Home කාලීන පුවත් බෙහෙත් පෙති හදන යන්ත්‍රයක් තැනූ දෙනිපිටියේ තරුණයා

බෙහෙත් පෙති හදන යන්ත්‍රයක් තැනූ දෙනිපිටියේ තරුණයා

by Hela news

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී…’’ යනුවෙන් අපේ කටට හුරු කියමනක් තිබේ.

සකල ලෝවාසී මානව වර්ගයා තුළ ඖෂධ වර්ග, බෙහෙත් පෙති පිළිබඳ දැඩිව කතිකාව සිදුවන මේ මොහොතේ ශ‍්‍රී ලංකාවේ දකුණු පළාතේ ගජමන් නෝනා කිවිඳියගේ වර්ණනාවට පත් ඓතිහාසික දෙනිපිටිය නුග රුක පෙනෙන තෙක් මානයෙන් අපට හමුවන්නේ බෙහෙත් පෙති නිපදවන යන්ත‍්‍රයක් තැනූ සිංහල බෞද්ධ තරුණයකු පිළිබඳවය. 

මේ වන විට විවිධ පර් යේෂණ අත්හදා බැලීම් රුසක් සිදුකොට අලුතින්ම සොයාගත් නව නිපැයුම් රුසක් සඳහා පේටන්ට් බලපත‍්‍ර විශාල සංඛ්‍යාවකට හිමිකම් කියන ඔහු සිය දිවියේ පළමු පේටන්ට් බලපත‍්‍රය හිමිකර ගත්තේ දහ නම වැනි භද්‍ර යෞවන වියෙහිදීය.

‘‘නිව්ටන්ගේ නියමය වුණත් මම කැමැති අත්හදා බලන්නයි. අත්හදා බලලා පිළිගන්නයි… මගේ නම තුෂාර කැලුම් වාදසිංහ. තාත්තා සිසිල් වාදසිංහ. අම්මා පියුමලී වාදසිංහ. පදිංචිය වැලිගම දෙනිපිටිය. පවුලේ දෙවැනියා. මට වැඩිමහල් අයියයි. මට බාල නංගියි. උපන්නෙ 1980 ජනවාරි. වැලිගම සිද්ධාර්ථ ජාතික පාසලෙන් කලා විෂය ධාරාවෙන් උසස් පෙළ සමත් වූ මම රත්මලාන ලංකා ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනයෙනුත් ඉන් පස්සෙ ඔරුගොඩවත්ත මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනයටත් සම්බන්ධ වනවා. 

ඉන් පසුව මම වැඩිදුර උසස් අධ්‍යාපනයට යොමුවන්නේ නාවල ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයට. එතනදි මම පටන් ගන්නවා මගේ පළමුවැනි නිර්මාණය වුණු ස්වයංක‍්‍රීය හදිසි ආරක්‍ෂණ සංඥා පද්ධතිය නිපදවන්නට. 

ස්වයංක‍්‍රීය හදිසි ආරක්‍ෂණ පද්ධතිය දැනට ලෝකයේ පාවිච්චි කරන ඉතාම අත්‍යවශ්‍ය මෙවලමක්. දැනටත් බැංකු, නිවාස, මූල්‍ය ආයතන වගේ ගොඩක් තැන්වල ඒ තාක්‍ෂණය භාවිත වනවා. ඇත්තටම එහි තිබෙන්නේ තම පෞද්ගලික පරිශ‍්‍රයට අමුත්තකු ඇතුළු වූ විට තමන්ගේ ජංගම දුරකථනයට සංඥාවක් මගින් එම පණිවුඩය ලබාදීමේ ක‍්‍රමවේදයයි. එම පද්ධතිය මා නිපදවූවේ ජංගම දුරකථන ලංකාවේ ජන භාවිතයට පැමිණි මුල් අවධියේදීමයි.

නිවෙසකට අමුත්තකු ඇතුළු වූ සැණින් ඒ බව ස්වාමියාගේ ජංගම දුරකථනයට සංඥාවක් මගින් දැනුම් දීමට ඇති තාක්‍ෂණික හැකියාව සම්බන්ධ පේටන්ට් බලපත‍්‍රයක් මේ වන විට මා සතුයි.

ඒ 1999 වසරෙදි. 2001 දි මම හදනවා ස්වයංක‍්‍රීය වහළ කියලා තවත් නව නිපයුමක්. එය සූර්යයාගේ ගමන් කිරීමත් ඉර ගමන් කරන රටාවත් වහිනවා, ඉර පායනවා, ඉර වැහෙනවා, අන්න ඒ වගේ කාලගුණික වෙනස්වීම්වලටත් අනුකූලව තමයි මේ වහළ ස්වයංක‍්‍රීයව ක්‍රියාත්මක වන්නේ. 

ඒ වහළ කණු මත සවිකරන්නේ එළිමහන් මිදුලකයි. අපි හරියටම කීවොත් ඒ වහළ සවි කරපු තැනක ගහක් යට ඉන්නවා වගේ සෞම්‍ය බවක් තමයි තියෙන්නේ. ඒකට විද්‍යාත්මක හේතුවක් තියෙනවා. අපි දන්නවා වහළේ උස තියෙන කොටස රත්වෙනකොට ඒ උඩම තියෙන රත්වෙන ලේයරයට ඊට යටින් තියෙන වායු ස්ථරයත් රත්වෙන්න ගන්නවා. ඒ වායුව රත්වෙන්න ගත්තාම ඒ වායුවට එතනින් එහාට යන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන් වහළ ඇතුළත පරිශ‍්‍රය රත්වෙන්න ගන්නවා.
මේ නිෂ්පාදනයේ එසේ වීම වළක්වන්නට පියාපත් වැනි පෙලට්ස් සමූහයක් තියෙනවා. ඒ නිසා ඇතුළට සූර්යාලෝකයේ රශ්මිය එන්න දෙන්නේ නෑ. ආවරණය කරගෙන ඉන්නේ. අන්න ඒ තාක්‍ෂණය භාවිත කරලයි මම ස්වයංක‍්‍රීය වහළ කියන නිපැයුම නිර්මාණය කළේ.

මම 1999 වසරෙදි පළමුවැනි පේටන්ට් බලපත‍්‍රය ලබාගන්නවා. දෙවැනි පේටන්ට් බලපත‍්‍රය ලබාගත්තේ 2001 දීයි.

ඉන් පසුව මම නාවික හමුදාව සමඟ එක්ව නව නිපැයුම් රුසක් ඉදිරිපත් කරනවා. එකල නාවික හමුදාපති අද්මිරාල් ප‍්‍රියාල් ද සිල්වා මහතාගේ අධීක්‍ෂණය යටතේ නාවික හමුදා ආරක්‍ෂණ පද්ධති සම්බන්ධ මගේ පර් යේෂණ නොකඩවා සිදුකෙරෙනවා. මගේ නව නිර්මාණ ඇගයීමට ලක්කර මාව දිරිමත් කිරීමේ ගෞරවය හිටපු නාවික හමුදාපති ප‍්‍රියාල් සිල්වා මහතාට හිමිවිය යුතුයි. වත්මන් ජනාධිපතිතුමා, අගමැතිතුමා පවා නාවික හමුදාව වෙනුවෙන් මා කළ නිර්මාණ විමසා බලා මාව ඇගයීමට ලක් කර තිබෙනවා.

ඉන් පසුව මා 2009 දී විවාහ දිවියට ඇතුළු වනවා. බිරිඳගේ නම නයනි උදය කුමාරි. ඇගේ ගම ඌරුබොක්ක ප‍්‍රදේශයේ. බාහිර උපාධිය සඳහා අමතර පන්තිවලට සහභාගී වීමේදී ‍ප්‍රේම සම්බන්ධයකින් තමයි අපේ විවාහය සිදුවුණේ. දැන් අපිට දුවලා දෙදෙනෙක් ඉන්නවා. හරිනි මල්මුතුලි ලොකු දුව 2011 වසරේ උපත ලැබුවා. තිසදි සනිත්‍යා බාල දුව හතර වසරේ අධ්‍යාපනය ලබනවා.

