බදුරලිය-රාගම-එන්සීසී-යුද හමුදාව අපරාජිතව අවසන් පූර්ව වටයට

0
43

අන්තර් සමාජ එක්දින ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට බදුරලිය, රාගම, එන්සීසී සහ යුද හමුදා කණ්ඩායම් සමත් වෙයි. මේ වන විටත් මේ කණ්ඩායම් හතරම අපරාජිතයන් ලෙස තරගාවලියේ රැඳී සිටීම විශේෂත්වයකි.

බදුරලියට කඩුලු 7ක ජයක්

‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් ඊයේ මොරටුවේ පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයට එක් වූ බදුරලිය පිල හමුවේ මුවර්ස් ක්‍රීඩා සමාජය කඩුලු 7කින් පරාජයට පත් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් මුවර්ස් පිල ලකුණු 154කට සීමා කළ බදුරලිය ක්‍රීඩකයන් ඕවර 25.5කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී තිබියදීය. බදුරලිය පිලට වේගවත් ආරම්භයක් දුන් සඳුන් වීරක්කොඩි හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 70ක් රැස් කළේ පන්දු 57කිනි. බදුරලිය කණ්ඩායමේ බිඳ වැටුණු කඩුලු 3ම සචිත්‍ර සේරසිංහ ඉදිරියේ සටහන් විය. ලකුණු 38ක් රැස් කළ ජීවන් මෙන්ඩිස් මුවර්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙද්දී තිලකරත්න සම්පත් කඩුලු 4ක් බිඳ දැම්මේය.

රාගම කඩුලු 6කින් දිනයි

කටුනායක පැවැති දෙවැනි අර්ධ අවසන් වටයේ තරගයෙන් ටැමිල් යුනියන් පිල කඩුලු 6කින් පරාජය කිරීමට රාගම කණ්ඩායමට හැකි විය. රාගම කණ්ඩායම මූලික වටයේදී ‘බී’ කාණ්ඩයෙන් තරග කරමින් අපරාජිතව පෙරමුණ ගෙන මේ වටයට පිවිසියේය.

ඊයේ තරගයේදී පළමුව පන්දුවට පහර දෙමින් ටැමිල් යුනියන් දුන් ලකුණු 256ක ඉලක්කය හඹාගිය රාගම ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී තිබියදී ජය අත් කර ගත්තේය. ජනිත් ලියනගේ සහ උදාර ජයසුන්දර සිව්වැනි කඩුල්ලට ලකුණු 171ක සබඳතාවක් ගොඩනඟමින් රාගම පිල ජයග්‍රහණය කරා ගෙන ගියහ. ලියනගේ ලකුණු 91ක් සහ ජයසුන්දර නොදැවී ලකුණු 86ක් ඉනිමට එක් කළහ. යොහාන් මෙන්ඩිස් (75) සහ සධීර සමරවික්‍රම (64) ටැමිල් යුනියන් වෙනුවෙන් අර්ධ ශතක රැස් කළ අතර, බිනුර ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත්තේය.

එන්සීසී පිලට දැවැන්ත ජයක්

කමිල් මිෂාර රැස් කළ විශිෂ්ට ශතකය හේතුවෙන් නාවික හමුදා පිල සමඟ කෝල්ට්ස් පිටියේ පැවැති අර්ධ අවසන් වටයේ තෙවැනි තරගයෙන් එන්සීසී පිලට ලකුණු 167ක දැවැන්ත ජයක් අත් විය. එන්සීසී පිල ‘සී’ කාණ්ඩයේ අපරාජිතයන් ලෙස පෙරමුණ ගනිමින් මේ තරගයට සුදුසුකම් ලැබීය.

තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් එන්සීසී පිල දුන් ලකුණු 338ක ඉලක්කය හමුවේ එන්සීසී පිලට රැස් කළ හැකි වූයේ ලකුණු 170ක් පමණි. එන්සීසී පිල වෙනුවෙන් කමිල් මිෂාර ලකුණු 107ක් රැස් කළේ පන්දු 114කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟිනි. නායක ඇන්ජෙලෝ පෙරේරා සමඟින් සිව්වැනි කඩුල්ලට ලකුණු 143ක් එක් කළ මිෂාර ඉන් පෙර කවීන් බණ්ඩාර (46) සමඟ තෙවැනි කඩුල්ලට ලකුණු 103ක් එක් කළේය. වේගවත් ඉනිමක් දියත් කළ ඇන්ජෙලෝ ශතකයට ලකුණු 6ක් පසුපසින් සිටියදී දැවී ගියේ පන්දු 47කට මුහුණ දෙමිනි. ඔහු හතරේ සහ හයේ පහර 6 බැගින් එල්ල කර තිබිණි. පන්දු යැවීමේදී පූර්ණ චාරුක කඩුලු 4ක් බිඳ දැම්මේය.

යුද හමුදාවට ජය

‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තැන ගත්ත ද තරග 4ක් ජයගෙන තරග 2ක් විසඳුමකින් තොරව නිමා කර ගනිමින් මේ වටයට එක් වූ යුද හමුදා පිල පී. සරා ඕවල් පිටියේදී එස්එස්සී පිල සමඟින් තරග වැදිණි.

ඊයේ තරගයේදී යුද හමුදා ඉනිම ලකුණු 198කට සීමා වුවද ඔවුන්ගේ පන්දු බළඇණිය හමුවේ එස්එස්සී පිලට එම ලකුණු සංඛ්‍යාව පසු කර යෑමට නොහැකි විය. යුද හමුදා ඉනිමේ කඩුලු 7ක් ලකුණු 89කට බිඳ වැටී තිබියදී එක් වූ දුෂාන් විමුක්ති සහ සුමින්ද ලක්ෂාන් ලකුණු 83ක සබඳතාවක් සමඟින් ඉනිම ගොඩනැඟූහ. දුෂාන් නොදැවී ලකුණු 55ක් රැස් කළ අතර, ලක්ෂාන් ලකුණු 41කට දැවී ගියේය.

හිමේෂ් රාමනායක ලකුණු 54ක් රැස් කරමින් එස්එස්සී පිල ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. පන්දු යැවීමේදී සුමින්ද ලක්ෂාන් සහ අසේල ගුණරත්න කඩුලු 3 බැගින් බිඳ දැම්මේය.

මේ තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට (09) සීසීසී සහ එන්සීසී ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන අතර, අවසන් මහ තරගය 11 වැනිදා කොළඹ එස්එස්සී පිටියේදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here