පවරලා
  • හොඳටම ජනතාව රවට්ටන පිරිසටයි වැඩියෙන්ම ඡන්ද හම්බවෙන්නේ
  • ජාතික දේපළ විකුණන්න එපා කියලා ගිරිය යටින් කෑගැසූ අය දැන් කෝ?
  • 20 සංශෝධනය ගේනකම් අපි දන්නෙ නෑ

ඔබ දේශපාලනඥයකු වශයෙනුත් වෘත්තීයවේදියකු වශයෙනුත් අත්දැකීම් බහුල කෙනෙක්. ඔබ ආණ්ඩු ගොඩක හිටිය කෙනෙක්. ඔබගේ අත්දැකීම් අනුව මේ ආණ්ඩුව ගැන මොකද හිතන්නේ?

1991 දී තමයි මම දේශපාලනයට ආවේ. ශ්‍රීලනිපයෙන් කෝට්ටේ ආසනයෙන්. ඊට පස්සේ ^93 මම පළාත් සභාවට ගියා. 1994 වෙද්දී මම ඇමති වෙලා, 1995දී මම පළාත් මහ ඇමති වුණා බස්නාහිරෙන්. එතන 2000 වෙනකල් ඉඳලා මම 2000දී මට ඡන්දයක්වත් නැති ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලලා වැඩිම මනාප අරගෙන පාර්ලිමේන්තු ආවා. ඒ ගිය ගමන් මට දුන්නේ අධ්‍යාපන අමාත්‍යංශය. එදා ඉඳලා මම උසස් අධ්‍යාපන, විදුලිබල, ප්‍රෙට්‍රෝලියම්, පරිසර, විද්‍යා හා තාක්ෂණ වගේ ඇමැතිධුර ගොඩක් දරලා තමයි අද රාජ්‍ය ඇමතිකමේ ඉන්නේ. මම තමයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළමු ලේකම්. ඒ සන්ධානයේ ව්‍යවස්ථා කෙටුම්පත් හදලා ලියාපදිංචි කළේ මම මැතිවරණ 12කයි, ජනාධිපතිවරණ තුනකයි නාමයෝජනා හැදුවේ මම අතින්. එක වරදක් වුණේ නෑ. ඒ වගේම මම ඉස්සෙල්ලම වැඩකළේ ලංකා බැංකුවේ. ඊටපස්සේ නීතීඥයෙක් වුණා 1985දී. පශ්චාත් උපාධිය ජ’පුරේ කළේ 2004 දී. මේ වෙද්දී මම රාජ්‍ය පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධිය අවසන් කරලා තියෙන්නේ.

ඔබ මේ නොකියා කියන්නේ ඔබ වැනි අයගෙන් ආණ්ඩුව ප්‍රයෝජනයක් ගන්නේ නෑ කියලද?

ඔබ අර ආරම්භයේදී ඇහුවා වගේ අද දකින ප්‍රශ්නය තමයි අධ්‍යාපන පසුබිමක් ඇති, දේශපාලන අත්දැකීමක් ඇති සුදුසුකම් සහිත අයට තැනක් ලැබෙනවා වෙනුවට, ඒ කිසිම අත්දැකීමක් නැති අයට වගකීම් පවරලා. මේ නිසා වර්තමානයේ ලෝක වසංගත තත්ත්වයත් එක්ක ඇතිවෙලා තියෙන ආර්ථික දේශපාලන අවුල්සහගත තැන් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට වගකීම් පවරපු අයට නොහැකි වීම තමයි අද මෙතන වෙලා තියෙන ලොකුම ප්‍රශ්නය. ඒ නිසා තමයි ප්‍රධාන වශයෙන් චෝදනා එල්ලවෙන්න හේතුවක් වෙලා තියෙන්නේ.

ඔබ කියන්නේ ආණ්ඩුවට වරදින්න එකම හේතුව සුදුස්සාට සුදුසු තැන ලබා නොදීම විතරමද?

