Home කාලීන පුවත් බූස්ටර් එන්නතක වැදගත්කම සරලව හිතන්න බෑ

බූස්ටර් එන්නතක වැදගත්කම සරලව හිතන්න බෑ

by Hela news

කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිසිර සිරිබද්දන

තවත් වසරක් කොවිඩ් සමඟ ජීවත් විය යුතුද යන ප්‍රශ්නාර්ථය මේ වන විට ලොව දැවෙන ප්‍රශ්න අතරට එක්ව හමාරය. නමුත් එහි තීන්දුව තිබෙන්නේ ජනතාව අතය. කොරෝනා ව්‍යාප්තිය මුළුමනින්ම හසුරුවන්ගේ ජනතාවගේ හැසිරීම සහ කල්ක්‍රියාව මතය. ජනතා හැසිරීම පිළිබඳව පුරෝකතනයන් ඉදිරිපත් කිරීම උගහට කරුණක් බැවින් කොවිඩ් වසංගතයේ ඉදිරි කාල පරිච්ඡේදය කෙසේ වේදැයි කිව නොහැකිය. මේ නිසා එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය තවදුරටත් වැඩි කරන අමතර එන්නත් මාත්‍රාවක් දීමේ වැඩසටහනට ශ්‍රී ලංකාවද එක්ව සිටී. මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ. සිසිර සිරිබද්දන යනු වෛද්‍ය විද්‍යාව පිළිබඳ හසළ දැනුමක් හෙබි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු මෙන්ම රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වත්මන් ආචාර්යවරයෙකි.

– ඇතැමුන් බොරු මත ප්‍රචාරය කරනවා
– එන්නතට බයේ හැංගෙන්න එපා
– එන්නත්කරණයෙන් අප ඉන්නේ හොඳ තැනක‍

කොවිඩ් සමඟ අලුතින් කතා කරන මාතෘකාව කොවිඩ් තුන්වැනි එන්නත් මාත්‍රාවක් ගැනයි. මොකක්ද මේ බූස්ටර් එන්නතක් කියන්නේ?

බූස්ටර් එනන්තක් කියන්නේ කලින් දුන් එන්නත්වල ශක්තිය වැඩි කිරීමට දෙන එන්නතක් කියන එකයි. මේ අර්ථ දැක්වීම සරල වුණත් බූස්ටර් එන්නතක වැදගත්කම් කියන සරලව සිතන්න බෑ. කොරෝනා වයිරසය ලෝකයට විවෘත වී වසර දෙකක් ඉක්ම ගොස් තෙවැනි වසරකටත් ඇදි යන තත්ත්වයක් තිබෙන බව වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් අනාවැකි ඉදිරිපත් කරනවා. ඒ වගේම මේ වයිරසය ලෝක ජනගහනයෙන් විශාල පිරිසකට සෝචනීය අත්දැකීමක් මෙන්ම මරණයේ බිය දනවන කාරණයක් බවට පත් වුණාට පසුව මරණයෙන් ගැලවෙන්න ක්‍රමයක් සෙවුවා. ඒ අනුව වෛද්‍ය විද්‍යාවේ ඉහළටම ගිය රටවල්ද ඒ අභියෝගය හමුවේ විවිධ අභියෝගයන්ට මුහුණ දුන්නා. අමෙරිකාව, රුසියාව, චීනය පවා තම ජනතාව මේ ව්‍යසනයෙන් ගලවා ගන්න විශාල වෙහෙසක් දැරුවා. එහි එක් ප්‍රතිඵලයක් විදිහටයි කොරෝනා මැඬලීම සඳහා එන්නත්කරණයට ආවේ. ඉන්පසු ඒ ඒ රටවලින්, විවිධ නම්වලින් එන්නත් නිෂ්පාදනය වුණා. ඉන්පසුව බලවත් රටවල් තම ජනතාව එන්නත්කරණයට භාජනය කරන අතරතුර වෙනත් රටවල් සඳහා මිලදී ගැනීමට හැකි වන ලෙස මේවා නිෂ්පාදනය කළා. එහිදී ඔවුන් එක් මාත්‍රාවකින් මේ වයිරසයෙන් ගොඩ එන්න බෑ කියන එක තහවුරු කර ගත් නිසයි පළමු එන්නත් ප්‍රභේදයෙන් දෙවැනි මාත්‍රාවක් දීමට නිර්දේශ කළේ. ඉන්පසු දෙවැනි මාත්‍රාවකින්ද සෑහීමට පත් විය නොහැකි තත්ත්වයක් තුළ අමතර එන්නතක් එහෙමත් නැතිනම් ප්‍රතිශක්තිකරණය වර්ධනය කරන තවත් එන්නතක් හෙවත් බූස්ටර් එන්නත කියන අදහස ඉදිරිපත් වුණා.

