Home ක්‍රීඩා පුවත් මහේල ශ්‍රේෂ්ඨයන් අතරට,

මහේල ශ්‍රේෂ්ඨයන් අතරට,

by Hela news

අන්තර්ජාතික ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට (ICC Cricket Hall of Fame) ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ඇතුළත් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන ඇත.

ලෝක ක්‍රිකට් ඉතිහාසයට එක් වූ දහස් සංඛ්‍යාත ක්‍රීඩකයන් අතුරින් අතළොස්සකට පමණක් ලැබෙන මේ විරල ගෞරවයට මහේල පාත්‍ර වූයේ ඔහු විසින් ක්‍රීඩාවෙන් දැක් වූ අසමසම දස්කම් සැලකිල්ලට ගනිමිනි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට මීට පෙර ශ්‍රී ලංකාවෙන් ඇතුළත් වූයේ මුත්තයියා මුරලිදරන් සහ කුමාර් සංගක්කාර පමණි.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ඊයේ රාත්‍රී පැවැති අවසන් මහා තරගයට පෙර ශ්‍රීමත් ක්ලයිව් ලොයිඩ් විසින් මහේලගේ නම නිල වශයෙන් එම ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබීය. මහේලට අමතරව දකුණු අප්‍රිකාවෙන් බිහි වූ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩක ෂෝන් පොලොක් සහ එංගලන්ත කාන්තා ක්‍රිකට් පිටියේ බිහි වූ සුපිරි ක්‍රීඩිකා ජෙනට් බ්‍රිට්න් ද ඊයේ මේ ලැයිස්තුවට ඇතුළත් විය. වසර 2009 දී ආරම්භ කළ අයිසීසී ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට මේ දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 106 දෙනෙක් ඇතුළත්ව සිටිති.

මෙරට ක්‍රිකට් පිටියෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවකු සහ නායකයකු වන මහේල අයිසීසී ලෝක කුසලාන අවසන් තරග 5කට ක්‍රීඩා කර ඇති අතර, වසර 2014දී විස්සයි20 ලෝක කුසලානය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් ද විය. ටෙස්ට් සහ එක්දින තරග දෙඅංශයෙන්ම ලකුණු දසදහසේ සීමාව පසු කිරීමට ඔහු සමත් විය.

0 comment
0

Related Posts

Leave a Comment