මම JAMES BOND

0
181

මං දිව්වේ ඒ හීනය පස්සෙයි. මං බොන්ඩ් විදියට ඇක්ෂන් පින්තූරත් අරන් ඉල්ලුම් කළා. හැරෙන තැපෑලෙන් මට United Artist international වෙතින් 2007 වර්ෂයේදී පිළිතුරු ලැබුණා. ආසියාවෙන් තේරුණු එකම කෙනා මං කියලා ඔවුන් මට ලියා එවා තිබුණා. ඒත්  රුපියල් මිලියන ගණනක් වැ‍යවෙන ‘ඇක්ෂන් වීඩියෝවක්’ එවැන්නැයි කියලා මට එතෙරින්

දන්වා තිබුණා. ඒත් එතරම්  මුදලක් අතේ නැති නිසා එදා මට ඒ කඩ ඉම පැනගන්න බැරිවුණා. හැබැයි අදටත් මං ඒ උත්සාහය අත්හැරලා නැහැ. ජේම්ස් බොන්ඩ් ෆිල්ම් සීරිස් එකට මං ලිව්ව තිර පිටපත් දෙකක් ළඟ තියාගෙන අදටත් හීන මවනවා.

සිහින් උසැති සිරුර, බොකුටු කෙස් රොඳ, දිගටි මුහුණ, තියුණු බැල්ම, ඒ අද අපේ කතානායකයාගේ බාහිර පෙනුමෙන් ඇබිත්තක්. ඉදින් අපි දැන් හැරෙන්නේ තවත් එක් සොඳුරු සිතැත්තකුගේ සිත් පෑලැස්සට. ඔහු නමින් බ්‍රයන් ඇල්ෆ්‍රඩ් අමරසේකර. ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවට පණ පෙවූ නළුවන්ට කිට්ටු හැඩහුරුකමක් දරනවා වගේම තවත් විශේෂාංග ගණනාවකටම බ්‍රයන් උරුමකම් කියනවා. ඒ මෙහෙමයි.

“අම්මාට කිව්වේ ජූනියර් රුක්මණී කියලායි

ඇය උප විදුහල්පතිනියක්. පෙනුමෙන් වගේම කටහඬින් අම්මා රුක්මණී දේවි වගේමයි. ඉතින් සාදවලදී ඇයට ගීත ගායනයට ලැබුණු ආරාධනා බොහොමයි. අම්මාගේ ගම ගාල්ලෙ – බද්දේගම. ඇය කොඩිතුවක්කු වලව්වේ කෙනෙක්.

තාත්තා කෑගල්ලේ රංවල. විමලගිරි වලව්වේ. එයා පළාත් පාලන අමාත්‍යාංශයේ කොමසාරිස්වරයෙක් විදියටයි වැඩ කළේ.

ඒ දෙපළගේ එකම පුතා මං. අක්කා කෙනෙක් විතරයි මට ඉන්නේ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් මං ඉගෙන ගත්තේ.

ජේම්ස් බොන්ඩ් මගේ සිහිනයක්

ඒ වෙද්දී මට වයස අවුරුදු 7 යි. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයක් මුලින්ම බැලුවේ ඒ කාලේ. එදා මට හිතුණේ කවදාහරි මං ජේම්ස් බොන්ඩ් චරිතය රඟපානවා කියලායි. ඉන් පස්සේ මං ඒ චිත්‍රපට හොය හොයා බැලුවා. අදටත් ඒ සිරීස් එකේ ෆිල්ම් 24 ම මා ළඟ පරිස්සමට තියෙනවා. ඒ ෆිල්ම් හැම එකක්ම මට මතකයි. එක එක හැම සීන් එකම මට හොඳට හුරුයි.

ඔයින් මෙයින් තරුණයෙක් විදියට මගේ නළු හීනය දවසක් කුළුගැන්වුණා. ඒ ඉංග්‍රීසි පුවත්පතක පළ වූ දැන්වීමකින්. එයින් කියැවුණේ ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවට 5 වැනි ජේම්ස් බොන්ඩ් විදියට රඟපාන්න නළුවෙක් හොයනවා කියලයි. ඒ පළ කළ ඡායාරූපයට සමාන පෙනුමක් ඇති අයට අයැදුම් කරන්නැයි දන්වා තිබුණා.