ඇයි බූස්ටර් එන්නතක් ගැන අදහස කරළියට ආවේ?

ඇත්තෙන්ම මේ වන විට ලෝකයේ රටවල් බොහොමයක් තම ජනතාවට කුමක් හෝ එන්නතක් දී තිබෙනවා. ඒ වගේම සැලකිය යුතු තවත් රටවල් ප්‍රමාණයක් දෙවැනි මාත්‍රාවක්ද දී තිබෙනවා. නමුත් කොරෝනා වයිරසය සහ නියුමෝනියා තත්ත්වය නිසා මිය යන ප්‍රමාණය තවමත් අවම මට්ටමකට එහෙම නැත්නම් අවදානම් මට්ටම පහව ගොස් ඇති තත්ත්වයක් ළඟා කර ගැනීමට හැකි වී නෑ. ඊට හේතුව මෙතෙක් ලෝකය පුරා භාවිතයට ගෙන ඇති එන්නත්වල අඩුපාඩුවක් නිසා නොවෙයි. එක් අතකින් මෙම කොවිඩ් 19 වයිරසය මේ වන විට විවිධ විකෘති ප්‍රභේද ලෙස නිර්මාණය වෙමින් පැතිරෙමින් පවතින තත්ත්වයක් මුල සිටම දැක ගැනීමට ලැබුණා. ඒ අනුවයි ඩෙල්ටා, ඩෙල්ටා ප්ලස් වැනි ප්‍රභේද ආවේ. වයිරසයක ස්වභාවය තමයි මොහොතින් මොහොත වෙනස් වෙමින් පෙර පැවති ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයකින් මතු වීමේ හැකියාව. ඒ වගේම මේ වයිරසය ලෝකය පුරා ම ව්‍යාප්තව තිබෙන නිසා වයිරසයත් වෙනස් වෙමින් යන ස්වභාවයක් දැක ගැනීමට තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ එක් එන්නත් මාත්‍රාවකින් දෙකකින් මේ වයිරසය මැඬලීම අභියෝගයක් විය හැකි නිසා ඒ අභියෝගයට පිළියමක් ලෙස ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන වර්ධක එන්නතක් දීම සුදුසු බවට නිර්දේශ වී තිබෙනවා.

තවමත් ලෝකයේ ඇතැම් රටවලින් මරණ විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ නිසා අමතර එන්නත් මාත්‍රාවක් දිය යුතු බවත් කියනවා නේද?

ඇත්තෙන්ම ඔව්. ඒක ප්‍රමුඛ කාරණයක්. තවමත් අමෙරිකාව සහ යුරෝපා රටවල රෝහල් කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණාත්මක අඩු වීමක් නෑ. දෛනික මරණ සංඛ්‍යාවත් ඉහළයි. එවැනි තත්ත්වයක් තුළ බූස්ටර් එන්නතක් අනවශ්‍ය යැයි කියන තර්කය කිසිම කෙනකුට ඉදිරිපත් කරන්න බෑ.

