Home ක්‍රීඩා පුවත් භානුක ආපසු හැරෙයි

භානුක ආපසු හැරෙයි

by Hela news

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් පිටියට සමු දීමට ගත් තීරණය ඉල්ලා අස් කරගත් බව වාර්තා වේ.

අන්තර්ජාතික ක්‍රීඩාවෙන් සමු ගැනීමට ගත් තීරණය යළි සලකා බලන ලෙස ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා භානුකගෙන් දෙවැනි වරටත් ඉල්ලීමක් කර තිබුණේ පෙරේදා අරලියගහ මන්දිරයේදී දෙදෙනා අතර පැවති සාකච්ඡාවකදීය.

එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් භානුක මේ තීරණය ගෙන ඇතැයි වාර්තා වේ. හිටපු වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුළු පාර්ශ්ව රැසක් ද භානුක රාජපක්ෂට සිය තීරණය වෙනස් කරන ලෙස මින් පෙර ඉල්ලීම් කර තිබූ අතර, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද මෙරට ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් භානුකගෙන් ක්‍රිකට් පිටියට සමු නොදෙන ලෙස ඉල්ලා තිබිණි. සිය පවුලේ වගකීම් හේතුවෙන් මෙලෙස අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නා බව ඔහු සමු දීමේ ලිපියේ සඳහන් කර තිබූ අතර, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් මේ තීරණය ගෙන ඇති බවට ද ඇතැම් වාර්තා පළ වී තිබිණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ භානුක පසුගිය 3 වැනිදා දුන් සිය ඉල්ලා අස්වීම අවලංගු කරන ලෙස දැනුම් දෙමින් සමු දීමට ඉදිරිපත් කළ ලිපිය ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බවයි.

0 comment
0

Related Posts

Leave a Comment