Home විදෙස් පුවත් මවු රට හැර දමා හින්දූන් කොහේ යන්නද? කියනු බංගලි මිතුරනේ…..

මවු රට හැර දමා හින්දූන් කොහේ යන්නද? කියනු බංගලි මිතුරනේ…..

by Hela news

30 ඔක්තෝබර්, 20210FacebookTwitterEmailWhatsAppViberටිරෝනි වෑවලගේවිදෙස්

අසල්වාසියකු හෝ මිත්‍රයකු හෝ පෙනි පෙනී අමාරුවේ වැටෙන්නේ නම් එය කණගාටුවට කරුණකි. එවිට සැබෑ හිතවතකු ලෙස කළ හැකි වන්නේ අවවාද දී ඇති වීමට යන ගැටලුවෙන් මිදීමට මිත්‍රයාට, අසල්වැසියට සහය වීමය. දැන් අප අසල්වැසි බංග්ලාදේශය වෙනුවෙන් අපද එවැනි අවවාද දීමක් කළ යුතුව ඇතැයි සිතේ. ඒ බංග්ලාදේශය මේ වන විට වේගයෙන් ආගමික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින බැවිනි.

ශ්‍රී ලංකාවට සංවර්ධනය කරා යන ගමනේදී ඇතිවූ විශාලතම බාධකය වූයේ ජනවාර්ගික අර්බුදයයි. එය අපේ රටේ, අපේ ජනතාවගේ ජිවිත සහමුලින්ම වෙනස් කර දැමුවේ නරක පැත්තටය. අපි තවමත් එහි අතුරු ප්‍රතිඵල විඳිමින් සිටිමු.

බංග්ලාදේශය සතුව ඇත්තේ කෙටි කාලීන ඉතිහාසයකි. නැගෙනහිර පකිස්ථානය ලෙස ස්ථාපිත කිරීමෙන් පසුව ස්වාධීන රාජ්‍යයක් ලෙස විතැන් වුණු බංග්ලාදේශය එතැන් සිට තම ඉදිරි ගමන ඇරඹීය. සැබවින්ම බංග්ලාදේශය කෙටි කලකින් විශාල දියුණුවක් ලැබූ රටකි. ස්වභාවික උපද්‍රව බොහෝ තිබුණද තම ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට, නිෂ්පාදන වර්ධනය කර ගැනීමට බංග්ලාදේශ ජනතාව සමත් වූහ. එක් අවස්ථාවකදී ඇඟලුම් ක්ෂේත්‍රයේ අප රටට ප්‍රභල තරගකරුවකු බවට බංග්ලාදේශය පත්වූ බවද අමතක කළ යුතු නැත.

එහෙත් දැන් මේ සාමකාමී රටට ගිනි ඇවිළීමට යන බවට සලකුණු සැමතින්ම දක්නට ලැබේ. හින්දු මුස්ලිම් ආගම් අතර පැවති නුරුස්නා ස්වභාවය මේ වන විට ගැටුමක් බවට පත්ව ඇති අතර එකින් එක ජිවිත එයට බිලි වෙමින් තිබේ.

බංග්ලාදේශයේ හින්දු මුස්ලිම් ගැටුම් ඇතිවීමේ දීර්ඝ ඉතිහාසයක් නැතැයි පැවසීමට නොහැකි වුවද පකිස්තානයේ මෙන් නොව බංග්ලාදේශයේ ආගමික සහජීවනය පැවතිණ. එහෙත් මියන්මාරයේ රොහින්ග්යා සරණාගතයන්ට බංග්ලාදේශය හැර අන් සරණක් නොවන තැනදී මුස්ලිම් රටක් ලෙස බංග්ලාදේශය සෙසු ආගමිකයන් තම රටේ නොසිටිය යුතුය යන වැරදී තීරණයට පැමිණියහ.

මුස්ලිම් පිරිස් විසින් විනාශ කර දැමූ දේවරූප

මේ වන විට එරට සුළුතර හින්දු භක්තිකයන් දැඩි ජීවිත අවධානමකට මුහුණ දෙමින් සිටින්නේ මුස්ලිම් රටක් ලෙස මුස්ලිම්වරුන් පමණක් එහි ජිවත් විය යුතු යැයි යනුවෙන් එරට මුස්ලිම් බහුතරය විසින් පනවා ඇති නියෝග යටතේය. මේ වාතාවරණයෙන් දැනට වාර්තා වුණු භයානකම සිදුවීම පසුගිය ඔක්තෝබර් 15වැනිදා කොමිලියා හිදී වාර්තා විය. එදින එම ප්‍රදේශයේ කෝවිලක දුර්ගා පූජාවක් පැවැත්වෙමින් තිබුණු අතර බොහෝ හින්දු ජනතාව එම පූජාවට සහභාගී වෙමින් සිටියහ. එම අවස්ථාවේදී හින්දු ගම්මානයට කඩා වැදුණූ මුස්ලිම් ජනතාව හින්දු නිවැසියන්ගේ නිවාස විනාශ කර දමා අවසානයේ පූජාව පැවැත්වෙමින් තිබුණූ කෝවිල වෙතද ප්‍රහාර එල්ල කළහ. එහි වූ දේවරූපවල හිස් ගසා දමා තිබෙණ ඡායාරූප ජාත්‍යන්තර මාධ්‍යවල බොහෝ සේ ප්‍රචාරය විය. මේ ව්‍යසනකාරී සිදුවීම් මාලාව අවසාන වූයේ හින්දු භක්තිකයන් දෙදෙනෙක් මුස්ලිම්වරුන් අතින් මියෑමෙනි.

