Home ක්‍රීඩා පුවත් මාලදිවයිනට ජය පෙනි පෙනී තිබූ තරගය වසීම්ගේ මැජික් ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාව උදුරා ගනී

මාලදිවයිනට ජය පෙනි පෙනී තිබූ තරගය වසීම්ගේ මැජික් ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාව උදුරා ගනී

by Hela news

තරගයේ වීරයා සම්මානය වසීම් රාසීක්ට. ඡායාරූප – සුලෝචන ගමගේ

– ජගත් තරගයකදී ක්‍රීඩකයකු රැස් කළ වැඩිම ගෝල් 2013ට පසු ලක් මාතාව ඉදිරියේ පාපන්දු පිලේ හොඳම දක්ෂතාව
– තරගය  ගෝල් 4-4යි

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර, පැවැති පළමු තරගය ගෝල් 4-4ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා වෙයි. තරගය ආරම්භ වී පළමු භාගයේදී මාලදිවයින සම්පූර්ණ වාසි ගෙන ක්‍රීඩා කළද ශ්‍රී ලංකා පිලේ ප්‍රහාරක ක්‍රීඩක වසිම් රසීක් ගෝල් 4ක් රැස් කර තරගය කන පිට හැරවීමට සමත් විය. එය මාලදිවයිනට හිමි කර ගැනීමට හැකිව තිබූ ජයග්‍රහණයක් උදුරා ගැනීමක් හා සමාන දක්ෂතාවකි. රීඩ් මාවත තුරඟ තරග පිටියේ පැවැති මේ තරගයේ පළමු භාගයේදී මාලදිවයින ගෝල් 3-0කින් ඉදිරියෙන් සිටියද දෙවැනි භාගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වී මාලදිවයින් පිලට කිසිදා අමතක නොවන තර්ජනයක් එල්ල කළහ. තරගයේ දෙවැනි භාගයේදී තම අණසකට යටත් කර ගත් ජර්මනියේ හා ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසි වසීම් රසීක් ඉතිහාසයේ අන්තර්ජාතික තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයකු රැස් කළ වැඩිම ගෝල් ප්‍රමාණය වාර්තා කරමින් ශ්‍රී ලංකාවට ගෞරවනීය අවසානයක් එක් කළේය.

තරගයේ 63, 68, 72 හා 91 මිනිත්තුවේදි රාසීක් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ගෝල් වාර්තා කරමින් පාපන්දු ප්‍රේක්ෂකයන්ට කලකට පසු නැවුම් අත්දැකීමක් එක් කළේය. අතිරේක කාලයේදී ඔහු වාර්තා කළ අවසන් ගෝලය චලන චමීර එල්ල කළ කෝනර් පහරකට හිසෙන් ගෝලය තුළට යොමු කළ අතර, එය නියම වෘත්තීය පාපන්දු ක්‍රීඩකයකුගේ කුසලතා විදහා දැක්වීමකි.

මේ තරගය මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා පාපන්දු පිල වැඩිම ගෝල් වාර්තා කළ තරගයක් ලෙස වාර්තා පොත් අලුත් කළ අතර, අවසන් වරට 2013දී භූතානයට එරෙහිව ගෝල් 5-2කින් ජය වාර්තා කොට තරගයක වැඩිම ගෝල් සටහන්ව තිබිණි. එයින් පසු අන්තර්ජාතික තරගයකදී ශ්‍රී ලංකා පිල රැස් කළ වැඩිම ගෝල් ගණන ලෙස ඊයේ තරගයේදී වාර්තා විණි. එමෙන්ම මාලදිවයිනට එරෙහිව පසුපසින් ගොස් එලවා ශ්‍රී ලංකා පිල ලැබූ වැඩිම ගෝල ප්‍රමාණයද ඊයේ දිනයේ සටහන් විය. එක් අවස්ථාවකදී මාලදිවයින ශ්‍රී ලංකාවට එරෙහිව ගෝල් 10ක් වාර්තා කළ අමිහිරි ඉතිහාසයක් ලියැවී තිබිණි.

තරගයේ 7 වැනි මිනිත්තුවේදී මාලදිවයින් පාපන්දු නායක අක්රම් අබුදූල් ගහානී පළමු ගෝලය රැස් කළ අතර, තවත් මිනිත්තු දෙකක් ගතවෙද්දි අලී ෆාසීර් දෙවැනි ගෝලය මාලදිවයින් නාමය ඉදිරියේදි සටහන් කළේය. ගෝල් කණුවට මීටර් 9ක් පමණ තිබියදී ශ්‍රී ලංකා ආරක්ෂක වළල්ලේ කිසිදු තර්ජනයක් නැති පසුබිමක ඉබ්‍රහිම් හසීන් 34 වැනි මිනිත්තුවේදී පහසු ගෝලයක් වාර්තා කිරීමෙන් මාලදිවයින ස්ථාවර තත්ත්වයකට පැමිණියේය. දෙවැනි භාගය ආරම්භ වී තරගයේ 57 වැනි මිනිත්තුවේදී හා මාලදිවයින් පිලේ සුපිරි තරුවක් වූ අලි අෂ්ෆාක් සිව්වැනි ගෝලය වාර්තා කරද්දී ශ්‍රී ලංකාව ගෝල් වාර්තා කර නොතිබිණි.

මෙයට සති කිහිපයකට පෙර දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකා පාපන්දු පිල සත්කාරක මාලදිවයිනට එරෙහිව ගෝල් 1-0ක සියුම් පරාජයක් ලැබු අතර, එහිදී 8000කට අධික මාලේ ප්‍රේක්ෂකයන්ගේ සහයෝගය සම්පුර්ණයෙන්ම මාලදිවයින පිලට ලැබී තිබිණි.

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගාවලියේ දෙවැනි තරගය සී සෙල්ස් හා බංග්ලාදේශය අතර, අද පස්වරු 4ට තුරඟ තරග පිටියේදි පැවැත්වීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment