Home දේශීය පුවත් මව්පියන් උසිගන්වන්න ඇතැම් ගුරු සංගම් කැසකවනවා

මව්පියන් උසිගන්වන්න ඇතැම් ගුරු සංගම් කැසකවනවා

by Hela news

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ

ගුරු සංගම් යැයි කියාගන්නා සංගම් කිහිපයක් උද්ඝෝෂණ සඳහා මව්පියන් සම්බන්ධ කර ගැනීමට පන්ති භාර ගුරුවරුන් මාර්ගයෙන් මව්පියන්ට බලපෑම් කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය ‘දිනමිණ‘ට පැවසුවාය.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයවීමෙන් පාසල් ඉදිරිපිට අද (3) පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ සම්බන්ධයෙන් දිනමිණ කළ විමසුමකදී හඳපාන්ගොඩ මහත්මිය මේ බව සඳහන් කළාය.

උද්ඝෝෂණවලට මව්පියන්ගේ පැමිණීම සනාථ කර ගැනීම සඳහා ඇතැම් ගුරුවරුන් දුරකථන මාර්ගයෙන් දරුවන්ගේ ඡායාරූප එවන ලෙස මව්වරුන්ට දැනුම්දී ඇති බව තමාට දැනගැනීමට ලැබී තිබෙන බවද හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කළාය.

මව්පියන්ට මෙවැනි තර්ජන එල්ල කරන ගුරුවරුන් සැබැවින් ම ගුරුවරුන්මදැයි තමන්ට සැකයක් මතුවන බව කී හඳපාන්ගොඩ මහත්මිය, මෙවැනි ක්‍රියා මඟින් ඔවුන් ගුරු වෘත්තීයට විශාල නිගාවක් සිදුකර ඇති බවත් පෙන්වා දුන්නාය.

කිසිම මවක් හෝ පියෙක් වර්ජනවලට කැමැත්තෙන් එන්නේ නැති බවද කීවාය. එමෙන්ම, බොහෝ මවුපියන් තමන් මේ උද්ඝෝෂණවලට කිසිසේත් සහභාගී නොවන බවට තමන් වෙත දැනටමත් දැනුම්දී තිබෙන බවද පැවසුවාය.

‘මේක සම්පූර්ණයෙන් ම වැරදි දෙයක්. මවුපියන් කිසිවෙක් මේ උද්ඝෝෂණවලට කැමැත්තෙන් එන්නේ නෑ. මේ වනවිටත් මවුපියන් ගණනාවක් මට කතා කරලා කීවා පන්තිභාර ගුරුවරුන් ඒ අයට දුරකථනයෙක් කතා කරලා උද්ඝෝෂණවලට සහභාගී වෙන්න කියලා දැනුම් දී තිබෙනවා කියලා. මෙවැනි දේ නිසා තමන්ගේ දරුවන්ට ගුරුවරුන්ගෙන් වෙනස්කමක් සිදුවේවි කියලා බයක් ඇතිවී තිබෙනවා. මේක මොනතරම් කැත වැඩක්ද? මට කතා කළ මවුපියෝ කිව්වා කීයටවත් මේකට යන්නේ නෑ කියලා. මේක නතරකර ගන්න ක්‍රමයක් නැද්ද කියලත් ඒ අය මගෙන් ඇහුවා. එසේනම් කරන්න තිබෙන්නේ මෙවැනි බලපෑම් කරන අය හදිසි නීති තත්ත්වය යටතේ හෝ අත්අඩංගුවට ගැනීමයි.යනුවෙන් ද වසන්තා හඳපාන්ගොඩ මහත්මිය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ උද්ඝෝෂණවලට පැමිණෙන ලෙස ගුරුවරුන් මව්පියන්ට කිසිදු බලපෑමක් සිදු කර නොමැති බවයි.

මව්පියන් උද්ඝෝෂණවලට සහභාගී වන්නේ ඔවුන්ගේ කැමැත්තෙන් පමණක් බවද ඒ මහතා කීය.

0 comment
0

Related Posts

Leave a Comment