Home ව්‍යාපාර පුවත් මයිලෑන්ඩ් ඩිවලොප්මන්ට් සමාගමෙන් මහජන කොටස් නිකුතුවක්

මයිලෑන්ඩ් ඩිවලොප්මන්ට් සමාගමෙන් මහජන කොටස් නිකුතුවක්

by Hela news
  • මිලියන 75ක අමතර ප්‍රාග්ධන ඉලක්කයක්
  • මහා පරිමාණ ඉඩම් ව්‍යාපෘති 23ක් අවසන්

ඉඩම් හා දේපොළ සංවර්ධන ක්ෂේත්‍රයේ පිළිගත් ආයතනයක් වන සීමාසහිත මයිලෑන්ඩ් ඩිවලොප්මන්ට් සමාගමේ සියයට 17.24% ක කොටස් ප්‍රමාණයක් මූලික මහජන කොටස් නිකුතුවක් (IPO) ලෙස ඉදිරිපත් කරන බව ප්‍රකාශයට පත් කර ඇත. සමාගමේ කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළේ ‘දිරිසවි‘ (Diri Savi Board) පුවරුවේ ලැයිස්තුගත කිරීමට අදහස් කරයි.

රුපියල් 12 බැගින් නිකුත් කෙරෙන ඡන්දහිමි සාමාන්‍ය කොටස් 6,250,000 මඟින් මේ කොටස් නිකුතුවෙන් රුපියල් මිලියන 75ක ප්‍රාග්ධනයක් සපයා ගැනීමට අපේක්‍ෂා කර ඇත. දෙසැම්බර් 8 දා ආරම්භ වන මේ කොටස් නිකුතුව කළමනාකරණය අටාරා කැපිටල් පාට්නරස් ආයතනය විසින් කරන අතර, ඊට අදාළ ප්‍රකාශ පත්‍රය හා අයදුම්පත් දැන් ගත හැකිය. මෙයින් රැස් කෙරෙන මුළු නව ප්‍රාග්ධන ප්‍රමාණය ව්‍යාපාරය පුළුල් කිරිම සඳහා අලුතින් ඉඩම් අත්පත් කර ගැනීම හා සංවර්ධනය සඳහා යොදවනු ඇත.

මේ දක්වා විශාල පරිමාණ ඉඩම් ව්‍යාපෘති 23ක් සාර්ථකව නිම කළ සමාගමක් වශයෙන් අත්පත් කර ගෙන ඇති ප්‍රගතිය හා සමාගමේ ව්‍යාපාරික ශක්තිය අනුව මේ කොටස් නිකුතු නිසැකවම සාර්ථක වන බව සමාගමේ නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්‍ෂ නලීන් පෙරේරා මහතාගේ අදහසයි. තවද දැනට ශ්‍රී ලංකාව තුළ දේපොළ සංවර්ධන ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන යහපත් ප්‍රවණතාව හා ඉඩම් සඳහා ඉහළ යමින් පවතින ඉල්ලුමත් හා කොළඹ කොටස් වෙළෙඳපොළෙහි මෑතකාලීනව වන ගතික ක්‍රියාශීලිත්වය හේතුවෙන් කොටස් නිකුතුව සඳහා මේ සමය වඩාත් ප්‍රශස්ත බව ඒ මහතාගේ අදහසයි.

දේශීය ඉඩම් හා දේපොළ ව‍ෙළෙඳපොළ පිළිබඳ නිරීක්‍ෂණ ආයතනයක් වන Jones Lang LaSelle (JLL) මඟින් 2021 වසරේ පළමු හා දෙවැනි කාර්තුවලට යාවත්කාලීන කර ඇති තොරතුරුවලට අනුව දිවයින තුළ නේවාසික ඉඩම් සඳහා ඇති ඉල්ලුමේ යහපත් වර්ධනයක් පෙන්නුම් කරයි. තවද දිගු කාලීනව මෙරට නාගරිකරණය කලාපයේ වෙනත් රටවලට සාපේක්‍ෂව අඩු මට්ටමක පැවතියද මධ්‍යම පාන්තියේ වෘත්තිකයන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා නේවාසික ඉඩම් සඳහා ඉල්ලුම සැලකිය යුතු ලෙස වර්ධනය වන බව කේ.පී.එම්.ජී (KPMG) ආයතනයේ ‘Vertical Living: Beyond 2020‘ වාර්තාවෙන්ද සනාථ වී ඇත.

ඉහළ යමින් පවතින පොලී අනුපාත රාමුවක් යටතේ මේ කොටස් නිකුතුව මඟින් සපයා ගන්නා අරමුදල්වලින් සමාගමේ ව්‍යාපාර කටයුතු ඉහළ නැංවීම මඟින් වඩාත් ශක්තිමත් ව්‍යාපාරයක් බවට පත්වීමට හැකි බව මයිලෑන්ඩ් සමාගමේ සභාපති ඩබ්ලිව්. ඩී. ප්‍රේමචන්‍ද්‍ර මහතා පවසයි. යෝජිත ලැයිස්ගත වීම මඟින් සමාගමේ සන්නාමය ශක්තිමත් වෙමින් දිවයින පුරා ක්‍රියාත්මක වන සමාගමක් බවට පත් වීමටද දොරටු විවෘත වනු ඇත. ලැයිස්තුගත සමාගමක් ලෙස මනා ආයතනික පාලන ව්‍යුහයක් ඇති කර ගැනීම මඟින් සුළුතර කොටස් හිමියන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරිමට හැකි වන අතර, එය සමාගමේ දිගුකාලීන ස්ථාවරත්වය තහවුරු වීමටද හේතු වනු ඇතැයි ප්‍රේමචන්‍ද්‍ර මහතා පැහැදැලි කළේය.

0 comment
0

Related Posts

Leave a Comment