Home ව්‍යාපාර පුවත් බ්‍රැන්ඩික්ස් ‘රන් දරු අබිසෙස්’

බ්‍රැන්ඩික්ස් ‘රන් දරු අබිසෙස්’

by Hela news

මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අපනයනකරුවකු වන බ්‍රැන්ඩික්ස්, උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වී විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසු සිසුවියන් වෙනුවෙන් ‘රන් දරු අබිසෙස්’ නමින් විශේෂ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමයක් හඳුන්වා දී ඇත. රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ සිසු සිසුවියන්ට තම අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට අත්වැලක් වෙමින්, රටේ අනාගත නැණවත් ශ්‍රම බළකාය වඩාත් ශක්තිමත් කිරීම මේ වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.

වැඩසටහනේ ආරම්භය සංකේතවත් කරමින් පැවති උත්සවය ලෝක ළමා දිනයට සමගාමීව, අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රන් දරු අබිසෙස් වැඩසටහනේ ප්‍රථම ශිෂ්‍යත්වය, කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා සුදුසුකම් ලැබූ කේ. අක්ෂිකා සිසුවිය වෙත පිරිනමන ලදි. 2019 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජෛව පද්ධති තාක්ෂණවේදය අංශයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත ලංකා දෙවැනි ස්ථානය හිමි කර ගත් අක්ෂිකා, උසස් පෙළ විභාගයෙන් අනතුරුව ප්‍රතිඵල නිකුත් වන තුරු මඩකලපුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කළ අතර, එම කාලය අතරතුර රැකියාවේදීද විශිෂ්ට කුසලතා ප්‍රදර්ශනය කළාය.

මේ උත්සවයට සහභාගි වෙමින් අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමාජයීය වශයෙන් වගකීම් සහගත ක්‍රියා තුළින් ආදර්ශයක් දීමට බ්‍රැන්ඩික්ස් සමාගම දරන උත්සාහය අගය කළේය. “රන්දරු අබිසෙස් වැඩසටහන ඔස්සේ අධ්‍යාපනයට අත්වැලක් වීමට ගත් තීරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය බ්‍රැන්ඩික්ස් සමාගමට ස්තූතිය පුද කර සිටිනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ සහයෝගය ලැබීම ඉතාමත් වැදගත්. බ්‍රැන්ඩික්ස් මේ සම්බන්ධයෙන් සාර්ථක ඉදිරි පියවරක් තබා තිබෙනවා.

මඩකලපුවේ සිට අද මෙහි පැමිණ සිටින, බ්‍රැන්ඩික්ස් වැනි සමාගමක සහයෝගය ඇතිව තම උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට වාසනාව ලැබූ අක්ෂිකා මුණ ගැසීමට ලැබීම මට සතුටක්. සාම්ප්‍රදායික උසස් අධ්‍යාපනයේ සීමාවෙන් එපිට පැතිමානයන් තුළ සිසුන්ගේ අධ්‍යාපනයට ආධාර කිරීම සඳහා ඉදිරියටත් අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරන ලෙස බ්‍රැන්ඩික්ස් සමාගමට මා ආරාධනා කරනවා.” දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment