Home කාලීන පුවත් මව්පියන් දරුවන් සම්බන්ධව පැහැදිලි අවබෝධයකින් සිටිය යුතුයි

මව්පියන් දරුවන් සම්බන්ධව පැහැදිලි අවබෝධයකින් සිටිය යුතුයි

by Hela news

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව

  • 1929 අංකය හරහා ළමා අපචාර ගැන දැනුම් දීම හා උපදේශනවලට යොමු වීම කළ හැකියි
  • පොලිසිය සිටින්නේ පාසල් සහ ඒ අවට පරිසරය සහ ළමයින් පිළිබඳ අවධානයෙන්
  • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, වෙනත් අපරාධකරුවන් පාසල් දරුවන් හසු කර ගැනීමට මාන බැලිය හැකියි

යහපත් දරුවකු නිර්මාණය කිරීම තුළ යහපත් රටක්, යහපත් හෙටක් නිර්මාණය වනු ඇත. ඒ උදෙසා පළමු කොටම දරුවකු, වින්දිතයකු හෝ අපරාධකරුවකු නොවන තැනට වගබලා ගත යුතුය. එසේ නම් එය සිදු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා සමඟ දිනමිණ සිදු කළ සාකච්ඡාවකි මේ.

දරුවන් සම්බන්ධයෙන් මෙරට පවත්නා නීතිමය පසුබිම කෙබඳු වූවක් ද?

ළමයකු ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 18ට අඩු මානවයකු බවයි අන්තර්ජාතික පිළිගැනීම. එහෙත් විවිධ රටවල සකස් කර ගනු ලබන නීති අනුව ළමයා යන්න වෙනස් ලෙස අර්ථකථනය කළ හැකියි. ඒ වගේ ම වයස් සීමා තීරණය කළ හැකියි. ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ළමා සම්මුතියට අත්සන් තැබුවේ 1991දී. 1992 වන විට අප ළමා ප්‍රඥප්තිය සකස් කර ගත්තා. මෙරට මූලික නීතිය තුළ එනම් 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ළමයි සම්බන්ධව විශේෂ විග්‍රහයක් සිදු කර තිබෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තියෙන් දැක්වෙන්නේ සර්ව සාධාරණත්වයේ අයිතිය පිළිබඳවයි. එහෙත් 12හි iv වන ව්‍යවස්ථාවෙන් පැහැදිලිව කියනවා ළමයි සහ කාන්තාවන් සම්බන්ධව යම්කිසි

සුවිශේෂී නීති, අනුනීති සකස් කිරීමට එම වගන්තිය බාධාවක් නොවන බව. රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙය වීමේ මූලධර්ම අනුව 27 හි xiii වන ව්‍යවස්ථාවෙන් කියැවෙනවා විශේෂයෙන් ම

ළමයින් සහ යෞවනයන් ආගමික, සදාචාරත්මක සහ මානසික වශයෙන් වර්ධනය කිරීමටත් යම් යම් ආත්මාර්ථකාමී කටයුතු සඳහා ළමයින් උපයෝගී කර ගැනීම වැළැක්වීමටත් අවශ්‍ය කරන උපරිම කැපවීමකින්, ප්‍රයත්නයකින් රජය කටයුතු කළ යුතු බව. මීට අමතරව 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරී පනත තුළින් ළමා අපචාර සම්බන්ධ ව අවශ්‍ය කරන නියාමනයන් සිදු කිරීම, ඒවා සම්බන්ධව ප්‍රතිපත්ති සකස් කිරීම, අදාළ සම්බන්ධීකරණයන් සිදු කිරීම වැනි සියලු කාරණා සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවා ළමයින් සම්බන්ධයෙන් අවශ්‍ය කරන නියාමන ක්‍රමවේදයන් සකස් කිරීමට අවශ්‍ය කරන නීතිමය පසුබිම සකසා තිබෙනවා.

මෙරට විවිධ නීති හා අනපනත්වල දී ළමයා සම්බන්ධයෙන් දක්වන්නේ විවිධ වයස් සීමාවන් වීම ගැටලුවක් නොවේ ද?

