Home ගොසිප් පුවත් ‘මැණිකේ මගේ හිතේ’ ගීයෙන් අමි­තාබ් භච්චන් වසඟ කළ යොහානි

‘මැණිකේ මගේ හිතේ’ ගීයෙන් අමි­තාබ් භච්චන් වසඟ කළ යොහානි

by Hela news

යොහානි මෙරට සංගීත කරළියට එකතු වූ වෙනස් රසයකින් යුතු ගීත ගයන නවක ගායන ශිල්පිනියක්. cover song ගායනයෙන් ජනප්‍රිය වූ යොහානිගේ හඬින් ඇසෙන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මේ දවස්වල ලංකාවේ වගේම බොලිවුඩයෙත් ඉහළ ජනප්‍රියත්වයක් දිනාගෙන ඇතිි බව පසක් වූයේ පසුගිය දිනෙක බොලිවුඩයේ දැවැන්තම රංගන පෞරුෂය, අම්තාබ් බච්චන් ඔහුගේ ට්විටර් ගිණුමට එක්කර තිබූ සටහන සමඟයි.

අමිතාබ් බච්චන් එම සටහන තබා තිබුණේ ඔහු රඟපෑ කලියා චිත්‍රපටයේ “Jahan teri ye nazar hai” ගීතයත් සමඟ යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ” ගීතය මිශ්‍ර කර සංස්කරණය කරමින් අමිතාබ්ගේ මිනිබිරියක වන නව්‍යා නවේලි සමාජ මාධ්‍යයට එක් කළ විඩියෝව උපුටා දක්වමිනි. මේ වන විට එම ගීතය මිලියන 32ක් පමණ යූ ටියුබ් මඟින් නරඹා ඇත. එම උණුසුම් ප්‍රතිචාර අත්විඳිමින් යොහානි අප සමඟ කතාබහකට එක්වූවාය.

¨අමිතාබ් බච්චන් වැනි බොලිවුඩයේ ප්‍රවීණතම කීර්තිමත් රංගන ශිල්පියකු මේ ගීතය රසවිඳින බව දැන ගන්න ලැබීම ලොකු ගෞරවයක්. ඒ ගැන නිහතමානීව සතුටු වෙනවා. මේ ගීතයේ මුල් ගායකයා සතීෂාන්. සතීෂාන් මාත් එක්ක මේ නිර්මාණයේ රැප් ගායනයට සම්බන්ධ වුණා. ඒ වගේම චමත් සංගීත් එක්ක මේ නිර්මාණය කරන්න අවස්ථාව ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම ක්ෂේත්‍රයට ආව මුල්ම කාලයේ සිට හැම අවස්ථාවකදීම චමත් මට උදවු කර තිබෙනවා. මේ ගීතයේ සංගීතය නිර්මාණය කළ චමත්ටත් මුල් ගායනය සහ මා සමඟ රැප් ගායනය කළ සතීෂාන්ටත් පද රචනා කළ දුලාන්ටත් ගීතය නැවත නිර්මාණය කිරීමට සහ බෙදා හැරීමට අවසරය දුන් හසිත්ටත් මගේ පිටුපසින් සෑම මොහොතේම සිටින දිලංජන් ඇතුළු පෙටා ඉෆෙක්ට් (Pettah Effect) කණ්ඩායමටත් මෙහි ගෞරවය හිමිවිය යුතුයි. ඒ වගේම මගෙ රසික රසිකාවියන්ටත් බොහොම ස්තූතියි. ඒ වගේම Funky dirt සමඟ කළ ´ඇවිදන් යනවා´ ගීතයත් මම ගොඩක් ආසාවෙන් කරපු වැඩක්. funky dirt එක්ක වැඩ කරන්න ලැබීම සතුටක්. මේ ගීතයට ආයෝජනය කළ නිෂ්පාදන ආයතනයේ මිලින්දට සහ ශිරන්ගිටත් ස්තූතියි කියනවා¨‍

ඇතැම් අවස්ථාවල යොහානි ගායනා කළ cover song වලට තහංචි වැටුණ අවස්ථාද වේ.