මම විවිධ පර් යේෂණවල නියැලී සිටින අතරේ බිරිඳ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරනවා. මගේ තාක්‍ෂණික පර් යේෂණවලට ලොකු මුදලක් වැය වෙනවා. තාක්‍ෂණික අංශයෙන් උපයාගන්නා මුදලක් හැරුණු විට ස්ථිර රුකියා ආදායම් මාර්ගයක් අපට නැහැ. එහිදී නිවෙසේ අරපිරිමැසුම්භාවය මගින් බිරිඳ මා වෙත ලබාදෙන සහයෝගය අති විශාලයි. මොකද මෙම ක්‍ෂෙත‍්‍රයේ පේටන්ට් බලපත‍්‍රයක් ලබාගන්නත් රුපියල් ලක්‍ෂ හතක් පමණ වැය වනවා.
මට මතකයි මම නාවික හමුදාවට සම්බන්ධ නිෂ්පාදනවල නියැලිලා ඉන්න අවධියේ නාවික හමුදාවේ ඉහළ නිලධාරීනුත් මට විහිළු කළා ‘‘කැලුම් මේ කරන පර් යේෂණ බඳින්න කලින් කරන තරමක් විතරයි. බැන්ඳට පස්සේ නෝනලා ඕවට ඉඩ දෙන එකක් නෑ.’’ කියලා.

නමුත් මගේ බිරිඳ මට අදටත් දෙන සහාය මගේ ගමනට විශාල අත්වැලක් වී තිබෙනවා. බෙහෙත් පෙති නිපදවන යන්ත‍්‍රයක් නිපදවන ලෙස ඉල්ලීම මට ලැබෙන්නේ මගේ හිතවතකුගේ මාර්ගයෙනුයි. 

වර්තමානයේ තියෙන කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ලංකාවට මෙවැනි යන්ත‍්‍ර ආනයනයේදී විශාල ගැටලු පවතිනවා. එවැනි තත්ත්වයක් මැද්දේ අතරමැදියෙක් හරහා හෝ අපිට එම යන්ත‍්‍රය නිපදවන රටට ගිහින් තමයි මිලදී ගැනීම සිදු කරන්නට වෙන්නේ. 

ඉතින් විදේශවලට යන්න එන්න බැරි ප‍්‍රශ්න වගේ දේවල් වගේම ආනයන සීමා ගැටලු තිබෙන මේ අවස්ථාවේ මගෙන් හිතවත් මහත්මයෙක් ඇහුවා මෙහෙම දෙයක් නිපදවන්න පුළුවන්ද කියලා. මම කීවා මීට කලින් කරලා නොතිබුණත් මට පුළුවන්. අපි බලමු කියලා.

ඉතින් එයාට අවශ්‍ය වන නිර්ණායක අනුව මේ බෙහෙත් පෙති නිපදවීමේ යන්ත‍්‍රය හදන්න පටන් ගත්තා. මේ මැෂිමෙන් පැයකට පෙති 1800 ක් නිපදවෙනවා. ඊට අමතරව මේ මැෂිම පැයකට පෙති 10000 ක් දක්වා වැඩිදියුණු කළ හැකියි. ඒ මහත්මයට අවශ්‍ය වුණේ මිලිග්‍රෑම් 1200 ඕවල් හැඩයේ පෙත්තක්. ඉතින් අපි එම නිර්මාණය කළා.

මෙම යන්ත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට තෙකලා විදුලිය අවශ්‍ය නැහැ. නමුත් ඇම්පියර් 13ක වැනි වෝලිටීයතාවයක් අවශ්‍ය වනවා. මෙහිදී යන්ත‍්‍රය තුළ බෙහෙත් පෙත්ත තෙරපෙන්නේ ටොන් 05ක පීඩනයකිනුයි.

මේ යන්ත‍්‍රයෙන් බටහිර ඖෂධ පෙති වගේම දේශීය ඖෂධත් හදන්න පුළුවන්. නමුත් බටහිර ඖෂධ අමුද්‍රව්‍යවල තියෙන ඒ හැසිරීමත් දේශීය ඖෂධ අමුද්‍රව්‍ය යන්ත‍්‍රය තුළදි දක්වන හැසිරීමත් එකිනෙකට වෙනස්. ඒ නිසා බටහිර ඖෂධ නිපදවන යන්ත‍්‍රයක දේශීය ඖෂධ නිෂ්පාදනය කරන්න ගියාම යන්ත‍්‍රය හිරවෙනවා වගේ ගැටලු රුසක් මතුවෙනවා. ඒ නිසා අපිට ලංකාවේ මැෂින් නිෂ්පාදකයෙක් නැති නිසා පිටරටින් ගෙන්වලා කරන අයට ගොඩාක් ප‍්‍රශ්න ඇතිවෙනවා. 