ඇත්තෙන් ම මෙරට විවිධ පනත් යටතේ

ළමයකු ලෙස හැඳින්වීමේ දී යොදාගන්නා වයස් සීමාවන්වල ගැටලුවක් තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ දී පවා ඇතැම් වගන්තිවල දී වයස් සීමාවන් වෙන් කොට දක්වනවා. ඒවා ඉතිහාසයේ ඒ ඒ කාලවකවානුවල මේ පනත් සකස් කරන විට ඒ ඒ කාලීනව, අවස්ථානුකූලව කරනු ලබන සලකා බැලීම් අනුව කළ වයස් විග්‍රහයන් බව පැහැදිලිව පෙනෙනවා. කෙසේ වෙතත් ඉතිහාසයේ සිට පැරැණි නීති ක්‍රමයක් ළමයින් සම්බන්ධව අපත් සමඟ පැමිණ තිබෙනවා. වර්තමානය වන විට මේ පැරැණි නීති සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයාගේ විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. එසේම ළමයින් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වීමක් දකින්නට තිබෙනවා. එනිසයි මේ පැරැණි නීති සංශෝධනය කරමින්, දැනට පොදු එකඟතාවක් අනුව මේ සම්බන්ධව වයස් සීමාව අවුරුදු 18 දක්වා ගෙන ඒමට අවශ්‍ය කරන කටයුතු මේ වන විට සිදු වෙමින් තිබෙන්නේ. එසේම බොහෝ පනත්වල වයස් සීමාවන් ඉහළ දැමීම සිදු කළා. ළමයකු ලෙස සලකන වයස් සීමාව අවුරුදු 18 දක්වා ගෙන ඒමට අවශ්‍ය කරන පනත් කෙටුම්පත් සකස් කිරීම් මේ දිනවල ලහි ලහියේ සිදුවෙනවා. මේ වන විට ළමාරක්ෂක

අධිකාරියේ මූලිකත්වයෙන් අමාත්‍යවරයාගේ මෙහෙයවීම සහ උපදෙස් අනුව ළමා හා යෞවන ආඥා පනතට අවශ්‍ය කරන නව රෙගුලාසි පද්ධතියක් ගෙන ඒමට කටයුතු සැකසෙමින් තිබීම විශේෂත්වයක්. ඒ අනුව ළමයින් සඳහා වෙනම අධිකරණ පද්ධතියක් (ළමයින්ට මිතුරු අධිකරණ පද්ධතියක්) සකස් කිරීම, මහේස්ත්‍රාත් අධිකරණවල දී කටයුතු කළ යුතු ආකාරය, පොලිසියේ විමර්ශන සිදු විය යුතු ආකාරය, පරිවාස නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නව රෙගුලාසි මේ ළමා හා යෞවන පනතට අදාළ වන ආකාරයට සාකච්ඡා කරමින්, දැනට අවසාන අදියරට පැමිණ සිටිනවා. ළමයින් සම්බන්ධ නීති ගැන කතාබහ කිරීමේ දී දැනට අප දන්නවා පරිගණක අපරාධ පනත, අසභ්‍ය ප්‍රකාශන පනත, 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රයට ඇතුළු වූ සංශෝධන, අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන වැනි නීති සහ සංශෝධන

රාශියක් හරහා ළමයින් සම්බන්ධව තිබෙන විවිධ වැරැදි පිළිබඳවත් විශාල වශයෙන්ම

ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා ළමයින් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය, කාර්ය පටිපාටිය, දඬුවම්, ළමයින් සම්බන්ධ ව සිදු වන අපරාධ කොටස් වශයෙන් හොඳින් විග්‍රහ කොට මේ නීතිය සකස් කර තිබෙනවා.

පසුගිය කාලය තුළ ළමයින් සම්බන්ධ අපරාධ ක්‍රියාවල වැඩි වීමක් දැකිය හැකි වුණා. මෙවැනි අපරාධ ක්‍රියා සම්බන්ධයෙන්

පොලිසියට දැනුම් දිය හැකි ක්‍රමවේද මොනවා ද?

