Home ගොසිප් පුවත් මදි නොකියන්න පෙම් කළා

මදි නොකියන්න පෙම් කළා

by Hela news

ජීවන්ගේ ඉඳන් මට වඩා බාල අයගෙත් පෙම්වතිය වුණා

පැරදුනා කියලා කරපු වැඩ නතර වෙන්නේ නැහැ

මේ රඟපාන්නේ අවුරුදු දෙකකින්

හිඩැසක් පුරවන්න ආච්චි කෙනෙක් වෙන්න වුණා

නිවන්ත ප්‍රසාද් අධ්‍යක්ෂණය කරන සිහින ගෙනෙනා කුමරියේ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වූ සත්සරණි වුණේ ශලනි තාරකා. දැන් ශලනි වෙනුවට ඒ චරිතය කරන්නේ රශිපබා. ඒ වෙනස වෙලා සතියක් යන්න කලින් තවත් වෙනසක් සිද්ධ ‍වුණා. ඒ, ෂෙරින් ආච්චිගෙ චරිතය. ගයනි ගිසන්තිකා වෙනුවට දැන් ෂෙරින් ආච්චි වෙලා තියෙන්නේ ඕෂධී හේවාමද්දුම. කාලයක් පුංචි තිරයේ දකින්න නොලැබුණ ඕෂධී ෂෙරින් ආච්චි ලෙස පැමිණීම ගැන ලොකු පොඩි කවුරුත් කතා කළා. කසු කුසුවල උණුසුම යන්න කලින් ඒ ගැන අහන්න වගේම ඇගේ අලුත් තොරතුරු දැන ගන්න අපි ඕෂධීට කතා කළා.

ඕෂධී ආයෙමත් පුංචි තිරයට ඇවිත්?

ඔව්. අවුරුදු දෙකකට පස්සෙ ආයෙමත් වැඩ පටන් ගත්තා.

තවත් කෙනෙක් ගෙන් ඇතිවුණ හිස්තැනක් පුරවන්නයි ඔබ අවුරුදු දෙකකට පස්සේ කරලියට ආවේ?

ඔව්. නමුත් මට ඒක ගැටලුවක් නොවුණේ නිර්මාණය හොඳ නිසා. ඒ වගේම දීර්ඝ නාට්‍යයක් වුණත් ප්‍රමිතියක් ඇතිව පිටපත ගැන සැලකිලිමත්ව කරන නිර්මාණයක් නිසා. නිවංත ප්‍රසාද්ගෙ සිහින ගෙනෙනා කුමාරියේ ටෙලි නාට්‍යය ළමුන් අතර වගේම වැඩිහිටියන් අතරත් ජනප්‍රියයි. ඒ වගේම ළමයින් හැරුණම ඒ නාට්‍යයේ රංගනයෙන් දායක වන හැමෝම ප්‍රවීණයෝ. ඒ නිසා ලැබුණ ආරාධනාව බාර ගන්න මම අකමැති වුණේ නැහැ.

චරිතයට අනුව ඕෂධී ආච්චි කෙනෙක්?

ඔව්. ඔව්. වයසක මනුස්සයෙක්ව කසාද බඳින ඕනෑම තරුණ කාන්තාවකටම ඒ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා. ෂෙරින්ටත් වුණේ ඒක තමයි.

මෙච්චර කාලයක් කළ චරිතවලට වඩා වෙනස් චරිතයක්?

ෂෙරිල් වෙනුවෙන් කරන්න වෙන්නෙ ඕවර් ඇක්ට් එකක්. ගයනි අක්කාත් ඒ චරිතයට උපරිම සාධාරණයක් කළා. ටිකක් නපුරු, බටහිර ‍සෝබන චරිතයක්නේ. ඒ වෙනසට මම කැමතියි.

ගයනි ගිසන්තිකා චරිතය දාලා ගියේ ඇයි?

ගයනි අක්කා විදෙස්ගත වුණානේ. එයා ආයෙමත් ඔස්ට්‍රේලියාවට ගියා. දීර්ඝ නාට්‍යයක් කරන විට ඔය වගේ ප්‍රායෝගික ප්‍රශ්නවලට අධ්‍යක්ෂකවරයාට, නිෂ්පාදකවරයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.

ඕෂධීත් මුල් කාලේ දීර්ඝ නාට්‍යවලට දායක වෙලා ඒ නාට්‍ය දාලා ගියානේ?