බූස්ටර් එන්නතක් ගැන අපේ රට තුළ මුලින්ම කතා බට ලක් වුණු මොහොතේ අවදානම් පුද්ගලයන් සඳහා එය දිය යුතු බවටයි අදහස් ඉදිරිපත් වුණේ?

මේ වන විට ලංකාවේ සිදුව ඇති මරණවලින් වැඩි ප්‍රමාණයක් වයස්ගත සහ විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්. මේ නිසා අවදානම් කණ්ඩායමට අයත් වන්නේ කොරෝනා වයිරසය ශරීරගත වුණොත් ජීවිත අවදානම සහිත මෙවැනි පුද්ගලයන්. මේ කණ්ඩායම අවදානම් තත්ත්වයෙන් ගලවා ගැනීමට අපි සමත් වුණොත් ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව අවම මට්ටමකට ගන්න පුළුවන්. මේ නිසා විශේෂයෙන් වයෝවෘද්ධ ජනතාව සුරක්ෂිත කිරීමේ අරමුණින් රජය අමතර එන්නත් මාත්‍රාවක් දීමට තීරණය කළා. එය ඉතාමත් බුද්ධිමත්, කාලෝචිත තීරණයක් කියන එක අපි කියනවා.

අමතර මාත්‍රාවක් අවශ්‍ය වන්නේ පළමු සහ දෙවැනි එන්නත්වලින් ලැබෙන ප්‍රතිශක්තිකරණය ක්‍රමයෙන් හීන වෙමින් යන නිසා බවට මත පළ වීමත් සමඟයි. එහි ඇත්ත නැත්ත මොකක්ද?

මෙහෙමයි. මුලින් ම කියන්න ඕනෑ වයිරසයකට නිශ්චිත ප්‍රතිකාරයක් නෑ. ඒ වගේම කොරෝනාවලටත් සියයට සියයක්ම ආරක්ෂාව දෙන ප්‍රතිකාරයක් තවම සොයා ගෙනත් නෑ. නමුත් දැනට ලෝකයේ වෛද්‍යවරුන් කොරෝනා වැලඳුනු රෝගියකුට මරණීය තත්ත්වයක් ඇති නොවන මට්ටමකට රෝගියා පත් කර ගන්න නම් එන්නත්කරණය එකම පිළියම ලෙස තහවුරු කරගෙන තිබෙනවා. දැනට ලෝකයේ භාවිතයට ගන්න බොහොමයක් එන්නත් ඉතා සාර්ථක ප්‍රතිඵල දී තිබෙනවා. නමුත් එන්නතක වුණත් එයින් ලැබෙන ප්‍රතිශක්තිකරණය කාලයක් ගත වන විට හීන වෙන්න පුළුවන්. කොරෝනා වයිරසයේ පවතින ප්‍රබලත්වය ගැන හිතන විට ඒ කාරණය අමුතුවෙන් ප්‍රශ්න නඟන්න හේතුවකුත් නෑ. වෙනත් ඖෂධ වගේම එන්නතක් වුණත් සරල බසින් කියනවා නම් වැඩ කරන්නේ යම් කාලයක් සඳහා තමයි. මේ නිසයි මේ වයිරසය සාමාන්‍යකරණය වන තුරු එහි ව්‍යාප්තිය දුර්වල වන තුරු, හීන වනතුරු අඛණ්ඩ ප්‍රතිශක්තිකරණයක අවශ්‍යතාව මතු වෙන්නේ. නමුත් බාල එන්නත් හෝ එන්නත්වලින් ප්‍රතිඵලයක් නෑ කියන තර්කය නම් පදනම් විරහිතයි.

දැනට ලොව නිෂ්පාදනය කර ඇති එන්නත්වලින් සාර්ථකත්වයෙන් ඉදිරියෙන්ම සිටින්නේ කුමන එන්නතද?

