Home ක්‍රීඩා පුවත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට, පුහුණුකරුට හා කළමනාකරුට දඬුවම් පැනවේ

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට, පුහුණුකරුට හා කළමනාකරුට දඬුවම් පැනවේ

by Hela news

විනය විරෝධී ව කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුට, පුහුණුකරුට හා කළමනාකරුට දඬුවම් නියම කර තිබේ.

මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ කණ්ඩායම භාරව කටයුතු කළ කළමනාකරු ඒ.එස්.එන්. අබේසේකර, පුහුණුකරු විමුක්ති ද සොයිසා, ක්‍රීඩක කාලිංග කුමාරගේ, ක්‍රීඩිකා සෙලින්ඩා ජැන්සන් හා ඩබ්ලිව්.වී.එල්. සුගන්ධි යන අයට ය.

එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මාස 04ක් සඳහා උසස් දක්ෂතා පුහුණු දීමනාව අත්හිටුවීම, ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ දේපළ පරිහරණය තහනම් කිරීම, පුහුණුකරු හා කළමනාකරු සඳහා මාස 06ක හා වසරක ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගීවීම අත්හිටුවීම අදාළ විනය ක්‍රියාමාර්ගයන්ට අනුව දඬුවම් ලෙස ක්‍රියාත්මක කළ බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා නිවේදනය කරයි.

නිරෝධායනයට යොමු කළ හෝටලය තුළ දී විනය නීතිරීති හා නිරෝධායන නීතීරීති ද උල්ලංඝනය කරමින් සාදයක් පැවැත්වු බවට එම පිරිසට චෝදනා එල්ලව ඇත.

පසුගියදා ඉන්දියාවේ පටියාලෙහි දී පැවති 60 වන ඉන්දියානු ප්‍රාන්ත අතර මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වී දිවයිනට පැමිණි පසු ඔවුන්ව නිරෝධායනය කටයුතු සඳහා මාතර නිල්වලා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

නමුත් එමෙ නිරෝධායන මධ්‍යස්ථානයේ පවතින පහසුකම් ප්‍රමාණවත් නොවන බවට එම කණ්ඩායම කළ ඉල්ලීමෙන් පසු ක්‍රීඩා අමාත්‍යාංශය මැදිහත්ව එම කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා සුගතදාස හෝටල් පරිශ්‍රය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.

සුගතදාස හෝටලය වෙත යොමු කළ පළමු දිනයේදී එම කණ්ඩායමේ කිහිපදෙනෙකු විනය විරෝධී ව කටයුතු කර ඇති බවට හෙළිවී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ඒ සම්බන්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබුණි.

අදාළ කමිටුවේ විනය පරීක්ෂණ වාර්තාව අනුව 2021 අගෝස්තු 16 වන දින සිට ඉදිරියට අදාළ දඩුවම්  ක්‍රියාත්මක වන බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

0 comment
0

Related Posts

Leave a Comment