Home ක්‍රීඩා පුවත් මලල ක්‍රීඩකයන්ට අපලයක් ඉක්වදෝරයේ හා කෙන්යාවේ ක්‍රීඩකයන් දෙදෙනෙක් ඝාතනය කෙරේ

මලල ක්‍රීඩකයන්ට අපලයක් ඉක්වදෝරයේ හා කෙන්යාවේ ක්‍රීඩකයන් දෙදෙනෙක් ඝාතනය කෙරේ

by Hela news

දින කීපයකට පෙර කෙන්යානු දුර දුවන ක්‍රීඩිකාවක ඝාතනය කෙරුණේ පිහි ඇනුමකින්. ඒ සිද්ධිය යටපත් වෙලා දින කීපයක් ගතවුණාට පස්සේ තවත් ක්‍රීඩක ඝාතනයක් ගැන ඉක්වදෝරයෙන් වාර්තා වුණා. මේ ඒ ගැනයි.’

ක්‍රීඩාව කිසිදු මරණීය ප්‍රතිවිරෝධයක් නොමැති සන්තුෂ්ඨිකර කොදෙව්වක්. අපි ක්‍රීඩාව ගැන දන්නේ ඒ විදිහට. නමුත් ඒ ක්‍රීඩාව ඇතුළට වෙළෙඳ මාෆියාව ඇතුළුවීමත් එක්ක ඉන් උපදින නිරාමිස සතුට වෙනුවට වෙනත් ම ප්‍රතිරූපයක් වර්-ධනය වෙන්න ගත්තා.

එතැනදී තහනම් උත්-තේජක, ජයග්‍රහණය වෙනු-වෙන් සිදුකරන විවිධ උපක්‍රම ඒ අතරට එකතු වුණා. දැන් ක්‍රීඩා ලෝකය ඇතුළේ නම ගිය ඇතැම් ක්‍රීඩකයන් විවිධ ගැටුම් හේතුවෙන් සමාජයෙන් තුරන් කර දමන්නට ඔවුන් ගේ දක්ෂතා නිසා සතුටු වුණු සමාජයම ඉදිරිපත් වෙන අවස්ථාවන් වාර්තා වෙමින් තිබෙනවා. පසුගිය කාලයේ අපට කෙන්යානු දුර දුවන්නකුට එල්ල කළ පිහි පහර කීපයකින් ඔහු මියගිය පුවත අසන්නට ලැබුණේ ඒ විදිහටයි. ඒත් එය අවසන් වන්නට ප්‍රථම තවත් එවැනි ම සංසිද්ධියක් ගැන අසන්නට ලැබුණේ ඉක්වදෝරයෙන්. ඒ ඔලිම්පික් කෙටි දුර ධාවන ශූරයකු වූ ඇලෙක්ස් ක්විනෝනෙෂ් පසුගිය දිනක වෙඩි තබා ඝාතනය කර ඇති පුවතත් සමඟිනුයි.

ක්‍රීඩාව කියන්නේ අභය බිමක් කියන හැඟීම තවදුරටත් වලංගු වෙන්නේ නෑ කියලා හිතුණේ ළඟ ළඟ අසන්නට ලැබුණු මෙම ප්‍රවෘත්ති දෙක නිසයි. ඇලෙක්ස් කියන මෙම ක්‍රීඩකයා ඝාතනය කර තිබුණේ Guayaquil කියන වරාය නගරයේ දී යි.

ඝාතනයට ලක්වන විට කුවි-නෝනෙෂ් තිස් දෙහැවිරිදි වියේ පසුවුණා. ඔහුව මෙලෙස ඝාතනය කර තිබුණේ සිකුරාදා දිනයේ මැදියම් රැයට ආසන්න වෙලාවක බවයි දැනට සිදු කර ඇති පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත්තේ. ඊට ආසන්නව තවත් පුද්ගලයකු ඝාතනයට ලක්ව තිබුණා. මේ ඝාතන සිදුව ඇත්තේ ඉක්වදෝරය තුළ නිර්මාණය වී ඇති නොසන්සුන් තත්ත්වය හේතුවෙන් බවයි සැලකෙන්නේ.