එහෙම කියන්න බෑ. දැනට ලෝක ජනගහනයෙන් වැඩියෙන්ම එන්නත් කර තිබෙන්නේ සයිනොෆාම්. නමුත් ෆයිසර්, සපුට්නික් වැනි එන්නත් යුරෝපා රටවල වැඩියෙන් යොදා ගෙන තිබෙනවා. ඇතැම් එන්නත් එක් මාත්‍රාවක් ගත්තත් ප්‍රමාණවත් බවට තර්ක තිබෙනවා. ඒ වගේම සයිනොෆාම් වැනි එන්නත් මාත්‍රා දෙකම ගත්තොත් ඉතා ඉහළ මට්ටමේ ප්‍රතිශක්තිකරණයක් ලැබෙනවා. ඇස්ට්‍රාසෙනිකා සහ මොඩර්නා එන්නත්වල මාස 6ක් ඉක්ම යෑමෙන් පසු ප්‍රතිශක්තිය හීන වන බවක් කියනවා. නමුත් එන්නතක සාර්ථකභාවය ප්‍රතිජීවක නිපදවීමේ අඩු වැඩි වීම කියන එකෙන් මනින්න බෑ. ප්‍රතිජීවක මට්ටම අඩු වුණා කියලා ප්‍රතිශක්තිය අඩුයි කියන්න බෑ. ඒ වගේම ප්‍රතිජීවක නිපදවන ප්‍රමාණය පමණක් නොවෙයි ශරීරයේ ප්‍රතිශක්තිකරණයට බලපාන්නේ.

තුන්වැනි එන්නත් මාත්‍රාව ලෙස අප දෙන්න යන්නේ කුමක්ද?

ඇස්ට්‍රාසෙනිකා සහ සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම දැන් දී අවසන්. ඒ අයට ස්පුට්නික් හෝ ෆයිසර් එන්නතින් මාත්‍රාවක් දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබෙනවා.

අමතර එන්නතක් සෑම පුද්ගලයෙක්ම ගැනීම අත්‍යවශ්‍යද?

මේ වන විට මාස තුනක් හෝ හයක් ඉක්ම ගිය පසු අමතර මාත්‍රාවක් දීම සුදුසු බවටත් පර්යේෂණ පත්‍රිකා විශාල ප්‍රමාණයක් නිකුත් වි තිබෙනවා. මේ සොයා ගැනීම් නිකම්ම හේතුවක් නැතිව ඉදිරිපත් කරන දේවල් නෙමෙයි. මේ නිසා හැමෝම තුන්වැනි එන්නතක් ගන්නවා නම් බොහොම හොඳයි. අමතර එන්නතක් ගත්තා කියාල කිසිම ප්‍රශ්නයක් මතු වෙන්නේ නෑ. මේ නිසා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ රජය ජනතාව වෙනුවෙන් දෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙසයි.

එන්නත්කරණය අතින් ශ්‍රී ලංකාව සිටින්නේ කොතැනද?

අනෙක් රටවල් ගැන කතා කරන්නත් බෑ. බොහොමයක් රටවල් එන්නත්කරණ වැඩසටහන ගෙනියන්නේ විවිධ ගැටලු මධ්‍යයේ. විශේෂයෙන් ඒ රටවල ජනතාව ඒ සඳහා නැඹුරු කර ගන්න එක ඉතා අසීරු අභියෝගයක් බවට පත්ව තිබෙනවා. නමුත් කියන්න සතුටුයි. එන්නත්කරණය අතින් අප ඉන්නේ ඉතාමත් ඉහළ තැනක. අපි දැන් අමතර එන්නත් මාත්‍රාවකටත් අවතීර්ණ වෙලයි ඉන්නේ. ඒ සාර්ථකත්වය පිටුපස තිබෙන්නේ රජයේ සැලසුම් සහගත වැඩපිළිවෙළ සහ ජනතාව ඒ සඳහා දක්වන සහයෝගයයි.