එතැන් පටන් මං දිව්වේ ඒ හීනය පස්සෙයි. මං බොන්ඩ් විදියට ඇක්ෂන් පින්තූරත් අරන් ඉල්ලුම් කළා. හැරෙන තැපෑලෙන් මට United Artist international වෙතින් 2007 වර්ෂයේදී පිළිතුරු ලැබුණා. ආසියාවෙන් තේරුණු එකම කෙනා මං කියලා ඔවුන් මට ලියා එවා තිබුණා. ඒත් රුපියල් මිලියන ගණනක් වැ‍යවෙන ‘ඇක්ෂන් වීඩියෝවක්’ එවැන්නැයි කියලා මට එතෙරින් දන්වා තිබුණා. ඒත් එතරම් මුදලක් අතේ නැති නිසා එදා මට ඒ කඩ ඉම පැනගන්න බැරිවුණා. හැබැයි අදටත් මං ඒ උත්සාහය අත්හැරලා නැහැ. ජේම්ස් බොන්ඩ් ෆිල්ම් සීරිස් එකට මං ලිව්ව තිර පිටපත් දෙකක් ළඟ තියාගෙන අදටත් හීන මවනවා. බොන්ඩ් කතාවට මද විරාමයක් තබයි. ඔහු අත ඇති පැරණි ඔහුගේ පින්තූර මට දිගු කරමින් පෙන්වයි. හැබෑවටම ඔහු බොන්ඩ් තරමට එදවස හැඩකාර පෞරුෂවත් තරුණයෙකි. බොන්ඩ්ගේ උස, මුහුණේ ස්වරූපය ඔහු සතු ය. බොන්ඩ් තරමට ම ඔහු නිර්භීත ය. කඩවසම් ය. රඟපෑමට උපන් හපන් අපේ බොන්ඩ් ගායනයට ද හපනෙකි. ඔහු අප ඉදිරියෙ ගීත කිහිපයක් මුමුණයි. සැබෑවට ම ඒවා ඉමිහිරි ය. හැඟුම්බර ය.

ප්‍රියා සූරියසේන මට අත දුන්නා

මං විෂයයක් විදියට සංගීතය හදාරා නැහැ. අම්මාගෙන් මට ලැබුණු දායාදයක් වෙන්නැති. ප්‍රියා සූරියසේන මහත්මයාගේ ගීතවලට මං හුඟක් ප්‍රිය කරනවා. මං මට වයස අවුරුදු 17 දී ‘දැකුමක්’ එහෙමත් අරගෙන එතුමා මුණගැහෙන්න ගියේ නුගේගොඩ විජේරාමේ නිවෙසට.

‘කියමුකෝ බලන්න එහෙනම් මගේ සින්දුවක කොටසක්’ ප්‍රියා කිව්වේ එහෙමයි.

‘සැන්දෑයාමේ’ සින්දුවයි මං එදා ගායනා කළේ. ඒ අහලා ප්‍රියා සූරියසේන සතුටු වුණා. ඒ සති අන්තයේදී මහරගම නගර සභා පිට්ටනියේ සංගීත ප්‍රසංගයට එතුමා ගියේ මාවත් එක්කරගෙන. එතුමාට කලින් ගීත ගායනා කරන්නත් මට ඉඩ පාදා දුන්නා. ඒ මට ඔවදනකුත් දෙන ගමන්මයි.

‘ඔයා අනුන්ගේ සින්දු කිව්වොත් කවදාවත් ඔයාටම කියලා නමක් හදාගන්න බැරිවෙයි. ඒ හින්දා ඔයා ඔයාගෙම සින්දු කියන්න උත්සාහ ගන්න…’

මං ඒ ගැන හුඟක් දුරට සිතා බැලුවා. එක එක ගී පදවැල් ලියන්න ගත්තා. ඒ සමහර ඒවාට තනුව යෙදුවේත් මං. දැන් එහෙම එකතු වෙච්ච ගීත 48ක් මා ළඟ තියෙනවා‍.

එතැන මව් ගුණ ගීයක් වගේම පියගුණ ගීයකුත් වෙනවා. එච්චරක් නෙවෙයි. මං ප්‍රියා සූරියසේනට දෙන්න හිතාගෙන ගීත දෙකක් ලියලා තියෙනවා. ඒවාට මෙලඩි දාලා සම්පූර්ණ කරලා මං මගේ අතින්ම ප්‍රියා සූරියසේනට දවසකදී දෙනවා. ඒ කටයුතු පමාවෙලා තියෙන්නේ ආර්ථික ප්‍රශ්න නිසයි…’