නෑ. ඒක එකක් විතරයි. මෙතන විශේෂයෙන්ම අපේ රාජ්‍ය පාලනයේදී ගන්න තීන්දු සහ ප්‍රතිපත්ති නිසිලෙස ක්‍රියාත්මක නොවීම තමයි බලපාල තියෙන්නේ. මට ඒ ඒ විෂය ගත්තොත් ඒක වෙනම විග්‍රහ කරන්න පුළුවන්. මොකද මම මගේ ආචාර්ය උපාධියට කළෙත් රාජ්‍ය පාලනය ගැන නිසා. ඔබට මම මෙහෙම උදාහරණයක් හැටියට ගත්තොත් මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට පත්වුණ ගමන්ම මුහුණ දුන්නේ යුද්ධයට. ඔහු ඒ වෙලාවේ නායකත්වය උපරිම වශයෙන් යොදාගෙන කණ්ඩායම් හැඟීමෙන් සියල්ලටම මුහුණ දුන්නා. යුද්ධය විතරක් නෙමෙයි ආර්ථිකයට පවා ආණ්ඩුවක් හැටියට සාර්ථකව ඔහු මුහුණ දුන්නා. ඒත් එවැනි තත්ත්වයක් අද පේන්න නෑ.

ඔබ ඔය කියන විදිහට මේ රටට අනාගතයේ වරදින්න පුළුවන් සම්භාවිතාව වැඩිනේ?

අපේ ජීවිත කාලයෙන් අවුරුදු පහක පාලන කාලයත් තුළ අපිට පාලනය කරගන්න පුළුවන් සහ පාලනය කරගන්න බැරි දේවල් සියල්ල මගහැරී යනවා නම් ඒ අවුරුදු 5ක කාලය අපතේ යාමක්නේ වෙන්නේ. හිතන්නකෝ, අපි මේ කරන්නේ මානව සම්පත කළමනාකරණයක්. ඒක නොවුණොත් රටේ මිනිස්සු ඉච්ඡාභංගත්වයට පත්වෙනවා. උදාහරණයක් හැටියට බලන්න පහුගිය දින ටිකේ වැඩිම පෝලිම් තිබ්බේ පාස්පෝට් ගන්න. ඊළඟ පෝලිම තිබ්බේ අපේ විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් සෙක්ෂන් එකෙන් අධ්‍යාපන සහතික, සහතික කරගන්න පෝලිම. මොකද හැමකෙනාම බලනවා රටින් පිටවෙන්න. විභාග කොමසාරිස්තුමත් කියලා තිබ්බනේ සහතික ලබා ගැනීම තුන්ගුණයකින් ඉහළ ගිහින් කියලා. මේ තත්ත්වය තේරුම් ගන්න ඕන.

මේවා කියන්න කෙනෙක් නැද්ද?

කියන්න තියා අහන්නවත් කෙනෙක් නෑනේ. අඩුම තරමේ ක්‍රියාත්මක කරන්න ඕන නෑ, අහන්න එපැයි. අහන්න කෙනෙක් ඉන්න එපැයි. එහෙම නොවීම තමා මේ සියල්ලටම හේතුවෙලා තියෙන්නේ.

ඔබ පිළිගන්නවද මේ ආණ්ඩුවට ලබාදුන්න පොරොන්දු ඉෂ්ඨ කරගන්න බැරිවුණා කියලා?

ඒක ඉතිං අපි කියන්න ඕන නෑනේ. ආණ්ඩුවේ ප්‍රබලයන් තැන් තැන්වල කිව්ව දේවල් එක්ක ඒක සහතික වෙනවා. විවිධ හේතු තියෙන්න පුළුවන් කොවිඩ් ප්‍රශ්නය, ආර්ථික ප්‍රශ්නය එහෙම. ඒත් අපේ පැත්තෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්න පවා අපිට මගහැරිලා තියෙනවා. ඒක කළමනාකරණය කරගන්න බැරිවීම තමයි හේතුවක් වෙලා තියෙන්නේ. ඉතිං මම අමුතුවෙන් ඒක ගැන කියන්න ඕන නෑ.

ඔබ කිව්වා දේශය පාලනය කිරීම තමයි වැදගත්ම දේ කියලා. ඇත්තටම දේශය පාලනය මේ ආණ්ඩුවට මග හැරිලද?

