Home ගොසිප් පුවත් මහා ප්‍රේක්ෂක ආදරයක් මං මේ මොහොතෙ ලබමින් ඉන්නවා

මහා ප්‍රේක්ෂක ආදරයක් මං මේ මොහොතෙ ලබමින් ඉන්නවා

by Hela news

දෙස් විදෙස් සම්මාන රැසකට හිමිකම් කියන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙක් මෙන්ම අපේ ජන සංගීතය සමඟ එන කලා නිර්මාණ එක්ක මුසු වෙන ආදරණීය නමක් සමන් ලෙනින්. උඩරට, පහතරට හා සබරගමු නර්තන සම්ප්‍රදායන් ගැනත් සිංහල ජන සංගීතය ගැනත් හසළ දැනුම් සම්භාරයක් තිබුණත් ඔහු තවමත් දැනුම සොයා යන පිපාසයෙන් සිටින අපේ කාලයේ සොඳුරු කලාකරුවෙක් විදියට හඳුන්වන්නට පුළුවන්.

මේ දින වල ජන සංගීතය සමඟ ජන නැටුම් සාම්ප්‍රදායේ කන්ද උඩරට නර්තනය මූලික කර ගත් රනිල් කුලසිංහ තරුණ අධ්‍යක්ෂවරයාගේ පානමංකඩ නිර්මාණයෙන් සමන්ව අපට දැක ගන්නට පුළුවන්. ඒ කංකාරියට නටන්නට එවුන් හොයන අපලයා ලෙසින්.

පානාමංකඩ නිර්මාණයේ සංගීත අධ්‍යක්ෂකවරයා වන්නේ ද ඔහුයි. එසේම ඔහු අපලයා චරිතයේ ජීවත් වෙමින් කරන රංග කාර්ය තුළ දී අපලයා චරිතය රඟපාන බවක් අපිට නොදැනේ. එමෙන්නම සමන් ලෙනින් පානමංකඩෙහි තුන් ඉරියව්වෙන් ම දක්ෂතා පෙන්වයි. ඒ සංගීතයෙන්, ගායනයෙන් හා රංගනයෙන්.

මේ සියල්ල නිසාම සිළුමිණ රසඳුන ආදරණීය කතාබහකට සමන් ලෙනින් ව සම්බන්ධ කර ගත්තා.

අපලයාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මම කලා ලෝකයේ නොපැතූ අගය කිරීමක් ලැබෙනවා. ප්‍රවීණ රංගධරයෙක් ලබන්න ඕනේ ආදරයක් මම මේ වෙලාවේ ලබමින් ඉන්නවා. රංග කාර්ය කියන්නේ ලොකු කැපකිරීමක් කරන්න ඕනේ දෙයක්. මම නිරන්තරයෙන් දැනුම හොයන කෙනෙක්. රංගනයෙන් ලැබෙන ආස්වාදය වගේම මගේ දැනුමට එකතු වුණු දේවල් එක්ක මම බොහොම සතුටින් ඉන්නේ.

කොහොමද අපලයා වෙන්න ඉඩ ලැබෙන්නේ

මට මුලින් ම මෙහි තිර රචක සමන්ත ගමගේ තමා කතා ක‌ෙළ්. මෙවැනි නිර්මාණයක් කරන්න යනවා ඔයාට කතා කරයි කියලා. පසුකලෙක ඒ දේවල් අමතක වෙලා යන කාලයකදී රනිල් කුලසිංහ කියන තරුණ අධ්‍යක්ෂවරයා මා සොයා එනවා. ඒ මේ නිර්මාණයේ සංගීත කටයුතු මට බාර දෙන්න. ඒ ආව දවසේ ඉතා පැහැදිලි ව මට කතාව කිව්වා. මමත් ඉතා සංවේදී ව මේ කතාව අහගෙන හිටියා. එතැනදී තමා මට කිව්වේ අයියේ, අයියට මේකේ චරිතයකුත් තියෙනවා. ඒ තමා අර කිව්ව අපලයා ගේ චරිතය කියලා. මම මුලින් ම බෑ කිව්වා. සංගීත වැඩ ටික ආසාවෙන් කරන්නම් චරිතයට කෙනෙක් හොයා ගන්න කියලා. රනිල් කුලසිංහ තමා මට නැවත කිව්වේ නැහැ අයියගේ කතාව පෙනුම මේ හැමදෙයක් ම අයියට ගැළපෙන නිසා අයිය ම මේ චරිතය කළොත් ලොකු දෙයක් කියලා. ඊට පස්සේ මම කල්පනා කරලා මගේ පවුල් වල උදවිය එක්කත් කතා කළා ම මගේ පොඩි අයියත් කිව්වා මල්ලි ඒ චරිතය කරන්න කියලා. ඊට පස්සේ තමා මම චරිතය බාර ගත්තේ.

රංගනයට ඔබට අලුත් දෙයක් නොවෙයි

මම වේදිකා නාට්‍ය නිර්මාණවලට දායක වෙලා තියෙනවා. ඒවායෙන් ඈත් වුණේ අපි හඬ උපරිමයෙන් භාවිතා කරලා ඒ නිර්මාණ ප්‍රේක්ෂකයාට තිළිණ කරද්දී. කලාව ගැන අවබෝධයක් නැති නළුවාගේ රංග කාර්ය කරගන්නට නොදෙන ඉතා අතළොස්සක් පිරිස තවමත් ඉන්න පැති අපිට මුණ ගැහෙනවා. ඒ අයගේ හඬ පරයා කලාකරුවන්ට තමන්ගේ දෙබස් කතා කරන්න වෙනවා. ඒ නිසා මම වේදිකාවෙන් සමු ගත්තා. අන්තිමට මම රඟපෑවේ ජයලත් මනෝරත්න මහත්තයගේ බූරුවා මහත්තයා වේදිකා නාට්‍යයේ පූරකගේ චරිතය. ඊට අමතර ව රන්සිරිමල් නාට්‍යයේ සිරිමල්ගේ තාත්තා ට සහ යස ඉසුරු නාට්‍යයේ රඟපාලා තියෙනවා.

අධ්‍යක්ෂවරයා ගැනත් අපි කතා කළොත්

රනිල් ව මම දකින්නේ ඉතා හොඳ කලා හැකියාවක් තියෙන තරුණ අධ්‍යක්ෂවරයෙක් විදියට. මගේ රංග කාර්ය තුළදී ඇතැම් වෙලාවට අයියේ ඒක නම් නියමෙට කෙරුණා කියනවා වගේම තවත් තැන් වලදී ඒක අපි මෙහෙම කරමුද කියලා අහලා ඉතා හොඳ රංගනයක් අදාළ චරිත නිරුපණයෙන් ලබා ගන්න ඔහු සමතෙක්. මෙතැනදී මම තිර රචක සමන්ත ගමගේත් අපේ අප්පච්චිගේ භූමිකාව රඟ දක්වන ලක්ෂ්මන් මෙන්ඩිස් සහ නිමල් පල්ලෙවත්ත වගේ ආදරණීය කලාකරුවන් ගැනත් කියන්න ඕනේ. මම රංගනයට එතරම් පරිණත කෙනෙක් නොවන නිසා මට මගේ මේ චරිතය කරගන්න ඔවුන් ලොකු සහයෝගයක් දුන්නා.

0 comment
0

Related Posts

Leave a Comment