Home කාලීන පුවත් බණ්ඩාරවෙල සැප ගන්න ආපු බලංගොඩ මානවයා

බණ්ඩාරවෙල සැප ගන්න ආපු බලංගොඩ මානවයා

by Hela news

මුහුදු මට්ටමේ සිට මීටර් 1200 ක් උසකින් පිහිටා තිබෙන බණ්ඩාරවෙල ශ්‍රී ලංකාවේ සුන්දරම නගරයන්ගෙන් එකක් ලෙස සැලකේ. තේ වගාව මෙන්ම එළවළු වගාව ද පැතිර තිබෙන විශාල කඳු පන්තිවලින් හතරවටින්ම වැසුණු බණ්ඩාරවෙල නගරය සෞම්‍ය සිසිල් දේශගුණයකින් යුක්ත වේ.  සැප ගන්න කවුරුත් යන බණ්ඩාරවෙලට පසුගියදා කාගේත් අවධානය යොමු වුණේ මේ නගර සීමාවෙන් ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් මතුවන බව සඳහන් ප්‍රවෘත්තියකිනි. මේක අලුත් කතාවක් නම් නොවේ. බණ්ඩාරවෙලින් ශිලා මෙවලම් මතුකර ගත්තේ සියවසකටත් එපිටදීය. නමුත් මේ ශිලා මෙවලම් සහිත භූමිය අසුවන සේ බණ්ඩාරවෙල දිසා සංවර්ධන කමිටුව නව ආර්ථික මධ්‍යස්ථානයට යාම සඳහා මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණි. පසුව ඒ ගැන දැනගත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග දිසා සංවර්ධන කමිටුවට පුරාවිද්‍යා ස්ථානයේ වැදගත්කම අවබෝධ කිරීමෙන් පසු මාර්ග සැලසුම අත්හිටවූ බව වාර්තා වේ. මේ බණ්ඩාරවෙල ප්‍රාග් ඓතිහාසික වැදගත්කමේ ඉතිහාසය විමසා බැලීමට ගත් උත්සාහයකි. 

ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර් යේෂණ ගැන මුලින්ම උනන්දුවක් දැක්වූයේ විදේශිකයන්ය. වර්ෂ 1885 දී පමණ කීට විද්‍යාඥයකු වූ ඊ.ඊ. ග‍්‍රීන් විසින් මධ්‍යම කඳුකරයේ ස්ථාන කිහිපයක් වන පේරාදෙණිය, නාවලපිටිය, පූඬළුඔය වැනි ස්ථානවලින් කහඳ හා තිරුවාණ පාෂාණවලින් සකස් කරන ලද පතුරු මෙවලම් සොයාගත් බව වාර්තා වේ. එය අප රටේ ප‍්‍රාග් ඓතිහාසික 

පර් යේෂණයන්ෙග් මුල්ම උත්සාහය වේ. වැවිලිකරුවකු වූ ජෝන් පෝල් විනෝදාංශයක් ලෙස මස්කෙළිය, දිඹුල, දික්ඔය, බගවන්තලාව, නුවරඑළිය, මාතලේ, මඩොල්සීම, ගාල්ල, මාන්කුලම යන ස්ථානවල විවිධ ආකාරයේ ප්‍රාග් ගල් ආයුධ එකතු කරගත් බව පැවසේ. 

ඉන් පසු ලංකාවට ආවේ ප‍්‍රකට ස්විස් ජාතික මානව විද්‍යාඥයන් දෙපොළක් වූ පී. සැරසින් හා එෆ්. සැරසින් යන සහෝදරයන්ය. ඔවුන් විසින් මෙරටට ඒමට පෙර සෙලිබීස් දූපතේ ප්‍රාග් ඓතිහාසික ගවේෂණ කර තිබේ. පේරාදෙණියේ නිවසක් මිලදී ගෙන එහි පදිංචි වූ ඔවුහු රට පුරාම සංචාරය කරමින් ගවේෂණය කළහ. සැරසින් සහෝදරයන් මුලින්ම  දකුණු පළාතේ තෙළුල්ල ගුහාව පර් යේෂණයට ලක්කර සත්ත්ව අවශේෂ හා තිරුවාණ ගල් මෙවලම් සොයා ගැනීමට සමත් වූහ. බුත්තල හා ඔක්කම්පිටිය, බිබිල හා නිල්ගල ප‍්‍රදේශවල ගවේෂණය කර ඔවුන් පැමිණියේ මධ්‍යම කඳුකරයේ බණ්ඩාරවෙල වෙතයි. 1908 දී බණ්ඩාරවෙලට ආ ඔවුන්ට බණ්ඩාරවෙල බොහෝ ප්‍රදේශ තේ වගාවට එළිකර තිබුණත් බණ්ඩාරවෙල – වැලිමඩ පාරේ ඇංග්ලිකන් දේවස්ථානය පිටුපස පිහිටි පල්ලියකන්ද නමින් හැඳින්වෙන කඳු බෑවුමට කිසිවකු අත තබා නැති බව දුටුවෝය. එහි කඳුකර වියළි දේශගුණයක් සහිත සවාණා තෘණ භූමියක් පැතිර තිබුණි. ප්‍රාග් ඓතිහාසික මානවයා භාවිත කළ ගල් ආයුධ රුසක් එම ස්ථානයේ මතුපිට පොළොවෙන් සොයා ගැනීමට ඔවුහු සමත් වූහ.   