‘මේ විදිහට ඉක්වදෝර ජනතාවගේ ජීවිත උදුරා ගන්නා අයට දඬුවම් නොදී ඉන්නේ නෑ. අපි නිසැකව ම ඔවුන්ට දඬුවම් ලබා දෙනවා.’ යැයි එරට ජනාධිපති පවසා තිබුණා.

“ඉක්වදෝර පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තුරු කිසිම කෙනෙකු තුළ සැනසිල්ලක් ඇති වෙන්නේ නෑ. අපිට මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කණ්-ඩායම් එක්ක යුද්ධයකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා.” යැයි ගුආයාස් පළාතේ ආණ්ඩුකාරයා වන පැබ්ලෝ ඇරොසිමෙනා ට්විටර් පණිවිඩයක් තබමින් පවසනවා.

ඒ වගේම එරට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉක්වදෝරයේ ප්‍රකට මලල ක්‍රීඩක ක්විනොනෙෂ් ඝාතනය කර ඇති බව පිළිගෙන තිබුණා. ඔහු ද ට්විටර් සටහනක් තබා තිබුණා. එහි දැක්වුණේ මෙවැන්නක්.

“මේ රට ගොඩනඟපු විශිෂ්ටතම කෙටිදුර ධාවකයා ඔහුයි. අපිට

ගොඩාක් විශිෂ්ට ක්‍රීඩකයෙක් අහිමි වුණා.”

ක්විනොනෙෂ් කියන්නේ එසේ මෙසේ ක්‍රීඩකයෙක් නොවෙයි. ඔහු තමයි ඉක්වදෝරයේ මීටර් 200 ඉසව්වේ වාර්තා ලාභියා. ඔහු එම ඉසව්ව තත්ත්පර 19.87 කින් නිම කරමිනුයි එම වාර්තාව පිහිටුවා තිබෙන්නේ. එපමණක් නොවෙයි ඔහු 2012 වසරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ අර්ධ අවසන් වටය දක්වා පැමිණීමට සමත්ව තිබුණා. එහි දී ඔහුට හිමිව තිබුණේ සත් වැනි ස්ථානයයි. ඒ වගේම ඔහු ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.

එම පදක්කම ඔහුට ලැබිලා තිබුණේ 2019 වසරේ දී යි. එම තරගාවලිය පැවැත්විලා තිබුණේ කටාර් දේශයේ දී යි.

ඒ නිසාම තමයි ක්විනොනෙෂ් ඉක්වදෝර රාජ්‍යයේ ඉතා ප්‍රසිද්ධ ක්‍රීඩකයක් යැයි සැලකෙන්නේ. ඔහුගේ ඝාතනය ගැන එරට ඔලිම්පික් කමිටුව නිවේදයක් නිතුක් කර තිබුණා.

“එ්ක හරිම කනගාටුදායක සිදුවීමක්. කෙසේ නමුත් ඔහු ගැන මතකය සදා කාලිකවම අපේ හදවත් තුළ රැඳේවි.” යනුවෙනුයි.

ඉක්වදෝර් ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ඇන්ඩ්‍රියා සොටෝමේයර් කියා තිබුණේ, මෙම සිදුවීම කන වැකුණු සැණින් තමන් දැඩි සංවේගයට පත් වූ බවයි. එය තමන් තුළ දැඩි අසරණ බවක්, ආවේගයක් ගොඩනැංවූ බවද ඔහු සඳහන් කර තිබුණා.

“ඇලෙක්ස් ක්විනොනෙෂ් කියන්නේ නිහඬ භාවයට වගේම නිහඬ භාවයට සමාන පදයක් බවට පත් කළ හැකි නමක්. ඔහුගේ නික්ම යෑම අපගේ පපු කුහර තුළ දැඩි වේදනාවක් ඇතිකරවා.” ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

පසුගිය දා ඔහුගේ දෙණ නගරයේ පිහිටි පාපන්දු ක්‍රීඩාංගණයේ තබන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසා තිබුණේ.

ඉක්වදෝරයේ පසුගිය මාස කීපයක සිට ඇවිල ඇති කලහකාරී ගැටුම් හේතුවෙන් මෙලෙස ක්විනොනෙෂ් මරණයට පත්වන්නට ඉවහල්වන්නට ඇතැයි විශ්වාස කරනවා. පසුගිය ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා ඝාතන එක් දහස් නවසීයකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි එරට පොලිස් වාර්තා සඳහන් කළේ. එහෙත් එය 2020 වසරේ දී එක් දහස් හාරසියයක් බවයි රජයේ සංඛ්‍යා දත්ත දක්වා තිබුණේ.