මම ලබාගත්ත අත්දැකීම් අනුව, අධ්‍යාපනය අනුව මේ රටේ රාජ්‍ය පාලනය අපිට ගැලපෙන්නේ නෑ

ඔබ පසුගිය දවසක බරපතළ චෝදනාවක් කළා. ආණ්ඩුවේ ඉහළින් අණපනත් හදලා ගේනවා, පස්සේ න්‍යාය පත්‍රවලට ඇතුළත් කරලා ඊටත් පස්සේ මේසෙට ආපුවමයි දන්නේ කියලා ඒ දේවල් ගැන. ඒ කියන්නේ ඔබලට නොදැනුවත්ව වැඩ වෙනවද ආණ්ඩුවේ?

හොඳ උදාහරණයක් ගන්නකෝ 20 වැනි සංශෝධනය ගෙනාවා. අපේ කණ්ඩායමට එනකල් අපි දන්නේ නෑනේ ඒකේ මොනවද තිබ්බේ කියලා. අන්තිමේ ප්‍රධාන සංශෝධන 10කින් ඉතුරු වුණේ තුනයි. සංශෝධනය කරලා. එහෙම වුණේ ඇයි. එදා 72 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදපු එක හොඳම උදාහරණය. ඒ හදපු නිසා තමයි 78 ව්‍යවස්ථාව හදන්න පුළුවන් වුණේ. එදා කොල්වින් ආර් ද සිල්වලා, ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකලා, අනික් පැත්තෙන් ජේ.ආර්. ජයවර්ධනලා වගේ අය හිටියා. ඉතිං මම කියන්නේ මේ ආණ්ඩුවෙත් එහෙම දැනුම තියෙන අය ඉන්නවා. මම කියන්නේ ඒ අයගෙන් අහන්න කියලා. කමිටුවක් දාලා එහෙම වැඩගන්න කියලා.

ඒ කියන්නේ ඔබ නොකියා ආණ්ඩුව ඇතුළේ කොළේ වහලා ගහන කට්ටිය ඉන්නවා කියලද?

කොළේ වහලා ගැහිල්ලක් නෙමෙයි. මම කියන්නේ ව්‍යවස්ථා සම්පාදනය ගැන ආණ්ඩුකරණය ගැන දැනුමක් තියෙන අය එක්ක වැඩකරන්න ඕන කියලා. එහෙම නොකිරීමෙන් තමා මේ තත්ත්වය උදාවෙලා තියෙන්නේ.

අද ගහන ගැසට්, කැසට් වෙලා තියෙන්නේ මේ නිසා කියලද ඇමතිතුමා කියන්නේ?

දැන් බලන්නකෝ කවදාවත් මිල පාලනය සඳහා මේ තරම් ගැසට් ගහලා තියෙනවද? ගැසට්වලට වෙලා තියෙන දේ බලන්න. ඒවායින් ප්‍රතිඵලයක් වෙලා තියෙනවද? මාධ්‍ය ඉදිරියේ සංවාදවලදී මේ ගැසට් ගැන නොයෙක් කතා කළා. අන්තිමේ ව්‍යාපාරිකයෝ ඒ සියල්ල වෙනස් කළා. ඒ නිසා වෙළඳපොළ ආර්ථිකය එක්ක තේරුම් ගන්න ඕන මිල පාලන‍ය ගැලපෙන්නේ නෑ කියලා. අපිට තියෙන්නේ නිෂ්පාදනය වැඩි කරන එක. මේකෙන් වෙන්නේ අපේ කාලයත් අපතේ යාමක්.

කැබිනට් මණ්ඩලයට උපදෙස් දෙන්න නිසි පිරිසක් නැද්ද? නැත්තම් උපදෙස් ගන්නේ නැද්ද?