පොලිසිය ලෙස අපට පැවරී තිබෙන්නෙ විමර්ශන කාර්යභාරයක්. ළමයින් සම්බන්ධ ව සිදු වන අපරාධ සම්බන්ධයෙන් අපට දැනුම් දිය හැකි ක්‍රමවේද කිහිපයක් තිබෙනවා. සෑම පොලිස් ස්ථානයක ම ළමා හා කාන්තා කාර්යාංශයක් ස්ථාපිත කර තිබෙනවා. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය වශයෙන් තිබෙන පොලිස් කොට්ඨාස 44 තුළ ම කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයක් තිබීම විශේෂත්වයක්. මීට අමතරව පොලිස් මූලස්ථානයට අනුයුක්තව තිබෙනවා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය. සම්පූර්ණයෙන් ම පොලිසිය විසින් ළමයින් සම්බන්ධව සහ කාන්තාවන් සම්බන්ධව කරන කටයුතු නියාමනය කිරීම, අධීක්ෂණය කිරීම, විමර්ශන සම්බන්ධ ව උපදෙස් ලබා දීම වැනි මූලික කටයුතු සිදු වන්නේ මෙතුළින්. එපමණක් නොවෙයි 0112444444 දුරකථන අංකය ඔස්සේ එම කාර්යාංශයට සෘජුව පැමිණිලි යොමු කිරීමට ද මහජනතාවට අවස්ථාව සලසා දී තිබෙනවා. පොලිසියේ ව්‍යූහය මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙද්දී විශේෂයෙන් ම ජනතාවට කිව යුතුයි, ළමයින්ට විරුද්ධව අපරාධයක් වන විට අහක බලන් ඉන්න එපා කියන කාරණාව. මේ දුරකථන අංකවලට කතා කරලා දැනුම් දෙන්න. ඕනෑම අයකුට මේ සම්බන්ධයෙන් පැමිණිලි යොමු කිරීමට අවස්ථාව දී තිබෙනවා. එහි රහස්‍යභාවය අප රකිනවා. ළමයින් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විශේෂයෙන් ම මූලිකත්වයෙහිලා සැලකිය යුතුයි කියන පදනමෙයි අප සිටින්නේ.

ළමයකු සම්බන්ධයෙන් අපරාධයක් වාර්තා වූ විට ජනමාධ්‍ය තුළින් ළමයාගේ අනන්‍යතාව හෙළිදරව් කිරීම කොතරම් දුරට සුදුසු ද?

ළමයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී සියලු මාධ්‍ය ඉතාමත් සංවේදී විය යුතුයි. ළමයින් සම්බන්ධ අපරාධවල දී මාධ්‍යය මඟින් වාර්තා කළ යුතු යම් යම් කරුණු තිබෙනවා. සිදුවීම් වාර්තා කළ හැකියි. මහජනතාව දැනුම්වත් කළ යුතුයි. එහෙත් එය එක්තරා සීමාවක් තුළ සිදු විය යුතු කාරණාවක්. ළමයාට යම්කිසි අපහසුතාවක් ඇති වන ආකාරයට ළමයා සම්බන්ධයෙන් යම් යම් තොරතුරු, ඡායාරූප වැනි දේ හෙළිකිරීම සුදුසු බව මා සිතන්නේ නැහැ. මාධ්‍ය ආයතන ළමයි සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී මනා පාලනයකින් සහ සංයමයකින් යුතුව ඒ තොරතුරු ඉදිරිපත් කරනවා නම් ඉතාමත්ම හොඳයි.

ළමයකු අපරාධකරුවකු හෝ වින්දිතයකු නොවීමට වගබලා ගන්නේ කෙසේ ද?

ළමයින් සම්බන්ධ ව සිදු වන ස්ත්‍රී දූෂණ පිළිබඳ ව කතා කිරීමේ දී මේ ස්ත්‍රී දූෂණ වැඩි වශයෙන් සිදු වී තිබෙන්නේ ප්‍රේම සබඳතා මත. 2017 සිට 2020 දක්වා කාලසීමාව තුළ ළමයින් සම්බන්ධ ස්ත්‍රී දූෂණ 4492ක් සිදු වී තිබෙනවා. මේ අතරින් වැඩි ප්‍රමාණයක් සිදු වී තිබෙන්නේ වයස අවුරුදු 16ට අඩු දරුවන් ඇති කර ගත් ප්‍රේම සබඳතා මතයි. එසේම එම කාලසීමාව තුළ ළමයින් ඝාතනය කිරීම් වාර්තා වනවා 96ක්. ඒ අතරින් ළමයින් 51 දෙනකුම ඝාතනය වී ඇත්තේ මව හෝ පියා අතින්. වෙනත් ඥාතීන් අතින් ඝාතනය වී තිබෙනවා 17ක්. ඥාතීන් නොවන අයගෙන් සිදු වී තිබෙන්නේ 28ක් පමණ. මෙවැනි අපරාධවල වින්දිතයන් බවට දරුවන් පත්වීම වළක්වා ගැනීමේ වැඩිම හැකියාවක් ඇත්තේ මව්පියන්ටයි. පොලිසිය ලෙස අප බොහෝ විට ඉදිරිපත් වන්නේ සිද්ධියක් සිදු වූ පසු එය විමර්ශනය කිරීම සඳහා යි. එහෙත් ළමයා සම්බන්ධයෙන් වන අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම නොවෙයි වැදගත් වන්නෙ. ළමයාට එරෙහි ව යම් අපරාධයක් සිදු වනවා නම්, ඔහු වින්දිතයකු බවට පත් වෙනවා නම් එසේ වීමට ඉඩ නොදී එය වළක්වා ගැනීමයි වැදගත්ම කාරණය වන්නේ. එනිසා මව්පියන් දරුවන් පිළිබඳව ද ඔවුන් සම්බන්ධයෙන් තමන්ට ඇති වගකීම පිළිබඳව ද පැහැදිලි අවබෝධයකින් සිටිය යුතුයි.

ළමයින් සම්බන්ධ අපරාධ වැඩි වීමට සමාජයේ ඇති නොදැනුම්වත්භාවයත් හේතුවක්. මේ පිළිබඳව ඔබේ අදහස කුමක් ද?

පැහැදිලිව ම දැනුම්වත්භාවය අඩුයි. උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ නම් නොදැනුම්වත්කම නිසා බොහෝ විට ඇතැම් පුද්ගලයන් අඩු වයසින් විවාහ වෙනවා. දරුවකු අඩු වයසින් ප්‍රේම සබඳතා ඇති කර ගන්නා විට මව්පියන්ට ඒ පිළිබඳ ව අවබෝධයක් නැති වීම ගැටලුවක්. විශේෂයෙන් ම එවැනි දරුවන් මව්පියන්ගේ ග්‍රහණයෙන් මිදුණු නිසයි එවැනි තත්ත්වයක් ඇති වී තිබෙන්නේ. මව්පියන් විසින් දරුවන් ඝාතනය කිරීම වැනි දේවලින් ඇතැම් විට පෙනෙන්නේ අධික මානසික ආතතිය විය හැකියි. අඩු වයසින් හැඟීම්වලට වහල් වී විවාහ වූ ඇතැම් මව්පියන්ට සුදුසු ජීවනෝපායක්, පවුල් ජීවිතයක් පවත්වාගෙන යෑමට තරම් පරිණත බවක් නැතිව දැඩි පීඩාවකට පත්ව සිටිනවා විය හැකියි. විවාහ වූ පසු ජීවත් වීමට ක්‍රමයක් නැහැ. ළමයින් ජීවත් කරවීමට ක්‍රමයක් නැහැ. ජීවිතය ගෙන යෑමට තරම් ඔවුන් පරිණත නැහැ. ඒ පරිණත නොවීම තුළ ළමයා ඔවුන්ට කරදරයක් විය හැකියි. එනිසා මව්පියන් අතින් දරුවා ඝාතනය විය හැකියි. ඇතැම් විට දරුවන්ට තිබෙන ආදරය නිසා ම ඔවුන් වරදින් මුදාගැනීමට සහ හදා ගැනීමට ක්ෂණික කෝපය තුළ මව්පියන් එල්ල කරන පහරක් වැරදී ගොස් වචනයක් වැරදී ගොස් දරුවන් මිය ගිය සහ සියදිවි හානි කර ගත් අවස්ථා ද වාර්තා වීම ශෝචනීයයි. එසේ ම අනියම් සබඳතාවලට, ලිංගික හැඟීම්වලට වහල් වීම වැනි තත්ත්වයන් තුළ ඉපදෙන දරුවා සමාජයට රැගෙන යන්න බැරි බව නිසා මාපියන් විසින් ම ඝාතනය කරන අවස්ථා ද සමාජයෙන් කොතෙකුත් වාර්තා වෙනවා. එවැනි අවස්ථාවල දී සමාජය විසින් ඒ මව්පියන්ගේ මනස ඒ සඳහා පොළඹවනු ලබනවා.

ස්මාර්ට් දුරකථන සහ පරිගණක භාවිතය නිසාත් වර්තමානයේ දී ළමයින් විවිධ අපරාධකරුවන්ගේ ගොදුරු බවට පත්වෙනවා නේ ද?

විශේෂයෙන් ම කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ළමයින් නිවෙසේ සිට මාර්ගගත අධ්‍යාපනය ලැබීමට හුරු වුණා. ඉදිරියේ දී සියලු පාසල් නැවත ආරම්භ වීමෙන් පසුවත් මෙය තවදුරටත් භාවිතා විය හැකියි, සමාජය මේ වන විට ඊට හුරු වී සිටින නිසා මෙය විශේෂයෙන් කතාබහ කළ යුතු කරුණක්. ළමයින්ට ස්මාර්ට් දුරකථනයක්, පරිගණකයක් භාවිතා කිරීමට දෙනවා නම් එයට අන්තර්ජාල සබඳතාවය සපයා දෙනවා නම් මව්පියන් විසින් සැලකිලිමත් විය යුතු මූලික කාරණා කිහිපයක් ම තිබෙනවා. මූලිකව ම මාර්ගගත අධ්‍යාපනය දෙන ගුරුවරයා සමඟ මව්පියන් පෞද්ගලිකව සම්බන්ධ වී කටයුතු කළ යුතුයි. කුමන වේලාවේද දරුවාට දේශන තිබෙන්නේ? කුමන දේශනය ද සිදු කරන්නේ? ඒ සඳහා කොතරම් කාලයක් ගතවනවා ද? වැනි කරුණු ඒ ඇති කර ගන්නා සුහදතාව මත දැන ගත යුතුයි. එවිට මව්පියන්ට හැකියාව තිබෙනවා අවශ්‍ය වේලාවට පමණක් දරුවාට එම උපාංග සහ අන්තර්ජාල සබඳතා ලබා දී දේශන අවසානයේ ඒවා නැවත දරුවාගෙන් ඉවත් කිරීමට. එය දරුවාට හුරු කළ යුත්තේ මුල් අවධියේ සිටමයි. ළමයාට මේවා නිදහසේ හිතුමතේ භාවිතයට ඉඩ නොතැබිය යුතුයි. මන්ද දරුවන් විවිධ භයානක පරිගණක ක්‍රීඩා සහ අසභ්‍ය දර්ශන නැරඹීමට හුරුවීම තුළ විවිධ විනාශකාරී අන්තයන්ට එළැඹිය හැකියි. එනිසා අන්තර්ජාලය පිළිබඳ ව මව්පියන්ට ද යම් අවබෝධයක් තිබීම වඩා වැදගත්. ළමයාගේ මාර්ගගත අධ්‍යාපනය කටයුතු අවසන් වූ පසු ළමයාව වෙනත් බාහිර ක්‍රියාකාරකම් සහ විනෝදාංශ සඳහා යොමු කළ යුතුයි. එතුළ ළමයාට අන්තර්ජාලය තුළ සැරිසැරීමට තිබෙන අවශ්‍යතාව සහ අවස්ථාව අඩු වනවා. අනිවාර්යයෙන්ම මව්පියන් කොතරම් කාර්යබහුල වුවත් දරුවන් හා කතාබහ කිරීමට සහ ඔවුන්ගේ ප්‍රශ්න හඳුනාගැනීමට දිනයේ යම් වේලාවක් යොදා ගත යුතුයි. එවිට දරුවා ගැන අවබෝධයක් ලබා ගත හැකියි. එසේ නොකොට දරුවා යම් වරදක් කළ විට දැඩි සේ තරවටු කිරීම, ස්මාර්ට් දුරකතනය, පරිගණකය උදුරා ගැනීම, අන්තර්ජාල සබඳතා නවතා දැමීම වැනි දේ තුළ ළමයා කිපෙන්නට පුළුවන්. ළමයා යනු පරිණත කෙනෙක් නොවෙයි. එනිසාම ක්ෂණිකව නුසුදුසු තීරණවලට එළැඹිය හැකියි. මව්පියන් දරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ අවබෝධයෙන් සහ ප්‍රවේශමෙන්.

ළමයින් දිගු කලක් පාසලෙන් දුරස්ථව සිටියා. නැවත ළමයින් පාසල් පරිසරයට අවතීර්ණ කිරීමෙහිලා සමාජය සතු වගකීම කෙබඳු වූවක් ද?