බ්‍රයන් එයින් බර කල්පනාවකට වැටුණු සැටියකි. අදටත් ඔහු ජේම්ස් බොන්ඩ් චරිතය ලෝකයා වැඩිපුරම දැන හඳුනාගත් අන්දමේ ඇඳුම් පැලඳුම් කෙරෙහි දක්වන්නේ තදබල ඇල්මකි. පීරා පිටුපසට වන්නට බැඳගත් කොණ්ඩයෙන් මුහුණට වැටෙන කල එළියට ජේම්ස් බොන්ඩ් චිත්‍රපට පෙළින් එකක වඩාත් සිත්ගත් ජවනිකාවක් බ්‍රයන් දැන් අප ඉදිරියේ මවාපායි. ඒ ඉරියව් හඬ රංගනය අතින් උපන්හපන්කම් පානා, එහෙත් කිසිදා එය පාඨමාලාවක් වශයෙන් හදාරා නැති අපේ කාලයේ මේ අමුතු මිනිසාගේ උපන් හපන්කම් පිළිබඳ විස්මයක් අ‍පේ සිත් තුළ උපද්දවයි.

එතෙකින් නිම නොවෙයි. එක පෙළට එක දිගට එක් එක් ගායන ශිල්පින්ගේ විවිධ ගීත ඒ උරුවෙන් ගයන්නට බ්‍රයන් පෙන්වනා හපන්කම වෙනමම කතාබහට ලක් කළ හැක්කකි. ඉදින් දැන් අපි නැවතත් මෙතැනින් ඔහු දිහෑට හැරෙමු.

‘මං ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී පරීක්ෂණයෙන් B ශ්‍රේණියේ ගායකයෙක් විදියට සමත්. මගේම ගීත 4ක් එළිදක්වන්නටත් මට දැනට අවස්ථාව ලැබිලා තියෙනවා. මං නුගේගොඩ පාගොඩ ‘සන් ෆ්ලෑෂ්’ සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියෙක් විදියටත් කටයුතු කරනවා. හඬවල් 12 කින් මං ගී ගයනවා.

ඉලෙක්ට්‍රොනික සහ රූපවාහිනි තාක්ෂණය හැදෑරුවා

උසස් පෙළ සමත් වූ මං කටුබැද්ද ජර්මානු කාර්මික තාක්ෂණ ආයතනයේදී ඉලෙක්ට්‍රොනික සහ රූපවාහිනී තාක්ෂණික පාඨමාලා වෙන වෙනම සාර්ථකව හදාරලා තියෙනවා. ඒ දැනුම උපයෝගි කරගෙන මං ඇම්ප්ලිෆයර් – බෆල් සෙට් අලුතින් හදනවා. පිටරටින් එන DTS සෙටප් හරහා ගීත වාදනයේදී ස්පීකර් 3 යිනේ සාමාන්‍යයෙන් වැඩ කරන්නේ. මට ස්පීකර් 6ක් වැඩ කරන විදියට එවා හදන්න පුළුවන්.

ඔහු නැවත තමාගේ බහුවිධ හැකියාවන් ගැන අපට කියයි. ‘දැන් පදිංචිය කොහෙද?‘ මම අසමි. එය කඳුළු කතාවකි.

මව්පිය උරුමයෙන් ලැබුණු විශාල නිවෙසක් මට මිරිහාන ප්‍රදේශයේ තිබුණා. ඒත් මිතුරකුගේ මුදල් අවශ්‍යතාවකට උදව් කරන්න ගිහින් අන්තිමේදී මට ඒ එකම නවාතැන නැතිවුණා. එදා මෙදා තුර මං රත්තනපිටියේ කුලී නිවෙසකට වෙලා තනිකඩව කල් ගෙවනවා. ඒත් මගේ හැකියාවට කවදාක හරි ඉඩක් ලැබෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා. එතෙක් හැමදාමත් මාව බලා කියා ගන්නා මගේ එකම සහෝදරියගේ හව්හරණේ දවස් ගෙවනවා. මට කවදත් අත හිත දෙන, උදව් පදව් කරන සමන් බණ්ඩාර, දුමින්ද අඹේපිටිය, මහින්ද බස්නායක ආදී මිතුරන්වත් මං ආදරයෙන් සිහි කරනවා…”

බොන්ඩ් නිහඬ වෙයි. ඔහු වැඩිපුර කතා කිරීමට අකමැති නිහඬ සුන්දර චරිතයකි. තවමත් බ්‍රයන් ජීවත් වන්නේ බොන්ඩ් සමඟ ය. කවදාක හෝ බොන්ඩ් ගේ චරිතය රඟපෑම බ්‍රයන්ගේ එකම බලාපොරොත්තුව ය. බලාපොරොත්තු අතහැර නැත. හෙට උදෑසන ද ඒ බලාපොරොත්තු සමඟ ඔහු අවදි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here