ඒ හේතුව නිසාම සමහරවිට යන්ත‍්‍රය භාවිතයෙන් ඉවත් කරලා දමන්න පවා සිදුවනවා. සමහර විට අලුත් මොඩලයක් ආවාම පරණ යන්ත‍්‍රයට අමතර කොටස් පවා නැතිව යන අවස්ථා තිබෙනවා.

ඉතින් මම මේ සම්බන්ධයෙන් මාස හයක් විතර විවිධ පර් යේෂණ සිදු කළා. එක දෙයක් ගැන ගොඩක් කල් රිසර්ච් කරද්දි අපිට අත්දැකීම් රුසක් ලැබෙනවා. එහෙම ලොකු කැපකිරීමක් කරලයි මේ යන්ත‍්‍රය නිෂ්පාදනය කළේ. දැන් මේ යන්ත‍්‍රයේ දේශීය සහ බටහිර කියන ඖෂධ වර්ග දෙකම නිෂ්පාදනය කළ හැකි තත්ත්වයේ තිබෙනවා. ඒ වගේම අපෙන් යන්ත‍්‍රය ලබාගන්නා අයගේ අවශ්‍යතා අනුව තව තවත් අංග මෙම යන්ත‍්‍රයට එක් කිරීමේ හැකියාවද පවතිනවා. 

ඉතින් ලංකාව කියන්නේ පැන්සලක් ඉඳිකටුවක්වත් හදන්නෙ නැති රටක්ය කියන චෝදනාවෙන් අපේ රට නිදහස් කරන අරමුණත් හිතේ තියාගෙනයි මම මේ යන්ත‍්‍රය නිෂ්පාදනය කළේ. ඒ නිසා ග්‍රෑන්ඩ් ලයින් (Grand Line) කියන වෙළෙඳ නාමයෙන් නම් කරමින් මේ බෙහෙත් පෙති නිෂ්පාදන යන්ත‍්‍රය ‘‘ටැබ්ලට් පේ‍්‍රස් මැෂින්’’ නමින් නිර්මාණය කොට අවසන් කළා.

මේ බෙහෙත් පෙති නිපැයුම් යන්ත‍්‍රයට මම ඇතුළු කරන්නේ ඖෂධ පවුඩර් එක පමණයි. මෙම යන්ත‍්‍රය නිපදවලා තියෙන්නේ ඕවල් හැඩයේ බෙහෙත් පෙති නිපදවීමටයි. ඊට වඩා වෙනස් මෝල්ඩ් එකක (හැඩයක) බෙහෙත් පෙත්තක් මේ යන්ත‍්‍රයෙන් නිපදවන්නට බැහැ. නමුත් විවිධ හැඩයට මෝල්ඩ් එක මාරු කළ හැකි පොදු යන්ත‍්‍රයක් නිපදවීමටත් මා අදහස් කර සිටිනවා. 

ඒ යන්ත‍්‍රයෙන් තමුන්ට කැමැති හැඩයක බෙහෙත් පෙත්තක් එළියට ගත හැකි වනවා. හැඩය කීවම බෙහෙත් පෙත්තේ උස දිග පළල වටකුරු හතරුස් බව ආදී සියලු හැඩයන් වෙනස් කළ හැකි යන්ත‍්‍රයක් නිපදවීමයි ඊළඟ ඉලක්කය.

ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ මෙය ලෝකයේ මීට පෙර නිපදවා ඇති යන්ත‍්‍රයක් වන්නා සේම, මා කළේ එම යන්ත‍්‍රය ලංකාවේ නිපදවීම පමණයි. ඒ අනුව මෙය ශ‍්‍රී ලංකාවට මිස ලෝකයට නව නිපැයුමක් නොවෙයි. 

