Home ක්‍රීඩා පුවත් මාලදිවයිනට එරෙහිව දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට බෝනස් මුදලක්

මාලදිවයිනට එරෙහිව දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට බෝනස් මුදලක්

by Hela news

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ ඊයේ පැවැති සීෂෙල්ස් හා බංග්ලාදේශය අතර, තරගය ගෝල් 1-1ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා වෙයි. මේ හේතුවෙන් මෙම තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් 4ම ප්‍රසාද ලකුණු සටහනේ ලකුණ බැගින් ගෙන එක හා සමාන තත්ත්වයකට පැමිණියේය. පෙරේදා පැවැති ආරම්භක තරගයේදී ශ්‍රී ලංකාව හා මාලදිවයින ගෝල් 4-4ක් ලෙස ජය පරාජයෙන් තොරව නිමා වූ හෙයින් ශ්‍රී ලංකාවට ලකුණු 1ක් හා මාලදිවයිනට ලකුණු 1ක් හිමි විය. ඒ අනුව මේ සිව්කොන් පාපන්දු තරගාවලියේ ඉතිරි තරග සියල්ල වඩාත් තියුණු මුහුණුවරක් ගනු ඇත.

මේ අතර, මාලදිවයින පිලට එරෙහිව ශ්‍රී ලංකා පිල දැක්වූ කැපී පෙනෙණ දක්ෂතා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ප්‍රසාද මුදල් තෑග්ගක් දීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා එන්න එන්නම වර්ධනය වෙමින් පැවැතීම පාපන්දු සම්මේලනයේ සතුටට හේතුවක් බැවින් විධායක සභාවේ ඒකමතික තීරණය අනුව ක්‍රීඩකයන් දිරි ගැන්වීමට කටයුතු කළ බව පාපන්දු සභාපති ජස්වර් උමර් මහතා පැවසීය. මේ දිරි ගැන්වීමේ ප්‍රසාද මුදල ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව ද උමර් මහතා ‘දිනමිණ’ට පැවසීය.

මාලදිවයින පිල ශ්‍රී ලංකාවට එරෙහිව තරගය පුරා සම්පූර්ණ වාසි ගෙන ක්‍රීඩා කළද ශ්‍රී ලංකා පිලේ ප්‍රහාරක ක්‍රීඩක වසිම් රසීක් දෙවැනි භාගයේදී ගෝල් 4ක් රැස් කර තරගය කන පිට හැරවීමට සමත් විය. එය මාලදිවයින සතුව තිබූ ජයග්‍රහණයක් උදුරා ගැනීමක් හා සමාන දක්ෂතාවක් බැවින් අති විශාල අවධානයක් යොමු විය.

රීඩ් මාවත තුරඟ තරග පිටියේ ඊයේ පැවැති බංග්ලාදේශය හා සීෂෙල්ස් අතර, තරගයේ පළමු භාගයේදී බංග්ලාදේශය ගෝල් 1-0ක් ලෙස ඉදිරියෙන් සිටි අතර එම ගෝලය 20 වැනි මිනිත්තුවේදී ඉදිරි පෙළ ක්‍රීඩක මොහොමඩ් ඉබ්‍රහිම් වාර්තා කළේය. දෙවැනි භාගයේදී සීෂෙල්ස් පිලට ගෝල් කණුව ආසන්නයේදීම ලබාගත හැකිව තිබූ පහසු ගෝල් අවස්ථා 3ක් පමණ මඟ හැරී ගියද 87 වැනි මිනිත්තුවේදී නිවැරදි ඉලක්කය සොයා ගැනීමට රසීඩ් ඩෑන් ලැබ්රෝස් සමත් විය. ගෝල් කණුව ඉදිරිපිටදී බංග්ලාදේශ ආරක්ෂක වළල්ලෙන් මිදුණු හෙතෙම එල්ල කළ පහර ගෝලයක් විය. බංග්ලාදේශ පිල නිමා වූ දකුණු ආසියා පාපන්දු ශූරතාවලියේදී තරග 4කට ක්‍රීඩා කොට ශ්‍රී ලංකාව සමඟ තරගය ගෝල් 1-0ක් ලෙස ජයගෙන ඉන්දියාව හා නේපාලය අතර, තරග දෙක ජය පරාජයෙන් තොරව නිමා කළේය. සීෂෙල්ස් පිල අවසන් වරට බුරන්ඩි රාජ්‍ය සමඟ මේ වසරේ තරග කළ අතර එහිදී ගෝල් 8-1ක් ලෙස පරාජයට පත් විය.

අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන පාපන්දු තරගාවලියේ තෙවැනි තරගය මේ 13 දා පස්වරු 4ට මාලදිවයින හා බංග්ලාදේශ අතර, සිව්වැනි තරගය සීෂෙල්ස් හා ශ්‍රී ලංකාව අතර එදිනම රාත්‍රී 9ට පැවැත්වීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment