Home කාලීන පුවත් මහින්ද එක්ක ගෙවුණු දවස්

මහින්ද එක්ක ගෙවුණු දවස්

by Hela news

ජනහදට සමීප මෙන්ම සංවේදි නායකයෙක් වන ශ්‍රී ලංකාවේ 5 වැනි විධායක ජනාධිපති මෙන්ම වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිබඳ මාගේ මුල්ම මතක පාසල් ශිෂ්‍ය හා විශ්වවිද්‍යාල ශිෂ්‍ය අවධිය කරා දිගු වේ. එදා 1987 – 89 අඳුරු සමයේ යූ.එන්.පී. ය මෙන්ම ජේ.වී.පී. ය ද විශාල භීෂණයක් පවත්වා ගෙන ගියේය. ඒ හා සමගාමිව නොයෙක් සන්නද්ධ කණ්ඩායම් ද මර්දනය කළේය. දරුණු ලෙස රාජ්‍ය මර්දනය මුදා හැරෙමින් තිබියදී ටයර් සෑ මත ජීවිත ගමන නිම කළ හා අතුරුදන් වූ තරුණ ජීවිත දස දහස් ගණනකි. එවැනි තරුණයන් වෙනුවෙන් හා තරුණ ජීවිත රැක ගැනීම වෙනුවෙන් විපක්ෂ දේශපාලනඥයෙක් ලෙස පමණක් නොව නීතිඥයකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා කළ කාර්යභාරය අමතක කළ නොහැකිය.

කෝට්ටේ පුරපතිව සිටි චන්ද්‍රා ද සිල්වා මහතා මාගේ ඥාතියෙකි. මහින්ද රාජපක්ෂ මහතාගේ සමකාලීන දේශපාලන මිතුරෙක් වූ ඔහු සමඟ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වෙමින් එතුමා දැන හැඳිනගැනීමට ද හැකි විය. ඒ වන විට මට ඡන්ද බලය පවා නොතිබුණ ද මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයකට මාගේ ඥාති සහෝදරයා ද සමඟ හම්බන්තොට ගොස් සම්බන්ධ වූ අයුරු මතකය. ඒ, අද මෙන් ප්‍රවාහන පහසුකම් දියුණුව නොතිබූ අවධියකි. යූ.එන්.පී. ආණ්ඩුවේ දේශපාලන මැර බලය දරුණු ලෙස ක්‍රියාත්මක විය. මට මතක හැටියට එය අතුරු මැතිවරණයකි. මහින්ද රාජපක්ෂ මහතා නිර්භීත දේශපාලනඥයකු වූ අතර කිසිවකුටත් බිය වෙමින් දේශපාලනය කළේ නැත.

1977 දී ආරම්භ වී 17 වසරක් පැවැති එ.ජා.ප. පාලනය 1994 දී නිමාවට පත් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ආරම්භ කළ පාද යාත්‍රා, ජන ඝෝෂා, මිනිස් දම්වැල් විශාල ශක්තියක් විය. කොළඹ සිට කතරගම බලා එම පාද යාත්‍රාවේ යම් දුරක් මම ද ගමන් කළ අතර කොළඹ නගරයේදී මිනිස් දම්වැලට ද සම්බන්ධ වුණෙමි. විපක්ෂයේ සෙසු දේශපාලන කණ්ඩායම්, පක්ෂ එකට එකතු කර ගනිමින් කටයුතු කිරීමේ විශේෂ දක්ෂතාවක් මහින්ද මහතාට තිබිණි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය වයෝවෘද්ධව සිටි අතර විජය කුමාරතුංග මහතා ඝාතනය වූ පසුව විදේශගත වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඒ වන විට ද සිටියේ විදේශගතවය. යූ.එන්.පී. යේ දුර්දාන්ත පාලනයට එරෙහිව ප්‍රතිරෝධයක් දක්වමින් සාමාන්‍ය තරුණ විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස වුව මහින්ද මහතා නිර්භීතව සහ ප්‍රගතිශීලි කඳවුර ශක්තිමත් කරමින් කටයුතු කළේය. 1994 දී රට තුළ ඇති වූ දේශපාලන වෙනසට මුලපුරමින් දකුණු පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කළේ ශ්‍රීලනිප ප්‍රමුඛවමය. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මැතිවරණය ජයග්‍රහණය කළ ද පළාත් සභාවේ එම පාලනය ඇරඹීමට එවක ආණ්ඩු පක්ෂය ඉඩ නුදුන්නේය. එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකලාපයට එරෙහිව පෙරටම එමින් අමරසිරි දොඩංගොඩ මහතා මහ ඇමැති පුටුවේ හිඳුවීමට මහින්ද රාජපක්ෂ පෙරමුණ ගත් අයුරු ද මතකය.

පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර මහ ඇමැතිනිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පත් වූවාය. අනතුරුව මාස කිහිපයක් ඇවෑමෙන් 1994 අගෝස්තු මස පැවැති මහ මැතිවරණයෙන් පොදු ජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කළ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අගමැතිනිය ලෙස පත් වූවාය. නොවැම්බරයේ පැවැති ජනාධිපතිවරණයෙන් එතුමිය ජනාධිපතිධුරයට පත් වූවාය. පොදු ජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ කම්කරු ඇමැතිවරයා ලෙස පත් වූ මහින්ද රාජපක්ෂ මහතා වැඩකරන ජනතාව වෙනුවෙන් වැඩදායි, පලදායි මෙන්ම සාධනීය පියවර ගණනාවක්ම ගත්තේය. එම ප්‍රතිලාභ වැඩකරන ජනතාව අද ද අත්විඳිමින් ඇත. අනතුරුව ධීවර අමාත්‍යවරයා වශයෙන් ධීවර ප්‍රජාව වෙනුවෙන් හා එම කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් එතුමා ක්‍රියා කළේය. ධීවර ජනතාවගේ දරුවන් වෙනුවෙන් සාගර විශ්වවිද්‍යාලය ඇරඹීමට මහින්ද රාජපක්ෂ අමාත්‍යවරයා කටයුතු කළේය. රට වටා සාගර සම්පත, මත්ස්‍ය සම්පත, වෙරළ සම්පත තිබුණ ද එතෙක් එවැන්නක් ගැන කිසිවකුත් කතා කර නොතිබිණි.

2001 වසරේදී ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන් ද සම්බන්ධ කර ගනිමින් යූ.එන්.පි ය කුමන්ත්‍රණකාරී ලෙස පොදු පෙරමුණු රජය පෙරළා දැමීය. චන්ද්‍රිකා ජනාධිපතිතුමිය බලයේ සිටියදී එජාප රජයක් බිහිව තිබිණි. විපක්ෂ නායක ධුරය සඳහා නම් 2ක් යෝජනා විය. ඒ, මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාගේය. එහිදී, මහා සංඝරත්නය ප්‍රමුඛ බලවේගවල ඉල්ලීම වූයේ, මහින්ද මහතා විපක්ෂ නායක ධුරයට පත් කරන ලෙසය. එය ඉටු විය.

මම 1994 ට පසුව මහින්ද රාජපක්ෂ මහතා සමඟ නිරන්තරයෙන් කටයුතු කළෙමි. විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස හා රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කරන අතර වූ සිද්ධීන් දෙකක් ගැන සඳහන් කළ යුතුය. නේවාසිකාගාර ප්‍රශ්න මුල්කර ගනිමින් රජරට සිසුන් සාලියපුර ප්‍රදේශයේ භූමි භාගයක් අත්පත් කර ගැනීමත් සමඟ හමුදාව සහ පොලිසිය සිසුන්ට පහර දුන්හ. මේ සිද්ධියෙන් සිසුන් ගණනාවක්ම තුවාල ලැබීය. යළිත් වරක් එම විශ්වවිද්‍යාල භූමියේ යාබද නිවාස සංකීර්ණයක ගොඩනැඟිලි පොලිසියට දීමත් සමඟ යළිත් සිසුහු ඊට මැදිහත් වූහ. මම සිසුන් සමඟ සුහදව කටයුතු කළ අතර මේ පහරදීම වන විට සිටියේ කොළඹය. මට මතක හැටියට සිසුන් 80 දෙනෙක් පමණ මෙම පොලිස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ අතර මිහින්තලේ, අනුරාධපුර ආදී රෝහල්වලට ඇතුළත් කෙරිණි. ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාර ප්‍රශ්නය හා මෙම පහරදීම පිළිබඳ මම විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා දැනුම්වත් කළෙමි. එතුමා ඊට ඍජුව මැදිහත් වූ අතර පාර්ලිමේන්තුවේදී ද මේ ගැන ප්‍රශ්න කළේය. එම මතුකිරීම් සමඟ ඥානම් මහතා රජරට විශ්වවිද්‍යාලයට නේවාසිකාගාරයක් දීමට එකඟ විය. විපක්ෂ නායකතුමා දැනුම්වත් කිරීමෙන් පසුව හා එතුමා පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් මෙම ප්‍රහාරය පිළිබඳ විමසූ පසුව මම ස්ථානාධිපතිවරයා හමු වුණෙමි. මුලදී මීට මැදිහත් නොවන ලෙස ඔහු මගෙන් ඉල්ලා සිටිය ද පසුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන සිසුන් සහ අත්අඩංගුවේ රඳවා සිටි සිසුන් දැකීමට මට අවසර දුන්නේය. ඊට හේතු වූයේ මහින්ද රාජපක්ෂ , විපක්ෂ නායක තුමාගේ මැදිහත් වීමයි.

