Home කාලීන පුවත් මහවැලියටත් පාට් දමා අලි කොරිඩෝවේ ඉඩම් බලෙන් අල්ලාගෙන

මහවැලියටත් පාට් දමා අලි කොරිඩෝවේ ඉඩම් බලෙන් අල්ලාගෙන

by Hela news

ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය යෝජිත අලි කොරිඩෝවේ, රක්ෂිත බිම් කොටස් බලහත්කාරයෙන් අත්පත් කරගත් සංවිධානාත්මක පිරිසක් එම කොටසට පිවිසීමට ඩෝසර් යොදා පිවිසුම් මාර්ගයක් ඉදි කරන බවට ලද 119 දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි ගිරාඳුරුකෝට්ටේ පොලිසිය ප්‍රකාශ කළේය.

මහියංගණය, ගිරාඳුරුකෝට්ටේ, උල්හිටිය ගම්මානයේ, වී මෝල් සංකීර්ණ ප්‍රදේශයේ, උල්හිටිය පෙදෙසෙහි පිහිටුවීමට යෝජිත, වස්ගමුව හා මාදුරුඔය වන උද්‍යානය යා කරනා ‘වන අලි කොරිඩෝව’ (වන උද්‍යාන දෙකක් අතර වන අලි ගමන් කිරීමට වෙන් කරන ලද මාර්ගය) සඳහා වෙන් කිරීමට යෝජනා කර ඇති බිම් කොටස දේශපාලන බලය යොදා ගනිමින් සංවිධානාත්මක පිරිසක් පසුගිය මාසය ඇතුළත බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. එම පිරිස රක්ෂිත කැලෑ එළි කරමින්, භූමිය කොටස් කර ගනිමින්, කුඩා කූඩාරම් නිවාස ඉදි කරමින්, ඇතැමුන් බ්ලොක් ගල් යොදා ගනිමින් ස්ථිර නිවාස තැනීම ආරම්භ කරමින් සිටිනා බවට ද ඔවුහු පෙන්වා දෙති. මේ අතරතුර මහවැලි නිලධාරීන්ගේ ද කිසිදු අවසරයකින් තොරව ඩෝසරයක් යොදා පිවිසුම් මාර්ගයක් කැපීම ආරම්භ කර තිබේ. මේ සංවිධානාත්මක පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කරන පුද්ගලයා ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් මහියංගණය සංස්කෘතික මධ්‍යස්ථාන කාර්යාලයේ කාර්යාල සහායකයකු ලෙස සේවය කරනා බවට ප්‍රදේශවාසීහු පවසති. පසුගිය ඡන්ද සමයේ බදුල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන නායකයකු විසින් ඡන්ද ජයග්‍රහණය අරමුණු කරගෙන, මහවැලි සී කලාපයේ ඉඩම් සඳහා බලපත්‍ර දී ඇති බවත් එම ඉඩම්වල හතර මායිම සඳහන් කර නැත.

දේශපාලන අවශ්‍යතාවන්ට ප්‍රමුඛත්වය දී මහවැලිය මඟින් මේ කොටසේ ඉඩම් ජනතාවට බෙදා දුනහොත් වන අලි කොරිඩෝව පිහිටුවීමට නොහැකි බවත්, එම ප්‍රදේශයේ නිරන්තරයෙන් රැඳී සිටිනා වන අලින්ගේ ප්‍රහාරයන්ට ලක්වීමට ඉඩම්ලාභීන්ට සිදු වන බවත් ගිරාඳුරුකෝට්ටේ මහවැලි ගම්වාසීහු පවසති.

මේ පිළිබඳව ගිරාඳුරුකෝට්ටේ මහවැලි කොට්ඨාස කළමනාකාර ක්‍රිෂාන්ත කුමාර මල්වත්ත මහතාගෙන් විමසූ විට මෙසේ පැවසීය.

“අපේ අවසරයකින් තොරව මහවැලියට අයත් භූමියකට ඩෝසර් යොදා පාරක් කැපීම සම්බන්ධයෙන් අපට තොරතුරු ලැබුනා. අපි ඒ සම්බන්ධයෙන් ගිරාඳුරුකෝට්ටේ පොලිසිය ද දැනුවත් කළා. පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරල තියෙනවා. මේ වන විටත් ඔය කියන ප්‍රදේශය අපේ අවසරයකින් තොරව බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින, අපි විසින් හඳුනා ගන්නා ලද පුද්ගලයන් 20කට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් අවසන් අධියරේ තියෙනවා. බලහත්කාරයෙන් ඉඩම් අල්ලාගෙන සිටින පිරිසට අපි දැනුවත් කරලා තියෙනවා ඉඩම් නිරවුල්ව මැන වෙන් කර පෙන්වා දී නැති නිසා සියල්ලට ඉවත් වෙන්න රාජකාරි කටයුතු නිසි පරිදි සිදු කරන තෙක් කියා. ඒ පිරස අපේ අදහස්වලට ඇහුම්කන් නොදී බලහත්කාරයෙන් ඉඩම් ඇල්ලීම සිදු කරනවා.”

0 comment
0

Related Posts

Leave a Comment