Home කාලීන පුවත් බිඳුණු තල්රුක රාජිනී

බිඳුණු තල්රුක රාජිනී

by Hela news

ඒ 1949 දෙසැම්බර් 18දා ය. ලංකාවේ දෙමළ රාජ්‍යයක් පිහිටුවීමේ මුල්ගල තැබුණේ එදාය. 1902 වසරේදී මැලේසියාවේ ‘ඉපෝ’ නගරයේ සිට සිය මෑණියන් වූ හැරියට් අත්තම්මා කනපතිපිල්ලේ සමඟ ලංකාවට පැමිණි එවකට සිවු හැවිරිදිව සිටි සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ චෙල්වනායගම් එහි නියමුවා විය.

ඔහුගේ පියා මැලේ ජාතික ව්‍යාපාරිකයකු වූ විශ්වනාත් වේලුපිල්ලේ විය. මුල්ගල තැබුණේ මරදානේ නිවසක් තුළය. එහිදී ඔහු පැවසුයේ තමා චෙකරාසා සේකරන් හෙවත් සංකිලිගේ පුනරුත්තිය බවය. පෙඩරල් පක්ෂයේ ආරම්භය එතනදී සිදු විය. වැල්වැටිතුරේ හොර බඩු ජාවාරම්කරුවන් දෙදෙනකු වූ කුට්ටුමනී සහ ජෙගන් ද්‍රවිඩ මහාචාර්යවරයකුගේ නිවසේදී දෙවැනි දෙමළ ජාතිවාදි සංවිධානය වූ දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය (ටෙලෝ) පිහිටුවීය.

ඉන්පසු කොටි සංවිධානය, ඇතුළු තවත් ජාතිවාදි සංවිධාන බිහි විය. චෙල්වනායගම් දෙමළ ජනතාවගේ හිස් ගෙඩි ජාතිවාදයෙන් පුරවාලීය. බල ලෝභයෙන් ඔත්පල වූ සිංහල නායකයෝ ද ආණ්ඩු පිහිටුවීම සඳහා ඔවුන්ගේ ආධාර සහාය පැතුයෙන් ඔවුන් සිය ජාතිවාදි ඉල්ලීම් බොහොමයක් සපුරාගනු ලැබීය. එහෙත් ඔවුනට වෙන් වූ දෙමළ රාජ්‍යයක් පිහිටුවීමට නොහැකි විය. එයින් ප්‍රයෝජනය ගත් වේලුපිල්ලේ ප්‍රභාකරන් චෙල්වනායගම් ඇතුළු ද්‍රවිඩ නායකයින් දෙමළ ජනතාව පාවා දෙන්නන් බවත් ඔවුන් ද්‍රෝහීන් බවත් පවසා දෙමළ තරුණ තරුණියන් සිය සංවිධානය තුළට එක්රැස් කර ගන්නා ලදි.