හින්දුවරුන් මේ සිදුවීමෙන් පුදුමයට පත් නොවූයේ වරින්වර ඔවුන් වෙත එල්ල කෙරුණු තර්ජන හේතුවෙන් මෙවැනි ප්‍රහාරයක් කිනම් හෝ මොහොතක ඔවුන් වෙත එල්ල වන බවට දැණුනු ඉව හේතුවෙන් විය හැකිය. දැන් බංග්ලාදේශය පුරා හින්දු ජනතාව වීථි බසිමින් එරට රජයෙන් ඉල්ලා සිටින්නේ තම ජීවිතාරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙසයි. එහෙත් බහුතර මුස්ලිම් ජනතාව පවසන්නේ එරට මුස්ලිම් රටක් වන බැවින් හින්දුවරුන් තවදුරටත් රටේ සිටිය යුතු නැති බවයි. මෙය ඇතැම්විට රොහින්ග්යා සරණාගතයන් මුස්ලිම් රටක් වෙත එවීම වෙනුවෙන් එකට එක කිරීමක් සේ සැලකිය හැකිය. හින්දු මුස්ලිම් ගැටුම්වලින් අඩුවක් ඉන්දියාවට නම් නැත. එහෙත් ගැටුම් වරින්වර පැවතියද අදටත් ඉන්දියාවේ හින්දු සහ මුස්ලිම් ජනතාව එකසේ ජීවත් වන බව නම් පැවසිය යුතුය. සිදුවන්නේ කාලානුරූපව දේශපාලනික අවශ්‍යතා මත ගැටුම් ඇතිවීම පමණක්මය.

සැන් බංග්ලාදේශයේ මෙතෙක් පැවති සාමකාමී වාතාවරණයට කණකොකා හඬා තිබේ. අන් ගැටුම් මෙන් නොව රටක ජාතිවාදී සහ ආගම්වාදී ගැටුම ඇතිවීම යනු රට සහමුලින්ම විනාශ වීමය. ඒ ගැන කතා දෙකක් නැත.

බංග්ලාදේශයේ ඇතිවූ මේ ආගම්වාදී ව්‍යසනකාරී සිදුවීම ලොව පුරා රටවල් රාශියක් හෙළා දුටු අතර ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වහාම බංග්ලාදේශ රජයට බල කර සිටියේ එරට වෙසෙන හින්දු ජනතාවගේ ජීවිත අරක්ෂා කරන ලෙසටයි.

බංග්ලාදේශ් රජය මේ වන විට උපරිම උත්සාහ දරමින් සිටින්නේ ආගමික ගැටුම් දුරදිග යෑමෙන් තොරව පාලනය කර ගැනීමටය. දිස්ත්‍රික්ක 15ක පමණ සමාජ මාධ්‍ය අවහිර කිරීමට බලධාරින් මේ දක්වා කටයුතු කර තිබූ නමුත් ගැටුම් පාලනය කිරීම පොලීසිය ගත් උත්සාහයේදී තවත් පුද්ගලයන් හතර දෙනෙකු මියගොස් ඇති බව ද වාර්තා විය. මේ වන විටත් බංග්ලාදේශය පුරා තැනින් තැන මහජන ඒකාරාශී වීම් වාර්තා වන අතර ඒවා ගැටුම් දක්වා දුර දිග යෑමට විශාල ඉඩක් පවතින බව වාර්තා වේ. හින්දු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඇමරිකාව ප්‍රමුඛ රටවල් රැසක් බංග්ලාදේශ රජයෙන් ඉල්ලා ඇති අතර එරට හින්දු ජනතාව පවසන්නේ තම මවු රටේ සමාන සැලකුම් ලැබීමට තමන්ට අයිතියක් ඇති බවයි.

සැබවින්ම මේ කලහකාරී වාතාවරණය සමනය කර ගැනීමට බංග්ලාදේශ රජය සමත් වන්නේ නම් ජාතිවාදී ගැටුම් හේතුවෙන් තවමත් දුක් විඳිනා අසල්වැසියන් ලෙස එය අපගේද සිතට සැනසිල්ලක් වනු ඇත.

0 comment
0

Related Posts

Leave a Comment