ඔව්. අපි ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ තමයි දීර්ඝ නාට්‍ය පටන් ගත්තේ. ජනප්‍රිය දීර්ඝ නාට්‍යකට මමත් දායක වෙලා අන්තිමට දීර්ඝ නාට්‍ය ‍එපා වුණා.

දැන් ආයෙමත් පැටලුණේ දීර්ඝ නාට්‍යයක?

ඒක නම් එහෙම තමයි. හැබැයි ප්‍රධාන චරිතය නෙමෙයි. දීර්ඝ නාට්‍යයක ප්‍රධාන චරිතය වගකීම් වැඩියි. වෙන වැඩකටවත් යන්න බෑනේ.

රංගන කටයුතු දිගටම කරනවද?

ඔව්. අලුත් අධ්‍යක්ෂවරයෙක්ගේ, අලුත් වැඩකට නොවැම්බර් ඉඳන් දායක වෙනවා. අධ්‍යක්ෂවරයා ලංකාවට අලුත් වුණාට ඔහු හොලිවුඩ්වලත් වැඩ කරලා අත්දැකීම් ගත් කෙනෙක්. අපි ඒ ගැන පස්සෙ විස්තර සහිතවම කතා කරමුකෝ.

පුංචි තිරයේ බොහෝ නළු‍වන්ගෙ පෙම්තිය වුණා. දැන් ඔබ දෙදරු මවක්. සමහර රංගන ශිල්පිනියන්ට වගේ ඔබත් තවමත් පෙම්වතිය වීමේ සිහිනය අතහැර නැද්ද?

ටෙලි නාට්‍ය 65ක් කළා නම් මම 62කම පෙම්වතිය. ජීවන් කුමාරතුංග අයියාගේ ඉඳන් අපේ කාලයේ නළුවන් වගේම මට වඩා බාල අයගෙත් මම පෙම්වතිය වෙලා තියනවා. ඒ කාලෙ මදි නොකියන්න පෙම්වතිය වුණ නිසා මට දැන් පෙම්වතිය වීමේ අමාරුවක් නෑ. හැබැයි මගේ වයසට, පෙනුමට ගැළපෙන චරිත තමයි මම තෝරා ගන්නේ. ඕනෑවටත් වඩා වයස චරිත කරන්නත් ඕන නෑනේ. හැබැයි සරත් වීරසේකර මහත්තයාගේ ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ නම් තරුණ වයසේ ඉඳන් අවුරුදු 70ක් විතර වයස නියෝජනය කරන චරිතයක් කළා. ඒ එකම චරිතයේ විකාශනය.

හැබැයි ඕෂධී ඉඳලා ඉඳලා එළියට බැස්සේ ගෙවල් ඇතුළෙම ඉන්න ඕනෙ කාලේ?

ඒක ඇත්ත. මම සෞබ්‍ය නීති අකුරට පිළිපදින කෙනෙක්. අපේ ටෙලි නාට්‍ය කණ්ඩායම වුණත් වගකීම් විරහිතව වැඩ කරන්නෙ නැහැ. මේ ව්‍යසනය හෙට අනිද්දාට ඉවර වෙන්නෙ නෑ. හොලිවුඩ් බොලිවුඩ්වල පවා කොරෝනා අස්සෙත් ‍නිර්මාණ සිද්ධ වෙනවා. අපෙත් කර්මාන්තය වැහුවා කියලා මේ ප්‍රශ්නය විස‍ෙඳන්නෙ නෑ. ඒ නිසා සෞඛ්‍යාරක්ෂිතව වැඩ කරන එක තමයි වටින්නේ.

සැමියා ප්‍රදීප් මේ දවස්වල මොනවද කරන්නේ?

අපි කාබනික පොහොර නිෂ්පාදනය කරනවානේ. මේ දවස්වල ප්‍රදීප් කාර්යබහුල ඒ ව්‍යාපාර කටයුතුත් එක්ක.

පාර්ලිමේන්තු යන්න බැරි වීමත් එක්ක දේශපාලනය එපා වුණාද?

පාර්ලිමේන්තු යන්න බැරි වුණා කියලා මම කලකිරිලා නෑ. සමාජ සේවා වැඩ කරනවා. පැරදුණා කියලා මම කරන ‍වැඩ නතර කරලා නෑ. ඡන්දයට ඉදිරිපත් වෙනවද නැද්ද කියලා ඒ කාලය ආවාම තීරණය කරනවා.

0 comment
0

Related Posts

Leave a Comment