ළමයින් යනු මව්පියන්ගේ වස්තුවක් වගේ ම සමාජය සතු වස්තුවක්. අනාගත සමාජය නිර්මාණය කරන්නේ ඔවුන්. එනිසා මව්පියන්ට වගේම සියලුම වැඩිහිටියන්ට නෛතික බැඳීමක්, සමාජ වගකීමක් තිබෙනවා ළමයින්ව ආරක්ෂා කිරීමට සහ ළමයින්ට එරෙහිව වරදක් සිදුවන අවස්ථාවක එය වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම උදෙසා අදාළ අංශ වෙත දැනුම් දීමට. තම නිවෙසේ වැඩෙන දරුවාගේ සෞඛ්‍යය, ආහාරපාන, ඇඳුම් පැලඳුම්, අධ්‍යාපනය වැනි අවශ්‍යතා මව්පියන් විසින් නොපිරිහෙලා සපුරාලිය යුතුයි. නිරන්තරයෙන් ළමයා පිළිබඳ ව අවධානයෙන් සිටිය යුතුයි. සංවේදී ව කටයුතු කළ යුතුයි. ඒ තුළ තමයි ළමයාව ආරක්ෂා කර ගත හැක්කේ. දරුවන් මේ නැවත පාසල් යන්නේ බොහෝ කාලයක් නිවෙසටම කොටු වී සිටීමෙන් අනතුරුවයි. මේ වන විට පාසලේ පරිසරයත් යම් යම් ස්වාභාවික හේතු මත වෙනස් වී තිබෙන්නට පුළුවන්. මෙවැනි අවස්ථාවල ළමයින් යම් යම් අනතුරුවලට ලක්වීමේ අවදානමක් තිබෙනවා. කුමක් නිසා ද කියනවා නම් නිතරම ළමයින්ට හෝ වැඩිහිටියන්ට අනතුරක් සිදුවන්න බලපාන්නේ තමන්ට හුරු පරිසරය නොවෙයි, අලුත් පරිසරයක්.

වසර එකහමාරක් දෙකක් නිවෙසටම වී සිට නැවත පාසල් යන විට පාසල තුළ ඔවුන් මීට පෙර දුටු පරිසරය බෙහෙවින් වෙනස් වී තිබෙන්නට පුළුවන්. මෙවැනි තත්ත්වයක දී ළමයින් අනතුරකට පත් විය හැකි බැවින් ඒ පිළිබඳ ව අවධානය යොමු කිරීම විශේෂයෙන් ම මව්පියන්ගේ, පාසලේ ගුරුවරුන්ගේ සහ වැඩිහිටියන්ගේ වගකීමක්. අනාරක්ෂිත තත්ත්වයන් පාසල තුළ තිබෙනවා නම් ඒවාට පිළියම් යෙදීම වැදගත්. එසේම නැවත පාසල් ආරම්භ කිරීමත් සමඟ පෙර මෙන් ම විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, වෙනත් අපරාධකරුවන් පාසල් දරුවන් හසු කර ගැනීමට මාන බැලිය හැකියි. එවැනි තත්ත්වයන් ගැන අවධානයක් යොමු කළ යුතුයි. පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් පවත්වාගෙන ආ ක්‍රමවේදය පාසල් නැවත ආරම්භ කිරීමට සාපේක්ෂව පෙර තිබූ තත්ත්වයටම නැවත ආරම්භ කරනවා. පාසල් අවට ළමයින්ට වැරැදි දේ විකිණීමට, ළමයින් වැරැදි දේට පොළඹවා ගැනීමට පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටීමට බුද්ධි නිලධාරින් යොදනවා.

පොලිසිය සිටින්නේ පාසල් පිළිබඳව, ඒ අවට පරිසරය පිළිබඳ ව සහ ළමයින් පිළිබඳ ව අවධානයෙන්. මව්පියන්ට ඒ සම්බන්ධයෙන් යම් උපදෙසක් ගැනීමට අවශ්‍ය නම් පොලිසියේ තිබෙන ළමා හා කාන්තා කාර්යාංශවලට යොමු විය හැකියි. කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යංශය දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන මඟින් උපදේශන සේවාවක් පවත්වාගෙන යනවා. එසේම එවැනි කාරණා සම්බන්ධ ව සහාය දීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල තිබෙන ළමා හා කාන්තා ඒකකවල පුහුණු නිලධාරිනියන් විශේෂයෙන් ම සූදානම් ව සිටිනවා. විශේෂයෙන් ම 1938 දුරකථන අංකය ඔස්සේ ළමා හා කාන්තා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයත් 1929 දුරකථන අංකය ඔස්සේ ළමාරක්ෂක අධිකාරියත් සමඟ සම්බන්ධ වී ළමා අපචාර පිළිබඳ ව දැනුම් දීම හා උපදේශන සේවාවලට යොමු වීම ඔස්සේ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැකියාව සපයා දී තිබෙනවා.

0 comment
0

Related Posts

Leave a Comment