මෙම ගල් මෙවලම් ස්විට්සර්ලන්තයේ බේසල් නුවර කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බව පැවසේ. 1909 දී මොවුන් ලංකාවේ සිදු කළ විවිධ කාර්යයන් අළලා වාර්තාවක් ඉදිරිපත් කළහ. ඒ කාලයේ ප‍්‍රාග් ඉතිහාසය සම්බන්ධයෙන් ලෝකයේ වර්ධනයක් නොතිබූ අතර මෙවැනි සාර්ථක වාර්තාවක් ඉදිරිපත් වීම ඉතා වැදගත් සිද්ධීයක් ලෙස සැලකේ.  

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස සේවය කළ චාර්ල්ස් හාර්ට්ලි 1913-14 අවුරුදුවල බණ්ඩාරවෙල යළි ගවේෂණයක් කළේය. බණ්ඩාරවෙල නගරයට යාබදව අදටත් පල්ලියකන්ද යනුවෙන් හැඳින්වෙන ස්ථානයේ වර්තමාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පිහිටි කොටසේ කුඩා කඳු ගොඩැල්ලක් මත ඔහු පර්​යේෂණ කැණීමක් සිදු කරන ලදී. එය ශ්‍රී ලංකා පුරාවිද්‍යා ඉතිහාසයේ පළමු ප්‍රාග් ඓතිහාසික පර්​යේෂණ කැණීම වේ. මීටර් 30ක් දිග පළලින් යුතු කොටසක ඔහු කරන ලද කැණීමේ දී විශාල ශිලා මෙවලම් තොගයක් සොයා ගැනීමට හැකියාව ලැබිණි. එම සංඛ්‍යාව 4768කි.

හාට්ලි විසින් බණ්ඩාරවෙලට අමතරව දියතලාව, හපුතලේ, කොස්ලන්ද, පට්ටිපොළ, රාගල, නානුඔය, රදැල්ල, නෝවුඩ්, දික්ඔය, දිඹුල, හැටන්, මස්කෙළිය, බගවන්තලාව, උලපනේ, නාවලපිටිය, ගම්පොළ, දොළොස්බාගේ, පේරාදෙණිය, කඩුගන්නාව, මහනුවර, ඇතුළු ලංකාවේ බොහෝ ස්ථානවල තම පර්යේෂණ සිදු කර තිබේ. මේ කුඩා මෙවලම් හැඳින්වීමට ඔහුට ඒ වන විට නිශ්චිත පාරිභාෂික වචනයක් නොතිබුණු අතර ඒ නිසා එතෙක් ‍ලොව සොයාගෙන තිබූ ශිලා මෙවලම්වලට වඩා කුඩා මේ මෙවලම් “පිග්මි මෙවලම්” (Pygmy Tools) ලෙස හැඳින්විණි. හාට්ලි එකතු කරගත් පුරා මානව ගල් මෙවලම්වලින් විශාල ප‍්‍රමාණයක් කේම්බි‍්‍රජ් හි ඩවුනින් වීදියේ පුරාවිද්‍යා හා මානව විද්‍යා කෞතුකාගාරය හා ඔක්ස්ෆර්ඩ් පීට් රිවර්ස් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ. 

