Home දේශීය පුවත් මා වගකීම් දැරූ අමාත්‍යාංශවල දූෂණ වී ඇත්නම් සංවාදයකට එන්න, මන්ත්‍රී පාඨලී චම්පික.

මා වගකීම් දැරූ අමාත්‍යාංශවල දූෂණ වී ඇත්නම් සංවාදයකට එන්න, මන්ත්‍රී පාඨලී චම්පික.

by Hela news

මෙතෙක් කලක් මා වගකීම් දරා ඇති අමාත්‍යාංශවල වංචාවක් හෝ දූෂණයක් සිදුව ඇතැයි විශ්වාස කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් මතු වන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දීමට විවෘත හා මිත්‍රශීලි සංවාදයකට ආරාධනා කරන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් මඟින් දැනුම් දී තිබේ.

මෑතක සිට තමන් ඉලක්ක කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ පහල මට්ටමේ සාමාජිකයන් සහ ආධාරකරුවන් සමහරකු විසින් සාවද්‍ය චෝදනා එල්ල කිරීමේ ප්‍රවනතාවක් දක්නට ලැබෙන අතර, නායක මට්ටමේ කිහිප දෙනකු විසින්ද එම චෝදනා වක්‍රාකාරයෙන් ස්ථිර කරන අන්දමේ ප්‍රකාශ කිහිපයක් කිරීම හේතුවෙන් මේ විවෘත සංවාදය සඳහා ආරාධනා කිරීමට තීරණය කළ බවද මන්ත්‍රීවරයා එම ලිපියේ සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව විසින් අපේ රට ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකයට ඇද දමා අවසන් බවත් තමන්ගේ නොහැකියාව සහ එහි නායකයන්ගේ නිමක් නැති වංචා, දූෂණ වසා ගැනීමේ විශ්වාසනීයම ක්‍රමය ලෙස ආණ්ඩුව විසින් භාවිත කරමින් සිටින්නේ, තම දුර්දාන්ත ක්‍රියා හෙළි කරන පුද්ගලයන්ට එරෙහිව හැකි උපරිමයෙන් අභූත චෝදනා සහ අශික්ෂිත මඩ ප්‍රහාර එල්ල කිරීම බවත් ඔහු පෙන්වා දෙයි.

වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම පිණිස පමණක් නොව, අලුත් දේශපාලන සංස්කෘතියක් මේ රටේ ස්ථාපිත කිරීම සඳහා සියලු යුක්ති සහගත සමාජ බලවේග විසින් කළ යුතු අත්‍යවශ්‍ය කටයුත්තක් වන්නේ පාදඩ මාධ්‍ය හා සමාජ මාධ්‍ය හැසිරීමට එරෙහිව එක්සත්ව සහ ශක්තිමත්ව පෙනී සිටිමින් ඒවා සාමාජයීය වශයෙන් පරාජය කර දැමීම බවද හෙතෙම කියා සිටියි.

තම දේශපාලන ප්‍රතිවාදීන්ව හා තරගකරුවන්ව විවේචනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනය තුළ වරදක් නොවන නමුත් එම විවේචන සාධාරණ සහ පදනමක් සහිත විය යුතු බවත් විශේෂයෙන්ම ධනාත්මක සමාජ පරිවර්තනයක් අපේක්ෂා කරන බලවේග සිය ප්‍රතිවාදීන් සම්බන්ධයෙන් පවා යුක්ති සහගත විය යුතු බවත් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඒ වෙනුවට දැන් සිදු වෙමින් පවතින්නේ විපක්ෂයට එරෙහිව අන්ත දූෂිත වංචනිකයන් විසින් නිර්මාණය කරන ලද අමූලික අසත්‍යයන් ජනතා විමුක්ති පෙරමුණේ පහල සාමාජිකයන් විසින් සංවිධානාත්මක ලෙස ප්‍රචාරණය කිරීම බවත් වඩාත්ම කනගාටුදායක තත්ත්වය නම් සුලබව නොවූවත් ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ නායකයන් කිහිප දෙනකු විසිනුත් ඒවාට අනුබල දෙන ආකාරයේ ප්‍රකාශ කිහිපයක් කරනු දක්නට ලැබීම බවත් මන්ත්‍රීවරයා එම ලිපියේ දක්වා ඇත.

0 comment
0

Related Posts

Leave a Comment