මේ වන විට පාසල් දරුවන් සඳහා එන්නත් දීම සිදු කරමින් පවතිනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

ඉතාමත් හොඳයි. වැඩිහිටියන්ට තරම් දරුවන්ට කොරෝනා වයිරසය අවදානම් නෑ. මොකද දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය බොහොම ඉහළයි. නමුත් වැඩිහිටියන්ගෙන් දරුවන්ට වයිරසය සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීමට එන්නතක් දීම ඉතාමත් හොඳයි. ෆයිසර්වලින් නම් එක් මාත්‍රාවක් වුණත් දරුවන්ට ප්‍රමාණවත්. සයිනොෆාම් මාත්‍රා දෙකම දීම සුදුසු බවයි මගේ අදහස. චීනයේ වයස අවුරුදු 11ට වැඩි සියලුම දරුවන් සඳහා සයිනොෆාම් එන්නත දුන්නා. චීනය වෙනත් රටවලට වඩා දරුවන් ගැන බොහොම ඉහළින් සිතන ක්‍රියාකරන රටක්. ඒ නිසා ඔවුන් වැරැදි තීරණයක් ගන්නේ නෑ. ඒ වගේම අනෙක් රටවල් දරුවන් සඳහා වැඩියෙන්ම දී තිබෙන්නේ ෆයිසර් එන්නත.

ෆයිසර් එන්නතින් අතුරු ආබාධ ඇති වන බවට මතයක් සමාජ ගත වී තිබෙනවා නේද?

එය තනිකර බොරුවක්. ඇතැමුන් කියන්නේ හෘද රෝග ඇති වීමේ අවදානමක් තිබෙන බවයි. හෘදයේ මාංශ පේෂි ප්‍රතිදේහ ප්‍රදාහයක් ඇති වන බවයි එහිදී කියැවෙන්නේ. නමුත් එහෙම වෙන්නේ නෑ. මේ නිසා අපි තරුණ අයටත් ෆයිසර් එන්නතික් එක් මාත්‍රාවක් හෝ දීම ප්‍රමාණවත්. අපි තරුණ පාර්ශ්වයට, මවුපියන්ට කියන්නේ කිසිම සැකයක් ඇති නොකරගෙන තම දරුවන් එන්නත් කර ගන්නා ලෙසයි.

එකම එන්නත් මාත්‍රාවක්වත් නොගෙන සැඟ වී සිටින අයත් ඉන්නවා නේද?

අපි ඒ අයට කියන්නේ හැංගිලා ම ඉන්න. එළියට එන්න එපා. මොකද එළියට ආවොත් මැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

දරුවන්ට පාසල් අධ්‍යාපනය දැන් විවෘත වි තිබෙනවා සමාජ වගකීම ඉතා ඉහළින්ම සිතන්න වෙනවා නේද?

අනිවාර්යයෙන්ම ඔව්. ඒ වගකීම තිබෙන්නේ මවුපියන්ට සහ වැඩිහිටියන්ට. මවුපියන් එන්නත් ගෙන නැත්නම් තම දරුවන් පාසල් යවන්න එපා. අනිවාර්යයෙන්ම මවුපියන්ගේ වැරැද්දෙන් දරුවන් වාහකයන් බවට පත්ව ඇත්නම් තවත් දූ දරු පිරිසකට රෝගය පැතිරෙනවා. තරුණ දරුවන්ට වයිරසය ශරීරගත වුණත් රෝග ලක්ෂණ බොහෝ විට පෙන්වන්නේ නෑ. ඒ වගේම දරුවන්ට සෞඛ්‍යාරක්ෂිත පුරුදු නිරන්තරයෙන් සිහි ගන්වන්න. පුරුදු පුහුණු කරවන්න කියන එකයි අපට දෙන්න තිබෙන පණිවුඩය.

0 comment
0

Related Posts

Leave a Comment