ශ්‍රීලනිප ප්‍රමුඛ වමේ බලවේග හා ජවිපෙ එක්ව 2004 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය බිහි කර ගැනීම සිදු විය. කෙටි කලක් පරිවාස ආණ්ඩුවක් ලෙස බලය ගෙනයාම සිදු වූ අතර එම වර්ෂයේදීම පැවැති මහ මැතිවරණයෙන් ඒ වන විට එල්.ටී.ටී.ඊ. ය සමඟ ගිවිසුම් අත්සන් කිරීම ආදී ක්‍රියාමාර්ග හේතුවෙන් ජනතා අප්‍රසාදයටත් පිරිහීමටත් ලක්ව සිටි එජාප රජය පරාජයට පත් විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පත් විය. එම ජයග්‍රහණය සඳහා ද එතුමා කැප වූ අයුරු අපි දුටුවෙමු. නව රජයේ අගමැති වශයෙන් පත් ‍ෙකරුණේ මහින්ද රාජපක්ෂ මහතාය. 2005 වසරේදී පැවැති ජනාධිපතිවරණය රටේ අනාගතය පිළිබඳ තීරණාත්මක මැතිවරණයක් විය. මහින්ද මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ගැනීම වෙනුවෙන් සුවිශේෂී උත්සාහයක යෙදීමට සිදු වූ අතර පසුව අපේක්ෂකත්වය ලබා දුන්න ද කකුලෙන් ඇදීම ද සිදු විණි. විශේෂයෙන් සිංහල-බෞද්ධ ජනතාව බහුතරයක් ගත් බුද්ධිමත් තීරණය හේතුවෙන් මේ රටේ හැරවුම් ලක්ෂ්‍යයක් වන එම මැතිවරණය ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් විය. යම් හෙයකින් එය එසේ නොවිණි නම් ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් බිහි වන බව පැහැදිලිය. බලයට පත්වී වසර 3ක් ගත වන විට වසර 30ක් තිස්සේ පැවැති බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධය නිම කරමින් රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය සමත් විය. එතුමන්ගේ සේනාධිනායකත්වය යටතේ එවක ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම හා රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපවීම හමුවේ එම විජයග්‍රහණය මව්බිමටත්, ඒ බිමේ සියලු ජන කොටස්වලටත් දිනා දීමට හැකි විය. 2005 ජනාධිපතිවරණය සඳහා මහින්ද මහතා ඉදිරිපත් කළ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පාදනය කිරීමේ කටයුතුවලට දායක වෙමින් මහාචාර්ය කමල් කරුණානායක,