මේ වන විටත් මෙම යන්ත‍්‍රයට ඇණවුම් විශාල ප‍්‍රමාණයක් ලැබී තිබෙනවා. හුඟක් දෙනෙක් විමසනවා ඒ අයට කර්මාන්තයක් ආරම්භ කරන්නට මෙවැනි යන්ත‍්‍රයක් නිෂ්පාදනය කරලා දෙන්න බැරිද කියලා. ලංකාවේ නිෂ්පාදනය නොකරන විවිධ යන්ත‍්‍ර පිළිබඳව පාරිභෝගිකයන් මගෙන් විමසනවා. ඒ ආපු දුරකථන ඇමතුම්වලින් මම දන්නවා පාරිභෝගිකයන් සිටින්නේ මෙවැනි නිෂ්පාදන සිදු කරන්නට ලංකාවේ ආයතන නැති එක ගැන බරපතළ ගැටලුවක බව.

මම නව නිපයුම්කරුවෙක් හැටියට එකම දෙයක පමණක් රුඳිලා ඉන්න බලාපොරොත්තුවක් නෑ. අපේ රටේ නව නිපැයුම්කරුවන්ටත් වැරදිච්ච තැන් ගොඩක් තියෙනවා. ඉන් එක තැනක් තමයි බොහොමයක් නව නිපැයුම්කරුවන් එකම දෙයක් නිපදවලා ඒ දෙයම අලෙවි කරලා ව්‍යාපාරිකයෙක් ව්‍යවසායකයෙක් වෙන්න උත්සාහ කරන එක. එතකොට එයාගෙ දක්‍ෂකම් සියල්ල මොට වෙනවා සල්ලි පස්සෙ දුවන්න ගිහිල්ලා.

හැමෝටම නව නිපැයුම්කරුවෙක් වෙන්න බැහැ වගේම හැමෝටම ව්‍යවසායකයෙක් වෙන්නත් බෑ. ඒ නිසා මගේ උත්සාහය තව තවත් නව නිපැයුම් බිහිකිරීමයි. දැනටත් මම එක්තරා සුවිශේෂී නව නිපැයුමක් වෙනුවෙන් ජාත්‍යන්තර පේටන්ට් බලපත‍්‍රය පවා ලබාගෙන තියෙනවා. එය සුළං විදුලි බලාගාරයක් සම්බන්ධයෙනුයි. ඉදිරියේදී මම එය ජනගත කිරීමට බලාපොරොත්තු වනවා.

ඒ වගේම අපේ රටේ අපේ සම්පත් උපයෝගී කරගෙන කළ හැකි නව නිර්මාණකරුවන් අඩුවෙන්ම අවධානය යොමු කරන තවත් ලොකුම දේවල් තියෙනවා. ඒවා මම ලබන වසරේ ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා.

මම කරපු පොඩි පොඩි නිර්මාණවලට මම පේටන්ට් ගත්තෙ නෑ. නමුත් ඉදිරියේදි ඒ සියලු නිෂ්පාදනවලට පේටන්ට් බලපත‍්‍ර ගන්න බලාපොරොත්තු වනවා. ඒකෙන් මා සතු පේටන්ට් බලපත‍්‍ර සංඛ්‍යාව ඉහළ යන නිසා.

කොරෝනා උවදුර තදින් පැතිරුණු සමයේ නාවික හමුදාව සමඟ කටයුතු කරන අවස්ථාවේ රට වෙනුවෙන් නිෂ්පාදන රුසක් එළිදැක්වූවා. කෙරෝනා රෝගීන්ට උපස්ථාන කරන රෝබෝ යන්ත‍්‍රයක් ස්ථාපිත කළා. අදත් එය රෝහල් කිහිපයකම භාවිත වනවා.  

මේ නව යන්ත‍්‍රය සම්බන්ධයෙන් චන්න ජයසුමන රාජ්‍ය ඇමැතිතුමා මට කතා කළා. මොනවද අවශ්‍ය කියලා ඇහුවා. කතා කරන්න අවස්ථාව දෙන්නම් කීවා.

0 comment
0

Related Posts

Leave a Comment