1954 පෙබරවාරි මස 23 දින යාපනයේදී මෙලොව එළිය දුටු ඇය රාජිනී රාජසිංහම් නම් විය. යාපනයේම දලුලා හැදී වැඩුණු ඇය උසස් පෙළ සමත් වී කොළඹ විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයට ඇතුළත්ව අධ්‍යාපනය අවසන් කර වෛද්‍යවරියක වශයෙන් සේවය ඇරඹුවාය. පසුව එයින් ඉවත් වී යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරියක වූවාය. උපතින්ම රැඩිකල් අදහස්වලින් පිරුණු ඇය වාර්ගික ආගමික යදම් බිඳ දමා 1977 වසරේදී විශ්වවිද්‍යාලයීය කථිකාචාර්යවරයකු වූ දයාපාල තිරාණගම සමඟ අතිනත ගත්තාය. ඔහු බෞද්ධයකු වූ අතර ඇය කතෝලික වූවාය. එයින් ඇය දරුවන් දෙදෙනකු ලැබුවාය. පසුව ශිෂ්‍යත්වයක් ලැබ එංගලන්තයේ ලිවර්පුල් සරසවියේ වෛද්‍ය විද්‍යාවට අදාළ ආචාර්ය උපාධියක් හිමිකර ගත් ඈ නැවත ලංකාවට පැමිණ යාපනය විශ්වවිද්‍යාලයේ කායව්‍යවච්ඡේදන අංශයේ අංශ ප්‍රධානි තනතුර භාරගනී. මගේ සේවය ජනතාවට අවශ්‍ය යුගයක මට ඔවුන් තනිකරන්න බෑ යැයි පැවසූ ඇය සමාජ සේවාවට ද එක්වූවාය. ඇයගේ සහෝදරියක් කොටි සංවිධානයට එක්ව සිටි අතර එමගින් ඇය ඔවුන් සමඟ ද සුහද වූවාය. යුද්ධයේදි තුවාල ලත් කොටි සාමාජික සාමාජිකාවන්ට ප්‍රතිකාර කර සුවපත් කළාය. ද්‍රවිඩ ජනතාව මුහුණ දුන් පීඩනය, අවනීතිය අසාධාරණය තුරන් කර ඔවුනට විමුක්තිය ලඟාකර දීමට කොටි සංවිධානය කැපවී සිටිතැයි ඇය විශ්වාස කළාය.

එහෙත් බුදුන්වහන්සේ දේශනා කළ ‘කාලාමය මා කියන්නක් නොඅසව, පරම්පරාවෙන් පැවතුනාය කීවත්, පොතපතේ සඳහන්ව ඇතත්, මෙය අපේ විශ්වාසයට ගැළපේ යැයි පෙනෙතත් එය විශ්වාස නොකරව තොප සොයා බලා මේ දෙය අසත්‍යයයි තොපට වැටහෙන්නේ ද එවිට එය අතහැර දමනු. යම් විටෙක මෙය යහපත්ය. සත්‍යය යයි ද වැටහෙන්නේ නම් එය පිළිගත යුත්තේය. පිළිපැදිය යුත්තේය” යන වදන් කෙසේ හෝ පසක් කළ ඇය කොටි සංවිධානය විමුක්ති සංවිධානයක් නොව එය භයානක මිනීමරු සංවිධානයක් බව අවබෝධ කර ගත්තාය.

එයින් තැතිගත් ඇය කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් විවේචනය කළාය. කොටියන් සාමාන්‍ය ජනතාව පීඩනයට පත් කළ අයුරු පැහැදිලි කළාය. හඬනැඟුවාය. ඇයගේ එඩිතර හඬ යාපනය අර්ධද්වීපය පුරාම පැතිර ගියාය. ඒ හඬ වැළැක්විය නොහැකි වූවාය. ඇගේ හඬින් ක්‍රියාදාමයන්ගෙන් කොටියන් ප්‍රකෝප විය. ඇය පසුපස ඉව අල්ලමින් ගිය ඝාතකයෝ 1989 සැප්තැම්බර් මස 21 දින ඇය හඹා ගියහ. එදින විශ්වවිද්‍යාලයේ සිය කාර්යයන් නිමා කළ රාජිනි පාපැදියකින් සිය නිවෙස වෙත යමින් සිටියදී පසුපසින් පැමිණි ඝාතකයෝ ඇය එල්ල කර වෙඩි වැලක් පිට කළහ. ලේ දහරාවක් වගුරවමින් මහ මග ඇද වැටුණු ඇය සිය මව්බිමින් සමුගත්තාය. දකුණේ සිංහල සමාජයත්, යාපනයේ දෙමළ සාමකාමි සමාජයත් කම්පනයට පත් කරමින් මානව හිතවාදිනියක, තමන් විශ්වාස කළ සත්‍යය වෙනුවෙන් හඬනැඟූ යාපනය භූමියේ විසල් තල්රුක එසේ ඇද වැටුණාය.

0 comment
0

Related Posts

Leave a Comment