ආචාර්ය ජගත් වැල්ලවත්ත, මා ඇතුළු අප සමූහයක් කටයුතු කරන අතර දිනපතා විශාල රැස්වීම් ප්‍රමාණයක් ආවරණය කර අරලියගහ මන්දිරයට පැමිණෙන මහින්ද මහතා රාත්‍රී 11.00ට 12.00ට හෝ අප ආහාර ගන්නා අතර පැමිණ එම කාරණා පිළිබඳ සාකච්ඡාවේ යෙදිණි. වරෙක, ඒ වන විට මාත් සමඟ කටයුතු කරමින් සිටි ජවිපෙට ඍජුවම සම්බන්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් අගමැතිවරයාට හඳුන්වා දීමට අපට අවශ්‍ය විය. සුනාමි ව්‍යසනයෙන් පසුව අපත් සමඟ සම්බන්ධ වී ඔබතුමා වෙනුවෙන් කටයුතු කරන බව පවසමින් මා ඔහු හඳුන්වා දෙද්දී එතුමා ප්‍රකාශ කළේ ඔව්, මට මතකයි පුහුල්වැල්ලෙ රැස්වීමේ හිටියා නේද? යනුවෙනි. එම ආචාර්යවරයා ඇඳ සිටි කමිසයේ පාට පවා එතුමාට මතක තිබිණි. පුද්ගලයන් පිළිබඳ ඇති මේ මතකය ද මහින්ද රාජපක්ෂ චරිතයේ විශේෂ ලක්ෂණයකි. තවත් අවස්ථාවක, විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් එම ආණ්ඩු වෙනස සිදු වූ මුල් කාලයේම වාගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවකට මුහුණ පෑවේය. එය තමාට සහ තම පවුලේ අයට තර්ජනයක් යැයි ඔහු කල්පනා කළේ පෙර පැවැති පාලනය ඊට සම්බන්ධයක් තිබේදැයි කල්පනා කරමිනි. ජීවිත තර්ජනයක් ඇතැයි සැක මතු වූ හෙයින් ඔහු මානසික පීඩාවට ලක් විය. නිවසේ සෙසු සාමාජිකයන්ට ද මේ තත්ත්වය බලපෑවේය. මේ පිළිබඳ අගමැතිවරයාට දැනුම් දුන් විගස ඒ පිළිබඳ සොයා බලා ආරක්ෂාව සලසන ලෙසට එතුමා පොලිස්පතිවරයාට උපදෙස් දුන් අයුරු මතකය.

විශ්වවිද්‍යාල ආචාර්යවරු ගෙන ගිය වැටුප් අරගලයේදී, වැටුප් වර්ධකයක් ලබා ගැනීම පිළිබඳ කාරණය විශ්වවිද්‍යාල ආචාර්යවරු 100කට ආසන්න කණ්ඩායමක් ලෙස අප මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉදිරිපත් කළේ මහනුවර ජනාධිපති මන්දිරයේදීය. එවක උසස් අධ්‍යාපන ඇමැති එස්.බී.දිසානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී.බී. ජයසුන්දර, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරු සමඟ ද ජනාධිපතිතුමා මේ ගැන සාකච්ඡා කළ අතර විශ්වවිද්‍යාල ආචාර්යවරු තම පඩිපත ද එතුමාට පෙන්වීය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනුවෙන් පර්යේෂණ හා සංවර්ධන දීමනාවක් දීමට ජනාධිපතිවරයා තීන්දු කළේ එහිදීය.

මේ අන්දමින් එතුමා කුළුපගව කටයුතු කළේ විශ්වවිද්‍යාල ආචාර්යවරු සමඟ පමණක් නොවේ. බිම් මට්ටමේ ජනතාවට එතුමා බෙහෙවින් සමීපය. මහින්ද රාජපක්ෂ යනු ඉතා සංවේදි නායකයෙකි. යම් කරුණක් සම්බන්ධයෙන් කිසිවෙක් සමඟ උරණව දෝෂාරෝපණයක් කළ ද ඔහු ගේට්ටුව ළඟට යාමටත් පෙර ආපසු කැඳවා අදාළ ප්‍රශ්නය සාවධානව විමසීමට තරම් සංවේදි හදවතක් ඔහුට හිමිය. මේ හේතුවෙන් බොහෝ දෙනා ඔහුට අසීමිතව ආදරය කළහ. කිසියම් කාරණයක් සම්බන්ධයෙන් එක් අයෙක් හෝ පාර්ශ්වයක් දැනුම්වත් කළ විට තවත් අය ලවා එය පරීක්ෂා කිරීම එතුමාගේ පිළිවෙතය. එමඟින් අදාළ කාරණය පිළිබඳ ඇති තතු දැන ගැනීමට පුළුවන් විය. එබැවින්, මහින්ද රාජපක්ෂ මහතා ඇන්දවීමට නොහැකි විය. ඒ ඔහු ජනතාව සමඟ සිටි ජනතාවගේ නාඩිය වැටෙනා විදිහ දන්නා නායකයෙකි

0 comment
0

Related Posts

Leave a Comment