මේ කැබිනට් එක හැර මම හිටපු කැබිනට් බලද්දී ඒ ඒ අමාත්‍යංශවලට විෂය ප්‍රවීනයන් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි අපිටත් හොඳ දැනුමක් අපේ විෂයයන් ගැන තිබ්බා. ඒ අධ්‍යාපනයත් එක්ක. දැන් බලන්නකෝ ආචාර්ය මහාචාර්යවරු 160කට ආසන්න පිරිසක් ඉන්නවලු ජනාධිපතිතුමා හම්බවෙන්න. වැඩක් නෑනේ. සියල්ල දැන් වෙලා ඉවරනේ. බලන්න ලෝකේ රටවල් පොහොර නැව් පිටින් ගෙන්නද්දී අපි ගෙන්නන්නේ ප්ලේන් එකෙන්. හිතන්නකෝ අපේ වැඩපිළිවෙළ. අපිට ණයවර ලිපිවලට සල්ලි ගෙවාගන්න බැරිතරම් හිරවෙලා. ඒත් අපි ප්ලේන් එකෙන් පොහොර ගේනවා. අපි කොතැනද මේ ඉන්නේ.

ඔබතුමා මෙහෙම කතා කළාට ආණ්ඩුවේ සමහරු ඇත්ත කියන්නේ නෑනේ. අපි ගාව සල්ලි තියෙනවා ඩොලර් තියෙනවා කියලා කියනවනේ. ඒවා බොරුද?

ඩොලර් තියෙන හැටි බලාගන්න පුළුවන් කවුරු හරි රට යන්න ගියාම ඩොලර් මාරුකරගන්න වුණාම. ලංකාවෙන් ගිහින් ක්‍රෙඩිට් කාඩ් එකෙන් බිල ගෙවන්න ගියාම එතැන හොටලේ වැඩට නවත්ත ගන්න තැනට පත්වෙලා. 

ජනතාවට ඇත්ත නොකීමේ ප්‍රතිවිපාක විඳින්න වෙන්නේ අනාගතේදී නේද?

ඉතාම හොඳින් ජනතාව රවට්ටන්න පුළුවන් පිරිස තමයි වැඩිම ඡන්ද අරන් පත්වෙන්නේ. සමහරු පපුවට අත තියන් කතා කළා. ජාතික දේපළ විකුණන්න එපා. අපි විරුද්ධයි, දාඩිය දාගෙන ගිරිය යටින් කෑ ගැහුවා. කෝ දැන්? මේවා ගැන අපිට පැය ගණන් කතා කරන්න පුළුවන්.

ඔබට හිතෙන්නේ නැද්ද ආණ්ඩුව බලෙන් ප්‍රශ්න ඇඟේ දාගත්තා කියලා?

ඒක තමයි මම කිව්වේ. රාජ්‍ය පාලනයේ තියෙන අත්දැකීම් අඩුකම. ඔබ එකින් එක ඇහුවොත් මට කියන්න පුළුවන් දැනුමක් තියෙනවා. නමුත් අපෙන් අහන්නේ නෑනේ කවුරුත්. කියන්න තැනකුත් නෑ. කණ්ඩායම් රුස්වීම අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබ්බම න්‍යාය පත්‍රයේ ටික ගත්තා, ඒකෙන් ඉවර කළා. ජනාධිපතිතුමා එක්කත් එහෙමයි. දවස් දෙකක් කතාව ඉවර වෙද්දී රෑ වුණා. දැන් කමු කිව්වා. ඉවරයි. අපිට කන්න යන්න ඕන නෑනේ. එක එක කණ්ඩායම් ගෙනැල්ලා වෙන වෙනම සාකච්ඡා කරන්න ඕන. ගොඩක් එක්ක කතා කරන්න බෑනේ. ඒ ඒ ප්‍රශ්න ගැන වෙන වෙනම කතා කරන්න ඕන. මම දැක්කා දේශපාලන පක්ෂ නායකයෙක් මේ ළඟදී කියනවා අපි සාකච්ඡාවක් ඉල්ලුවා. ඒක ලැබුණේ නෑ දැන් අපි ප්‍රශ්නය ජනතාව වෙතට ගේනවා කියලා. ඒක මාර කතාවක්නේ. අපිව පත්කරලා තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්න ආණ්ඩුව ලවා කරවගන්නනේ. මොනවද මේ කතා?

ඔබට හිතෙන්නේ නැද්ද ඔබලා ජනතාව ඉදිරියේ උගුරේ ලේ රහ දැනෙනකල් කෑගහලා ජනතාවට දුන්නු පොරොන්දු ඉෂ්ට කරගන්න බැරිවුණා කියලා?

මම එක දෙයක් කියන්න ඕන. මම නම් උගුරේ ලේ රහ වැටෙනකල් කතා කරලා නෑ. මම දැනුම, උගත් අය එක්ක සමුළු තුනක් තිබ්බා. ඒ අය බුද්ධිමත් පිරිස්. හැබැයි අවාසනාවකට ඒ කිසිම කෙනෙක් අපිට කතා කරන්නේ නෑ දුරකථනයෙන්වත්. මොකද ඒ මිනිස්සුන්ට කතා කරන්න දෙයක් නෑ. බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නෑ. දැන් බලන්න එකම රටක් එක නීතියක්. ඒක අමුතුවෙන් කරන්න ඕන නෑ. ඒ තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න ඕන.

මේ තාක් එක රටක් එක නීතියක් ක්‍රියාත්මක වෙලා නැද්ද එතකොට?

සෞභාග්‍ය දැක්මේ නීතිය ස්වාධීන කරනවා කියන්නේ එක රටක් එක නීතියක් හදන එකම නෙමෙයි. දැන් තියෙනවනේ නීති පද්ධතියක්. අන්න ඒකෙන් හැමදෙනාටම අධිකරණයෙදී සාධාරණය ඉෂ්ට වෙන එකනේ ස්වාධීනයි කියන්නේ. දැන් එතකොට ඒ ස්වාධීන අධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච විනිසුරු මඩුල්ලකින් දුන්න තීන්දුවක් කොහෙවත් යන කමිටුවක නිර්දේශයක් යොදාගෙන මිනිස්සු නිදහස් කරනවනේ. පහුගිය කාලේ වුණ දේවල් දැක්කම එක රටක් එක නීතියක් ක්‍රියාත්මක වෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපිත් නිකං හිටිය නීතීඥවරු නෙමෙයිනේ. ඒ නිසා එක රටක් එක නීතියක් කියලා වෙනම එකක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. තියෙන නීතිය ක්‍රියාත්මක වීමයි ඕනෑ.

දැන් ඉන්න මන්ත්‍රීවරු ඔබලාගේ ඉතිහාසයවත් දන්නේ නැති අයද ඉන්නේ?

අපොයි ඔව්. අද ඔය පාර්ලිමේන්තුවේ කෑ ගහන‍ අයගෙන් කී දෙනාද හැන්සාඩ් වාර්තාවක් කියවන්නෙ. කිසිම දැනුමක් නැතුව ඔහේ කියවනවා. ඉන්න බහුතරයකට ව්‍යවස්ථාව ගැන දැනුමක් නෑ. මොකද අපිට මෙහෙම ගිහින් රටක් හැටියට හුදෙකලා වෙන්න බෑ.

මේ කියන දේවල් එක්ක දැනෙන්නේ එක දෙයයි. ආණ්ඩුව ෆේල් කියලා. ඇත්තටම ෆේල්ද?

මම ඒ ගැන යමක් කියන්න ඕන නෑ. පේනව බලන අයට. කොවිඩ් ප්‍රශ්නයත් එක්ක යම් සාධාරණයක් තියෙනවා. ඒත් සමහර ප්‍රශ්නවලට සාමූහිකත්වයෙන් සාකච්ඡා කරලා සුදුසු අය සුදුසු තැන්වලට පත්කළා නම් හරි. මම කියන්නේ දේශපාලනඥයෝ විතරක් නෙමෙයි රාජ්‍ය තන්ත්‍රයේම අය නිසි තැන්වලට දැම්මා නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.

මේ යන විදිහට නැවත බලයක් ගන්න වෙන එකක් නෑ?

ඊළඟ ජයග්‍රහණයක් ගැන හිතන්න කළින් තියෙන ප්‍රශ්න ටික විසඳගන්න ඕන. ගොවි ප්‍රශ්නය, විදේශ විනිමය, තෙල්, ගල් අඟුරු මේ සියල්ල එක්ක බලද්දී අපි කොතැනද ඉන්නෙ කියලා හිතන්න එපැයි. ඒක තේරුම් ගන්න සංවාදයක් තියෙන්න ඕන.

0 comment
0

Related Posts

Leave a Comment