Home ක්‍රීඩා පුවත් මිකීට ජයග්‍රාහි සමු ගැනීමක් දෙන්න ශ්‍රී ලංකා පිල පිටියට,

මිකීට ජයග්‍රාහි සමු ගැනීමක් දෙන්න ශ්‍රී ලංකා පිල පිටියට,

by Hela news

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි.

ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් මේ තරගාවලිය දැනටමත් ශ්‍රී ලංකා පිල 1-0ක් ලෙස පෙරමුණ ගෙන ඇති අතර, අද ආරම්භ වන තරගය ජය ගනිමින් 2-0කින් තරගාවලිය නිමාකර ගැනීම ශ්‍රී ලංකා පිලේ අරමුණ වී තිබේ.

මේ තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මිකී ආතර් යටතේ ක්‍රීඩා කරන අවසන් තරගය බැවින් ඔහුට ජයග්‍රාහී සමුදීමකට ද ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයෝ බලාපොරොත්තු පොදි බැඳ සිටිති.

මේ අතර පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ දුෂ්මන්ත චමීර දෙවැනි තරගයට විවේක ගන්වා ඇති අතර, ඔහු සමගින් කණ්ඩායමේ රැඳී සිටින තවත් ක්‍රීඩකයන් 5 දෙනකුට ජෛව ආරක්ෂිත බුබුළෙන් නිදහස් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර දී තිබේ.

ඒ අනුව චමීර සමඟින් අසිත ප්‍රනාන්දු, කමිල් මිශාර, සුමින්ද ලක්ෂාන් සහ රොෂේන් සිල්වා ජෛව බුබුළෙන් ඉවත් වී තිබේ.

චමීරගේ ඉවත්වීම හේතුවෙන් අද තරගයේදී කණ්ඩායමේ වෙනසක් සිදු වන බව ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක් වූ මැද පෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් පැවසීය.

ඒ අනුව බොහෝ විට චමීර වෙනුවට වේග පන්දු යවන්නකු හෝ පිතිකරුවකු කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇතැයි පැවසූ චන්දිමාල් අද තරගයේදී පළමු තරගයට ද වඩා දඟ පන්දු යවන්නන්ට වාසිදායක තණතීරුවක් ලැබෙනු ඇතැයි ද කියා සිටියේය.

කෙසේ වෙතත් පළමු තරගයෙන් අනතුරුව නායක දිමුත් කරුණාරත්න කියා සිටියේ බොහෝ විට වේග පන්දු යවන්නකු වෙනුවට පිතිකරුවකුට ස්ථාන දීමට සලකා බලන බවය. මේ හේතුවෙන් තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට හෝ මැද පෙළ පිතිකරු චරිත් අසලංකට අද තරගයේදී ස්ථානයක් හිමි වනු ඇත.

2019 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් පිටියට පිවිසි චාමික තවත් ක්‍රීඩා කර ඇත්තේ එම තරගයට පමණක් වන අතර, අසලංක තවත් ජගත් ටෙස්ට් වරම් හිමි කර ගෙන නැත.

මේ අතර කොදෙව් පිල ද මේ තරගාවලිය ගෞරවනීය ලෙස නිමා කිරීමේ අරමුණින් අද තරගය ජයගැනීමට හැකි සෑම උත්සාහයක්ම දරනු ඇත.

දෙපිල අතර මේ වන විට ටෙස්ට් තරග 23ක් පවත්වා ඇති අතර, අවසන් තරගයේ ජයත් සමඟින් ශ්‍රී ලංකා දිනා ඇති තරග සංඛ්‍යාව 10කි. කොදෙව්වන් තරග 4ක් ජය ගනිද්දී ජය පරාජයෙන් තොරව නිමා වී ඇති තරග සංඛ්‍යාව 9කි.

ඊට තරගාවලි 9ක් ඇතුළත් වන අතර, ශ්‍රී ලංකාව අවසන් වරට 2015/16 වසරේදී සත්කාරකයන් ලෙස කටයුතු කරමින් 2-0කින් ටෙස්ට් තරගාවලියක් ජය ගෙන තිබේ. කොදෙව් පිලේ ශ්‍රී ලංකාවට එරෙහි අවසන් ටෙස්ට් තරගාවලිය ජය වාර්තා වන්නේ 2003 වසරේ (1-0) කොදෙව්හිදීය.

0 comment
0

Related Posts

Leave a Comment