මේ තත්ත්වයත් සමඟ රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරන්නට ඉක්වදෝර ජනපති ලාස්සෝ කටයුතු කර තිබෙනවා. එය දින හැටක කාලයක් බලපැවැත්වෙනු ඇති. ඒ අනුව එරට ආරක්ෂක අංශ මෙම මිනිස් ඝාතන වැළැක්වීම පිණිස දැන් විවිධ මං මාවත් හි වීථි සංචාරය කරමින් ආරක්ෂක තත්ත්වය ඉහළ නංවා තිබෙනවා.

මෙලෙස මරණයට පත්කළ ක්විනොනෙෂ් වැඩිදුර පුහුණුව පිණිස අමෙරිකාව බලා යෑමට සූදානම් ව සිටි බවයි ඔහුට සම්බන්ධ ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ. එලෙස පුහුණුව ලබා ලබන වසරේ ඔරිගන්හි පැවැත්වීමට යෝජිත ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලට නිල වශයෙන් තම සහභාගිත්වය ප්‍රකාශ කිරීමටයි ඔහු සැරසී සිටියේ.

පසුගිය ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගිවීමට ඔහුට අවස්ථාව අහිමිවී තිබුණේ තරග නොවැදුණු සමයේ තහනම් උත්තේජක පරීක්ෂණ පිළිබඳ නිවැරැදි තොරතුරු ඔහු ලබා දී නොතිබුණේය යන චෝදනා මත තහනමක් පැනවීම හේතුවෙනුයි.

මේ සියලු තත්ත්වයන් නිමාවට පත්කර යළි ලබන වසරේ නිල වශයෙන් ක්‍රීඩා පිටියට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි ඇලෙක්ස් ක්වි-නොනෙෂ් මෙලෙස මහ මඟ දී ඝාතනයට ලක්ව තිබීම සැබැවින්ම කනගාටුදායකයි.

කෙන්යානු ක්‍රීඩිකාවගේ ඝාතනය

කෙන්යාවේ දිගු දුර ධාවිකාවක වන ඇග්නෙස් ටයිරොප් පසුගියදා මරණයට පත් වූයේ තම සැමියාගේ පිහි පහර කීපයකට ලක් වීමෙනුයි. දෙදෙනා අතර ඇතිවූ ගැටුමක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇතැයි කෙන්යානු පොලිස් වාර්තා සඳහන් කර තිබුණා.

ඇගේ උදරයට හා ගෙලට පිහි පහර කීපයක් එල්ලවී තිබූ බවත් ඇගේ මෝටර් රථයේ වීදුරු කඩා දමා තිබූ බවත් පැවසුණා.

“ඇය කෙන්යාවේ මලල ක්‍රීඩාවේ මැණිකක්. කෙටි කාලයක් තුළ ඈ බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගත්තා. වේගයෙන් ඉදිරියට පැමිණ වාර්තා ස්වසන්තක කර ගැනීමට සමත් වුණා.” කෙන්යානු මලල ක්‍රීඩා සංගමය සිය හෘදයාංගම කනගාටුව ප්‍රකාශ කරමින් ප්‍රකාශ කර තිබුණා.

ඇය 2017 හා 2019 වසරවල පැවැති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගවල දී මීටර් 10000 ඉසව් ද්විත්වයේ ලෝකඩ පදක්කම් දිනා තිබෙනවා. පසුගිය දා අවසන් වුණු ඔලිම්පික් තරගාවලියේ මීටර් 5000 ඉසව්වේ සිව් වැනියා ලෙස ඉසව්ව නිම කළේත් ඇයයි. එමෙන්ම ඇය පසුගිය මාසයේ දී ජර්මනියේ පැවැති කිලෝ මීටර් 10 මාර්ග ධාවන තරගයක් ජය ගත්තේ නව ලෝක වාර්තාවක් පිහිටුවමිනුයි. දැන් ඒ සියල්ල අතීතයට එක්කරමින් ඈ අකාලයේ ජීවිතයෙන් සමුගත්තා. ඇය එසේ මිය යන විට වයස අවුරුදු විසි පහක්.

0 comment
0

Related Posts

Leave a Comment