1940 මුල් භාගයේ එන්.ඒ. නූන් හා එච්.වී.වී. නූන් බණ්ඩාරවෙල පල්ලියකන්ද නැවත ගවේෂණය කළහ. එහිදී ගල් මෙවලම් 2000ක් පමණ සොයාගත් අතර මේවා විවිධ අවශ්‍යතා සඳහා යොදාගෙන තිබුණූ බව හෙළිකර ගත්තෝය. ලංකාවේ ශිලා මෙවලම් එකම සංස්කෘතියකට අයත් බවත් ඒවා බණ්ඩාරවෙල සංස්කෘතිය ලෙස හැඳින්වීම වඩාත් උචිත බවත් නූන්ලා පැවසූහ. 
පසුව පී.ඊ.පී. දැරණියගල විසින් කඳුකරයේ පිහිටි බණ්ඩාරවෙලට නැගෙනහිරින් වූ රාවණාඇල්ල ගුහාව ද කැණීමට ලක් කර සාධක රාශියක් සොයා ගත්තේය. 1938-39 කාලයේ හාවඩ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ශිෂ්‍යයකු වූ ඊ.සී. වෝමන් නැවත පල්ලියකන්දේ කැණීමක් කර මින් හමුවන ක්ෂුද්‍ර ගල් මෙවලම් මධ්‍ය ශිලා යුගයට අයත් බවට පළමු වරට ප්‍රකාශ කළේය.  අද බණ්ඩාරවෙලින් විදේශිකයක් සොයා ගත් මධ්‍ය ශිලා යුග ක්ෂුදු ගල් ආයුධ ලෝකයේම පුරාවිද්‍යාව සහ මානව විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කරන පර් ෙය්ෂකයෝ ප්‍රයෝජනයට ගනිති. ඒවායේ තාක්ෂණය, හැඩය, භාවිත කළ ආකාරය ගැන අධ්‍යයනය කරති. ඒ අනුව බණ්ඩාරවෙල අප රටේ ඉතා වැදගත් ප්‍රාග් ඓතිහාසික ස්ථානයක් ලෙස සැලකිය හැකිය. බණ්ඩාරවෙල හැරුණු විට කඳුකරයේ ප්‍රාග් ඓතිහාසික සාධක ලැබෙන්නේ හෝටන් තැනිතලාවෙන් පමණි.  

1994 දී ආචාර්ය සිරාන් දැරණියගල සහ ආචාර්ය ඩබ්ලිව්.එච්. විජේපාලගේ මෙහෙයවීමෙන් නැවත ආචාර්ය නිමල් පෙරේරා මේ ස්ථානයේ පර් යේෂණ කැණීමක් කළේය.  
එම කැණීමට එක්වූ හිටපු පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා සඳහන් කරන්නේ ලංකාවේ ප්‍රාග් ඓතිහාසික එළිමහන් ස්ථාන අතරින් අධ්‍යයනය සඳහා ඉතා වැදගත් තැනක් ලෙස බණ්ඩාරවෙල ප්‍රාග් ඓතිහාසික ස්ථානය වැදගත් වන බවයි. එම කැණීම ගැන ඔහු සඳහන් කරන්නේ මෙසේය;  

“1994 දී කැණීම කළේ අද කාලගුණ විද්‍යා කාර්යාලය අසල තිබෙන කුඩා කඳුගැටය මතයි.  මීටර 10ක් දිග පළල ඇති කුඩා කැණීම් වළක කැණිම් කළා. එහිදී ප්‍රාග් ඓතිහාසික තට්ටු කිහිපයක්ම හඳුනාගත හැකි වුණා. මෙතැන ප්‍රාග් ඓතිහාසික යුගයේ එළිමහන් මානව ජනාවාසයක් තිබූ බව පැහැදිලි වෙනවා. අමෙරිකාවේ ෆ්ලෝරිඩාහි බීටා ඇනලිටික් ආයතනයෙන් සාම්පල් පහක් යවා කළ කාල නිර්ණයෙදී අදින් වසර 4000 සිට 7081 ක් ඈතට කාලයක් ලැබුණා. මානව ක්‍රියාකාරකම් නිසා අවුල් නොවූ ඉතා සංවේදී පස් තට්ටු මෙම ස්ථානයේ තිබෙනවා.”   

මෙම ස්ථානය 2001 නොවැම්බර් 29දා පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් විය. එම භූමි ප්‍රමාණය හෙක්ටයාර් 6.84කි. දැනට කිසිවකුගේ අවධානයට ලක් නොවූ බණ්ඩාරවෙල ප්‍රාග් ඓතිහාසික ස්ථානය හඳුනා ගැනීමට මග සලකුණක් හෝ නැත. එය පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට මෙන්ම විදේශිකයන්ගේ ආකර්ශනය ලබාගැනීමටත් සුසුදු තැනකි. ඒ ගැන ජනතාව දැනුවත් කර මේ ස්ථානය ඉදිරි පරම්පරා සඳහා ආරක්ෂා කිරීමට බණ්ඩාරවෙල නගර සභාවට අවස්ථාව තිබේ. 

0 comment
0

Related Posts

Leave a Comment