¨දැන් මම සම්බන්ධ වෙලා ඉන්න කණ්ඩායම ඒ සම්බන්ධයෙන් සියලු කටයුතු කරනවා. කවර් සෝන්ග් එකක් වුණත් මගේම ගීතයක් වුණත් මම ඉතාමත් ආසාවෙන් කියන්නේ. ඒ නිසා මම හැම තිස්සෙම මම කරන දේ ගැන තෘප්තිමත්. ජනප්‍රියත්වය ගැන මම එච්චර හිතන්නේ නැහැ. මම සංගීතයට නවක ශිල්පිනියක්. තව ඉගෙන ගන්න සහ දියුණු කරගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මගේම අනන්‍යතාවක් ගොඩනැඟෙන්න තව ගොඩක් කල් යයි.¨

ඇය පවසන්නේ නිහතමානීවය. ගායනයට පිවිසීමට පසුබිම නිර්මාණය වූ ආකාරය ගැනද ඇය සිහිකළාය.

¨ශාස්ත්‍රපති උපාධිය කරන්න ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ මම විවේකයක් ලැබුණු හැමවෙලාවකම කළේ සංගීත වැඩ. උපාධිය ඉවර කළාම හිතුණා ලංකාවට ඇවිත් සංගීතය කරන්න ඕනේ කියලා. අපි පටන් ගත්තේ pubවල බෑන්ඩ් එකත් එක්ක සින්දු කියලා. ඒ දවස්වල හැම බ්‍රහස්පතින්දා , සිකුරාදා සහ සෙනසුරාදා දිනවල පැය 5ක් විතර pub එකේ සින්දු කියනවා. ඊට පස්සේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න අවස්ථාව ලැබුණා. මගේ මවුපියන්ට සංගීතය ගැන දැනුමක් නැහැ. ඒත් මගේ පිටුපසින් ඉඳගෙන නිතරම එයාලා මාව දිරිගන්වනවා. මගේ හැම ගීතයක්ම අහනවා. සංගීත වැඩ කරගෙන යන්න නිදහස් පරිසරයක් හදලා දීලා තියෙනවා.¨

සංගීත දිවිය පිළිබඳ යොහානිගේ ඉදිරි බලාපොරොත්තු බොහෝ සොඳුරුය.

¨ මගේම ගීත 12 ඇතුළත් ඇල්බමයක් 2022දී එළි දක්වන්න සූදානම් වෙනවා. ඒ වගේම සැප්තැම්බර් 17 වෙනිදා මම ඉංග්‍රීසි ගීතයක් එළි දක්වන්න සූදානමින් ඉන්නවා. පෙටා ඉෆෙක්ට් (Pettah Effect) කණ්ඩායම සහ තීව්‍ර (Theewra )කණ්ඩායම මේ සඳහා අවශ්‍ය සියලු ජාත්‍යන්තර කටයුතු කරගෙන යනවා. ¨

දක්ෂ, සොඳුරු යෞවනියක වන යොහානි රසික ප්‍රතිචාරවලට ස්තුතිවන්ත වෙමින් මෙසේද පැවසුවාය.

¨ මම නිතරම උත්සාහ කරන්නේ හැම දෙයක්ම වෙලාවට, පිළිවෙළට කරන්නයි. මම වැඩිපුර කාලය යොදවන්නේ අලුත් දෙයක් ඉගෙන ගන්න සහ අලුත් අත්දැකීමක් ලබා ගන්න. ඉතින් සමහර දේවල්වලට ප්‍රමුඛතාව නොදුන්නම සමහරු කියනවා ඇති මම ආඩම්බරයි කියලා. ඒත් මාව මුණගැහිලා වැඩ කරලා තියෙන කෙනෙක් නම් එහෙම කියන එකක් නැහැ. ¨

0 comment
0

Related Posts

Leave a Comment